ඕක් කුරුල්ලා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:17, 11 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Auk). උත්තරාර්‍ධගෝලයේ ශීතාධික ප්‍රදේශවල ජීවත්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Auk). උත්තරාර්‍ධගෝලයේ ශීතාධික ප්‍රදේශවල ජීවත්වන මුහුදු කුරුලු විශේෂ කිහිපයක් ඕක් නමින් හැඳින්වේ. බෙහෙවින් මුහුදේ ජීවත්වන මේ කුරුල්ලන්ගේ පාට ප්‍රධාන වශයෙන් කළු හා සුදු වේ. මුහුදේ තිබෙන උස් පර්වතවල හෝ කුඩා දූපත්වල හෝ බිත්තර දැමීම සඳහා පමණක් ඔව්හු ගොඩබිමට පැමිණෙති. එවිට ඔව්හු ගණාවාසවල සමූහ වශයෙන් ජීවත් වෙති. උන්ගේ ශරීරය වටකුරුය, තරබාරුය. කෙළින් සිටින විට ඔව්හු පෙංග්වින් කුරුල්ලන්ට සමානය. ඕක් කුරුල්ලෝ ජාලපාදය; පීනීමෙහි හා කිමිදීමෙහි ඉතා දක්ෂය. උන් පීනන්නේ උන්ගේ කුඩා පියාපත් ප්‍රයෝජනයට ගනිමිනි. උන් මුහුදේ කිමිදෙන්නේ උන්ගේ ප්‍රධාන ආහාරය වන මත්ස්‍යයන් අල්ලා ගැනීමටය. ජලය යට ගොදුරු පස්සේ එලවා ගෙන ගොස් ආහාර ලබා ගනිති. උන් සාමාන්‍යයෙන් පියාඹන්නේ බිත්තර තිබෙන ස්ථානයේ සිට මුහුද දක්වා වූ ඉතා කෙටි දුර ප්‍රමාණයන් තුළත් පර්‍ය්‍යටනයේ (migration) දීත් පමණි.

පිහිනීම හා කිමිදීම නොකඩවා කරගෙනයාම නිසා උන්ගේ සැකිල්ලෙහි ව්‍යූහය අතින් වෙනස්කම් ඇති වී තිබේ. උරස් අස්ථියේ හා ශ්‍රෝණියේ (pelvis) දික්වීම ද පර්ශුවල දික්වීම ද සැකිල්ලෙහි ඇති වූ කැපී පෙනෙන වෙනස්වීම්ය. කලව ඉතා කෙටි වී ඇත. ඕක් කුරුල්ලෝ කූඩු නොසාදති. සාමාන්‍යයෙන් කිරිල්ල වරකට ලොකු ගලක මතුපිට හෝ පොළොවේ සෑදී ඇති වළක බිත්තරයක් දමන්නීය.

ලොකු ඕක් (great auk) නමින් හැඳින්වෙන පිංග්විනුස් ඉම්පෙනිස් (Pinguinus impennis) විශේෂය වඳ වී ගොස් ඇත. ලොකු ඕක් වූකලි අඩි 2-2, 1/2ක් පමණ දිගැති පියෑඹිය නොහැකි කුරුල්ලෙකි. උගේ පියාපත් කුඩාය. ඌ පීනීමෙහි හා කිමිදීමෙහි ශූරයෙකි. උතුරු අත්ලන්තික් ප්‍රදේශයේ මුහුදු වෙරළවල ඔව්හු එක් කලක් බහුල වූහ. ආහාරය පිණිස උන්ගේ මාංස සුදුසු වූ බැවින් ඔව්හු අධික ලෙස නාවිකයන්ට ගොදුරු වූහ. අඟල් 8ක් පමණ දිගැති අල්ලෙ අල්ලෙ (Alle alle) විශේෂය කුඩා ඕක් (little auk) නමින් හැඳින්වේ. ශීත ඍතුවේ දී ආක්ටික් ප්‍රදේශයේ සිට කැනරිස් හා ඇසෝර්ස් දූපත් දක්වා දකුණු දිසාවට ඔව්හු පර්යටනය කරති. ලුන්ඩා සිර්හාටා (Lunda cirrhata), උරියා ට්‍රොයිල්ලෙ (Uria troille) හා ‘රේසර්බිල්’ (razorbill) නමින් හැඳින්වෙන අලෙයා ටෝර්ඩා (Alea torda) ඕක් කුරුල්ලන්ට කිට්ටු නෑකම් දක්වන විශේෂ තුනකි.

ඕක් කුරුල්ලෝ ආවේස් (Aves) වර්ගයෙහි අල්කිෆෝමේස් (Alciformes) ගෝත්‍රයෙහි අල්කිඩේ (Alcidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕක්_කුරුල්ලා&oldid=12091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි