අල්පෝන්සු ද ඇල්බුකර්ක් (ආල්බුකෙර්ක)

සිංහල විශ්වකෝෂය වෙතින්
14:12, 22 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Alponso d'Albuquerque). (1453-1515). ඉන්දියාවේ පෘතුගීසි බලය නියම වශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Alponso d'Albuquerque). (1453-1515). ඉන්දියාවේ පෘතුගීසි බලය නියම වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ අල්පොන්සු ද ඇල්බුකර්ක් විසිනි. 1503 දී ඔහු පළමුවෙන් ඉන්දියාවට පැමිණියේ කුඩා නාවික හමුදාවක අණදෙන නිලධාරියා ලෙසිනි. නාවික හමුදාවේ සිටිය දී ඔහු විසින් කරන ලද සේවාවන් ගැන පැහැදුණු පෘතුගීසි රජු විසින් ඇල්බුකර්ක් 1509 දී ඉන්දියාවේ පෘතුගීසි පාලකයා වශයෙන් පත් කරන ලදි.

1510 දී ඔහු බීජාපූර් රාජ්‍යයෙහි වැදගත් වරායක් වූ ගෝව ලබා ගත්තේය. ගෝව නගරය පෙරදිග පෘතුගීසි පාලන මධ්‍යස්ථානය බවට පත් කරන ලද්දේ ඇල්බුකර්ක් විසිනි. නාවික බලය මගින් පෙරදිග පෘතුගීසි අධිරාජ්‍යයක් ගොඩනැඟීම ඔහුගේ ප්‍රධාන පරමාර්ථයක් විය. මෙ වැනි අධිරාජ්‍යයක් ගොඩනැඟීමේ දී ඕර්මුස්, ඒඩන් සහ මලක්කා යන ප්‍රදේශ පෘතුගීසි පාලනය යටතට ගත යුතු යයි හේ කල්පනා කළේය. 1511 දී මලක්කාව ද 1515 දී ඕර්මුස් ද අල්ලා ගැනීමට ඔහු සමත් වුව ද ඒඩන් අල්ලා ගැනීමට ඔහු ගත් ප්‍රයත්න දෙක ම අසාර්ථක විය. පෘතුගීසි බලය ස්ථිර වශයෙන් පිහිටුවීමේ දී පෘතුගීසි හා දේශීය මිශ්‍ර විවාහ සම්බන්ධකම්වල වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. පෘතුගීසි බලය එසේ ස්ථිර පදනමක් මත පිහිටුවීමෙහි ලා ඔහු විශාල සේවයක් කළ ද ඔහුට විරුද්ධ වූ බොහෝ දෙනෙක් පෘතුගීසි රාජ සභාවෙහි සිටියහ. 1515 දී ඔහු ගෝවේ දී මිය ගියේය.

(සංස්කරණය: 1967)