ලුවිසා මේ ඕල්කොට්
(1832-1888). ලොව පුරා ගැහැනු ළමයින් අතර මහත් ආදරයට භාජනව පවත්නා Little Women (ටිකිරි ලියෝ) නමැති ඇමෙරිකානු ළමා කථාන්තරයෙහි කර්තෘවරියයි. ඕ තොමෝ 1832 දී පෙන්සිල්වේනියා ජනපදයෙහි ජර්මන්ටව්න් නම් නගරයෙහි උපත ලැබුවාය. ඇයගේ පියා වූත් ගුරුවරයකු හා අනුභවාතීතවාදියකු (transcendentalist) වූත් ඒමොස් බ්‍රොන්සන් ඕල්කොට් කෙරෙන් මූලික අධ්‍යාපනය ලත් ඕ තොමෝ කුඩා අවධියෙහි ම පවුලේ හිතවතුන් වූ රාල්ෆ් වෝල්ඩෝ එමසන් (බ.) හෙන්රි ඩේවිඩ් තෝරෝ (බ.) යන සුප්‍රකට ලේඛකයන් දෙදෙනාගේ ද ආශ්‍රයට පැමිණියාය. ලිවීමට හා රඟ පෑමට තමා කෙරෙහි සහජයෙන් පිහිටා තුබූ දක්ෂතාව ළමා අවධියෙහි දී ම හෙළිකළ ලුවිසා පසළොස් හැවිරිදි වියෙහි දී ආධුනික නාට්‍ය රචනා කිරීමටත් නිෂ්පාදනය කිරීමටත් උත්සුක වූවාය. මේ කාලයෙහි දී ඇය නිළියක වීමට අදහස් කරගෙන සිටිය ද ඒ වන විට ඇයගේ කවි හා කථා පුවත්පත් සඟරා ආදියෙහි පළවෙමින් පැවැති හෙයින් සාහිත්‍ය කටයුතු කෙරෙහි ඇයගේ ඇල්ම වැඩි වැඩියෙන් ඉස්මතු වී පෙනෙන්නට වන.
සිවිල් යුද්ධ සමයෙහි යුද හමුදා රෝහලක හෙදියක ලෙස සේවය කළ ලුවිසා එහි දී තමා ලත් අත්දැකීම් විස්තර කරමින් ගෙදරට එවූ ලියුම් 1863 දී Hospital Sketches (රෝහල් සටහන්) නමින් පොතක් වශයෙන් පළ කරවන ලදි. එය පළ වීම හා සමඟ ඇයට ප්‍රසිද්ධියත් මුදලුත් ලැබිණි. 1864 දී තම ප්‍රථම නවකථාව වූ Moods (මනෝගති) නම් කෘතිය පළ කැරැවූ ඕ තොමෝ 1865 දී යුරෝපයේ සංචාරයක යෙදුණාය. පෙරළා සියරටට පැමිණීමෙන් පසු ඇය ලිවූ Little Women නම් කෘතිය කොටස් දෙකකින් 1868-1869 දී පළ කරවන ලදුව ඉක්මනින් ම අතිශය ජනප්‍රියභාවයට පැමිණියේය. ඇතැම් විට එහි දෙවන කොටස Good Wives (හොඳ බිරියෝ) යන නමින් ද හැඳින්වෙයි. ආදරය, ලැදිකම, සතුටින් පිරි දිරිමත්බව ආදි ගුණාංගයන් පිළිබඳ ළගන්නාසුලු විස්තරයක් වූ මේ කෘතියට බොහෝ සෙයින් ම ඇයගේ පවුලේ තොරතුරු පදනම් වී ඇත. එහි එන ජෝ නමැති දඟකාර කෙළිලොල් යුවතියගේ චරිතය ඇයගේ ම ආත්මචරිතකථාව ආශ්රයෙන් නිර්මාණය කරන ලද්දකි. මේ කෘතිය පළ වීමෙන් පසු අඩුවක් පාඩුවක් නැතිව මුදල් හදල් ලැබෙන්නට පටන් ගත් හෙයින් නැවතත් වරක් තමාගේ සහෝදරියක හා සමඟ යුරෝපයේ දීර්ඝ සංචාරයක යෙදුණු ලුවිසා රෝමයේ දී Little Men (පොඩි මිනිස්සු) නම් කෘතිය ලිවුවාය. An Old-Fashioned Girl (පැරණි පන්නයේ කෙල්ලක්, 1869), Eight Cousins (ඥාති සහෝදර අටදෙන, 1875), Rose in Bloom (පිපුණු රෝස මල, 1876), Under the Lilacs (ලයිලැක් ගස් යට, 1879), Jo's Boys (ජෝගේ කොල්ලෝ, 1886) ආදිය ඇය විසින් ලියන ලද වෙනත් ප්‍රකට කෘති වෙයි.
පසු කාලයෙහි දී අමද්‍යප ව්‍යාපාරයට හා කාන්තාවන්ට ඡන්ද බලය ලබාගැනීම සඳහා වූ ව්‍යාපාරයට සම්බන්ධ වී ඉතා උද්යෝගයෙන් කටයුතු කළ ලුවිසා මේ ඕල්කොට් 1888 මාර්තු 6 වැනි දින කලුරිය කළාය.
(සංස්කරණය: 1974)