ශෝන් ඕ'කේසි
(Sean O'Casey). (1880–1964). අයිරිෂ් ජාතික නාට්‍ය රචකයෙකි. හෙතෙම 1880 දී ඩබ්ලින් නගරයෙහි උපන්නේය. එහි මුඩුක්කු පෙදෙසක හැදුණු වැඩුණු ඔහුට ළමා වියෙහි දී ම පීඩිත පන්තියේ ජනතාවගේ ජීවිතයෙහි නිරතුරුව දක්නට ලැබෙන සාගිනි, අගහිඟකම්, ලෙඩදුක් ආදි දුක්කම්කටොලු ගැන මනා අවබෝධයක් ලැබිණි. කුඩා අවධියෙහි පටන් ම තම ජීවිකාව උපයා ගැනීමට සිදු වූ හෙයින් ඔහුට අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු වෙත වූයේ ස්වෝත්සාහයෙන් ලබාගත් දැනුම පමණකි. හෙතෙම සෞඛ්‍යසම්පන්න අයකු නොවුව ද අවුරුදු ගණනක් කම්කරුවකු ලෙස සේවය කෙළේය. ඔහුට ලේඛන කටයුතුවලට මිඩංගු කළ හැකි වූයේ ඒ අතරතුර ලත් විවේක කාලය පමණි. එතෙකුදු වුවත් හෙතෙම සමාජවාදී ව්‍යාපාරවලට හා අයිරිෂ්වරුන්ගේ නිදහස සඳහා වූ කැරලිවලට දැඩි උද්යෝගයකින් සහභාගී වූයේය.
ඕ'කේසි විසින් ලියන ලද මුල් ම නාට්‍යය The Shadow of a Gunman (තුවක්කුකාරයකුගේ සෙවණැල්ල) යන්නයි. එය ඩබ්ලින් නගරයෙහි ඇබි රඟමඬල විසින් 1923 දී රඟ දක්වන ලදි. ඉන් පසු 1924 දී Juno and the Paycock (ජූනෝ හා සැමියා) නමැති නාට්‍යයත් 1926 දී The Plough and the Stars (නගුල හා තරු) නමැති නාට්‍යයත් එම ඇබි රඟමඬල විසින් ම ඉතා සාර්ථක ලෙස රඟ දක්වන ලදි. ඉන් Juno and the Paycock යන්න ඔහුගේ ඉතාමත් ප්‍රකට නාට්‍යයයි. ඕ'කේසිගේ මුල් අවධියට අයත් තියුණු උපහාස රසයෙන් සැදුම් ලත් මේ නාට්‍ය ඔහුගේ ඉතා විශිෂ්ට කෘති වශයෙන් සලකනු ලැබේ. ඉන් සමකාලීන වැදගත් දේශපාලන සිද්ධීන් පසුබිම් කොටගෙන අයිරිෂ් ජාතික නාගරික කම්කරු ජනයාගේ ජීවිතය නිරූපණය කැරෙයි. 1928 දී ඇබි රඟමඬල විසින් ඔහුගේ The Silver Tassie (රිදී විත) නමැති නාට්‍යය ප්‍රතික්ෂේප කරන ලද හෙයින් කළකිරුණු ඕ'කේසි සියරට හැර එංගලන්තයට ගොස් පදිංචි විය. Within the Gates (දොරටු ඇතුළත, 1933), Purple Dust (දම්පාට දූවිලි, 1940), The Stars Turn Red (තරු රතට හැරෙයි, 1940), Red Roses for Me (මට රතු රෝස, 1942), The Bishop's Bonfire (බිෂොප්වරයාගේ ගිනි මැලය, 1955) ආදිය ඔහු පසු කාලයෙහි රචනා කළ නාට්‍යවලින් කිහිපයකි. මේ නාට්‍ය සංකේතවාදය, ප්රභාවශීලවාදය ආදි නූතන නාට්‍ය සම්ප්රදායයන් උපයෝගී කරගනිමින් අත්හදා බැලීම් ලෙස රචනා කරන ලද්දේය. එහෙත් ඔහුගේ මුල් නාට්‍යවල දක්නට ලැබුණු ප්‍රාණවත්කම මේ කෘතිවල නැත. ඔහුට හුරු පුරුදු මුඩුක්කු බස් වහර යොදාගෙන රචනා කරන ලද මුල් නාට්‍යවල දක්නට ලැබෙන අව්‍යාජ, අවංක මුහුණුවර දක්නට නොලැබෙන මේ නාට්‍ය ඔහුට නුහුරු නුපුරුදු වියත් බස් වහර යොදාගැනීම නිසා නීරසව ඇත. Within the Gates යන නාට්‍යය ඉතා වැදගත් කෘතියක් ලෙස සැලැකෙයි. ඕ'කේසි සාමාන්‍යයෙන් වාමාංශික අදහස් දැරුවකු වූ හෙයින් The Stars Turn Red නමැති නාට්‍යය කොමියුනිස්ට් ධර්මය ප්‍රචාරය කරනු සඳහා රචනා කරන ලද්දකැයි තදබල චෝදනාවට ලක් විය. එහෙත් සැබැවින් ම එය දේශපාලන වශයෙන් නිදහස් මතධාරී පණිවුඩයක් ගෙන එන කෘතියකි. මෙකී චෝදනාවට හේතු වූයේ හුදෙක් නාට්‍යයෙහි මාතෘකාවයි. ඕ'කේසි විසින් ලියන ලද I Knock at the Door (මම දොරට තට්ටු කරමි, 1939), Pictures in the Hallway (ප්රවේශපථයෙහි චිත්‍ර, 1942), Drums under the Windows (ජනෙල්වලට යටින් බෙර, 1945), Inishfallen, Fare Thee Well (ඉනිෂ්ෆෝලන්, ආයුබෝවන්, 1949), Rose and Crown (රෝස මල හා ඔටුන්න, 1952), Sunset and Evening Star (ඉර බැස්ම හා ඉරබටු තරුව, 1954) යන ආත්මචරිතකථා කාණ්ඩ සය පසුව කාණ්ඩ දෙකකින් සංග්‍රහ කොට Mirror in My House (මගේ නිවසේ කැඩපත, 1956) නමින් පළ කරවන ලදි.
ඕ'කේසි බොහෝ විට නාට්‍ය රචනා කෙළේ උපහාසයත් නර්මාලාපයත් චතුර ලෙස උපයෝගී කර ගැනීමෙන් නාට්‍ය වස්තුවෙහි ශෝකාන්ත ස්වභාවයත් සුඛාන්ත ස්වභාවයත් අතර පරතරයක් නොසිටින අයුරෙනි. වර්තමාන ලෝකයෙහි දක්නට ලැබෙන හිස්බව හා කරච්චලය අස්සේ ම ගැයුමෙන් හා නැටුමෙන් ලබන විනෝදය හා ප්‍රමෝදය ඔහුගේ නාට්‍යවල විශේෂ තැනක් ලැබූ එක් වැදගත් විෂයකි. ආකස්මික ප්‍රමෝදයෙන් ජීවිතය සරු කරගන්නාට පැසසූ හෙතෙම වංචනිකව කුහකකමින් ජීවිතය නිසරු කර ගන්නාට පහර දුන්නේය.
(සංස්කරණය: 1974)