ඇල්සේස්-ලොරේන්
මෙකල ප්‍රංසයේ පහළ රයින්, ඉහළ රයින් හා මොසෙල් යනුවෙන් දන්නා කොට්ඨාස 1871 ප්රංස-ප්රසියන් යුද්ධයෙන් පසු ජර්මනිය විසින් ඈඳා ගන්නා ලදුව 1918 දක්වා ඇල්සේස්-ලොරේන් නමින් හැඳින්විණ. ප්‍රථම ජගත් සංග්රාමයෙන් පසු යළිත් ප්‍රංශයට අයත් වූ මෙම පෙදෙස්වලට 1940 දී දෙවන ජගත් සංග්රාම සමයේ දී ජර්මන්වරුන් කඩා වැදුණු නමුත් 1945 දී ඉංග්‍රීසි ප්රංස මිත්‍ර පාක්ෂික හමුදා ඔවුන් පලවා හැරියහ. මෙපෙදෙස පිහිටියේ ප්රංස ජර්මන් දේශ සීමාවෙහිය.
ජර්මන්වරුන් යටතේ 1879 දක්වා ප්රසියානු පළාතක් වශයෙන් පාලනය වූ ඇල්සේස්-ලොරේන් එතැන් සිට අධිරාජ්‍යය යටතේ ආණ්ඩුකාරයකු මගින් පාලනය විය. 1911 සිට මෙපෙදෙසට වෙන ම ආණ්ඩු ව්‍යවස්ථාවක් දෙන ලදි. එහෙත් 1914 දී I ජගත් සංග්‍රාමය ඇති වූවාට පසු ජර්මන්වරුන් විසින් එහි යුද්ධ ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. 1918 අවසාන භාගයේ දී ඇල්සේස්-ලොරේන් පෙදෙසට ස්වරාජ්‍යය දෙන ලද නමුත් කලින් ජර්මන්වරුන් ගෙන ගිය දූෂිත පාලනය නිසා බලවත් කළ කිරීමෙන් පසු වූ ජනතාව මාසයක් තුළ දී එහි වන් ප්රංස හමුදා ජයඝෝෂා සහිතව පිළිගෙන ප්‍රංසයට එක්වීමේ කැමැත්ත පළ කළහ (ඇල්සේස් ද බලන්න).
මෙම ප්රදේශද්වයේ ශත වර්ෂ ගණනාවක සිට ම වාසය කරන්නේ අර්ධ වශයෙන් ප්‍රංශ ජාතිකයන්ගෙන් හා අර්ධ වශයෙන් ජර්මන් ජාතිකයන්ගෙන් සැදුණු ජනතාවකි. ඇල්සේස්-ලොරේන්හි විශාලකම ව.සැ. 5600ක් පමණ වේ.
(සංස්කරණය: 1967)