අක්මාතවා, ආනා (1888-)
ආනොඅන්ද්රයෙව්නා ගොරෙන්කෝ නමැති රුසියානු කිවිවරියගේ ආරූඪ නාමයයි. 1910 දී ගුමිල්යෆ් නමැති කවියා හා විවාහ වූ ඕ තොමෝ සංකේතවාදී කිවියන්ගේ අලංකාර සම්ප්‍රදායට විරුද්ධව සිය සැමියා 1912 දී ඇරැඹූ අක්මෙයිසම්" ව්‍යාපාරයට බැඳුණාය. 1918 දී ඔහු හැර ෂිලෙයිකෝ නමැති ඇසිරියා-පුරාවිද්‍යාඥයකු හා විවාපත් වූ ඕ 1922 දක්වා කාව්‍ය බන්ධනයෙහි යෙදුණාය. අනතුරුව පැමිණි විසි වස තුළ දී පුෂ්කින්ගේ සාහිත්‍යය පිළිබඳ විවේචනාත්මක ලිපි පෙළක් සම්පාදනය කළ අතරම, තමාගේ ඇතැම් කාව්‍ය ද පළ කළාය. ඒ බොහෝ කාව්‍යවල, මධ්‍යම පාන්තික හැඟීම් සේ රුසියානු හෙළා දකින විරහ දුක ද, සාමාන්‍ය ශෝක රසයක් ද පිළිබිඹු වූයේ නමුත් තරුණ කොමියුනිස්ට්වාදීන් අතරෙහි ඒවා බෙහෙවින් ප්‍රචලිත විය. මෙය වැළැක්වීම සඳහා 1946 දී කොමියුනිස්ට් පක්ෂය සෝවියට් ලේඛක සංගමයෙන් ඈ නෙරපා දමනු ලැබුවාය. 1950 දී ස්වදේශානුරාගයෙන් යුත් කාව්‍ය සංඛ්‍යාවක් ඇය විසින් පළ කරවන ලදී.
ශෘංගාරය, විරහව, ස්වභාවික සෞන්දර්යය ප්‍රධාන විෂය සේ ගෙන ඈ සිය ප්‍රබන්ධ කළාය. සැඳෑව", ජපමාලය", සුදු රංචුව" සහ කිතු වසින් 1921" ඇයගේ ප්‍රධාන කෘතීහුයි. (සංස්කරණය:1963)