ජේන් ඔස්ටන්
(1775-1817). පළමු පෙළේ ඉංග්‍රීසි නවකථාකරුවන් අතර උච්චස්ථානයක වැජඹෙන නවකථා කර්තෘවරියකි. ක්‍රිස්තියානි පූජකයකුගේ දුවක වූ ඕතොමෝ 1775 දෙසැම්බර් මස 16 වැනි දා හැම්ප්ෂයර් කෝරළයේ ස්ටීවන්ටන් නම් ස්ථානයෙහි දී උපත ලැබුවාය. දරුවන් අටදෙනකුගෙන් යුක්ත පවුලක හත්වැන්නා වූ ඕ ළමා වියෙහි දී ම සිය පවුලේ විනෝදය සඳහා කෙටි ප්‍රහසන නාට්‍ය හා කථාන්තර රචනා කිරීමෙහි යෙදුණ ද මැහුම් ගෙතුම් වැඩ, ගෙදරදොරේ වැඩපළ, පොතපත කියැවීම, නෑදෑ මිතුරන්ට ලියුම් ලිවීම යනාදි කටයුතු ද නොපිරිහෙළා ඉටු කළාය. තමා බෙහෙවින් ඇලුම් කළ තම එක ම සොහොවුරිය වූ කැසැන්ඩ්‍රා සේ ම ජේන් ද අවිවාහකව විසුවාය.
ඇය විසින් ලියන ලද නවකථා හයකි. ඉන් තුනක් ම සූවිසි විය වන විට ලියා අවසන් කොට තිබීම ඇයගේ සහජ කුසලතාවට සාක්ෂ්‍ය වෙයි. ඇය ඒ ග්රන්ථ ප්‍රබන්ධ කරමින් සිටි බව වැඩිදෙන නොදත්හ. තවත් අවුරුදු ගණනකට පසුව ඒවා පළ වූ කල ද ප්රබන්ධකයාගේ නම සඳහන් නොවූයේය.
ස්වකීය පළමු කෘතිය වන Pride and Prejudice (අභිමානය හා අගතිය) ඇය රචනා කළේ දෙවිසි වැනි වියේ දීය. එහි අගය වටහා ගත් පියා එය ප්‍රකාශකයකුට ඉදිරිපත් කළ නමුත් ඔහු එය පිළිගත්තේ නැත. සොහොවුරියන් පස් දෙනකුගේ ප්‍රේම සම්බන්ධතාවන් වටා ගෙතුණු එය 1813 දී පළ වූයේය.
1797-98 දී ප්‍රබන්ධිත Sense and Sensibility (දැනුම හා හැඟුම) නමැති කෘතිය පළවූයේ 1811 දීය. ඉහළ සහ මැද පන්ති ජීවිතය පසුබිම් කොටගෙන රචිත එය සොහොවුරියන් දෙදෙනකුගේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ කතා පුවතකි. බාත් පුරයේ මැද පංති ජීවිතය පසුබිම් කොටගත් Northanger Abbey (නොතැංගර් ඇබි) නවකතාවෙන් ආචාර සම්පන්න සමාජයේ තරුණියක තමාට සෑහෙන තරුණයකු හා මිතුරුව, සල්ලාලයකු නිසා ඒ පෙමෙහි වර්ධනයට බාධා ලබන අයුරු දැක්වෙයි. මේ කෘතිය පළවූයේ කර්තෘවරියගේ මරණයෙන් පසු 1818 දීය. Mansfield Park (මැන්ස්ෆීල්ඩ් පාක්, 1814) වූකලි දුප්පත් පවුලක තරුණියක ධනවත් නෑ ගෙදරක ඇතිදැඩි වන සැටි හා ඇයගේ අත්දැකීම් විස්තර වන නවකථාවකි. Emma (එමා, 1816) නමැති කෘතිය සිය යෙහෙළියන්ගේ යහපත සඳහා වෙහෙසුණු කාන්තාවක වටා ගෙතුණකි. 1811-16 දී ප්‍රබන්ධිත වූ Persuasion (පොලඹවාගැනීම, 1818) නමැති නවකථාව උඩඟු ගතිගුණවලින් යුත් චරිත කිහිපයක් නිර්මාණය කෙරෙමින් රචිතය.
ජේන් ඔස්ටන් නිහතමානී කාන්තාවක් වූවාය. තමා වාසය කළ පරිසරයේ ජීවිතය ගැන හොඳ දැනුමක් ඇයට තිබිණි. ඇයගේ සියලු නවකථා හා ලිපි මේ පරිසරයේ පැවතුණු ජීවිතයේ හමු වූ රසවත් වූත් හාස්‍යජනක වූත් සිද්ධි එක්රැස් කොට ප්රබන්ධිතය. සාටෝප වාග්ව්යවහාරයෙන් තොර වූ සරල සුගම ශෛලියකින් මේ කෘති ලියැවී ඇත. සමාජ සුඛාන්ත නවකථා ප්රබන්ධයෙහි ඕ අද්විතීය ස්ථානයක් ගනී.
18 වැනි සියවසේ පහළ වූ ඉංග්‍රීසි නවකතා අතුරෙන් තවමත් බහුල වශයෙන් කියවනු ලබන්නේ ජේන් ඔස්ටන්ගේ නවකථා බව කිව හැකිය. ප්‍රතිභාපූර්ණ අපූර්ව නිර්මාණ ශක්තියත් තාත්ත්වික චරිත නිරූපණයත් හේතුකොටගෙන ඇයගේ කෘති මෙසේ වත්මන් පාඨකයන්ගේ පවා ආදරයට පාත්‍ර වී ඇත.
(ඉංග්‍රීසි සාහිත්‍යය ලිපිය ද බ.)
(සංස්කරණය: 1974)