ඕක්

සිංහල විශ්වකෝෂය වෙතින්
11:21, 12 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්වෙර්කුස් (Quercus) ගණයට අයත් තුන්සියයකට අධික ශාක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්වෙර්කුස් (Quercus) ගණයට අයත් තුන්සියයකට අධික ශාක විශේෂ සංඛ්‍යාවක් ඕක් නමින් හැඳින්වේ. ඕක් ගසේ හැඩයට ද කොළවලට හා ලීයේ තද ගතියට ද තරමක් සමානකම් දක්වන වෙනත් ශාකවලටත් ඕක් යන නාමය ඇතැම් විට ව්‍යවහාර කරනු ලැබේ. ඕස්ට්‍රේලියාවේ ක්වෙර්කුස් විශේෂ නැත. එහෙත් සමහර කැසුවරීනා විශේෂවලට ඕක් යයි කියනු ලැබේ. මේවා ව්‍යාප්තවී ඇත්තේ උත්තරාර්ධගෝලයේ සිසිල්, සෞම්‍ය ප්‍රදේශවලත් නිවර්තන කඳුකර ප්‍රදේශවලත්ය.

ඕක් විශේෂ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වෘක්ෂ වශයෙනි. පඳුරු ස්වල්පයක් ද ඇත. මේ ගස් අලංකාරය; පතනශීල හෝ සදාහරිතය. සාමාන්‍යයෙන් වවනු ලබන්නේ ඒවායේ ඇති ශෝභමාන හැඩය හා ලක්ෂණ කොළ නිසාය. බොහෝ විශේෂයන්ගෙන් ප්‍රයෝජනවත් දැව ලබාගත හැකිය. ශක්තිමත් ශාඛාවලින් යුක්ත මහත් කඳක් ද අසමාවෘත (imbricate), බොහෝ ශල්ක සහිත, ශීත ඍතු අංකුර ද සරල, ඒකාන්තර, මධ්‍යම ප්‍රමාණයේ කොළ ද ප්‍රකටව නොපෙනෙන මල් ද ඕක් ගසට ඇත.

මල් ඒකලිංගිකය. පුමංගී හා ජායාංගී මල් එක ම ගසේ ඇත. එල්ලෙන, සිහින්, දිග, පුච්ඡවල පුමංගී මල් තිබේ. රේණු 4-12 අතර ගණනකි; සාමාන්‍යයෙන් 6කි. ළපටි කොළ කක්ෂවල හටගන්නා ශුකිවල ජායාංගී මල් තිබේ. සමහර විශේෂවල ජායාංගී මල් තනිව හටගනී. ජායාංගී මලේ ඩිම්බකෝෂය අසමාවෘත ශල්කවලින් වට වී ඇත. ඵලය තනි බීජයකින් යුත් අස්මාවකි. අස්මාවේ පාදය කෝප්පයක් වැනි නිපත්‍ර වලයකින් වට වී තිබේ.

වටිනා ලී ලබා ගැනීමට ඇමෙරිකාවේ තිබෙන ප්‍රධාන ඕක් විශේෂය ක්වෙර්කුස් අල්බාය. එංගලන්තයේ වැවෙන ක්වෙ.රොබුර් විශේෂයෙන් ද වටිනා ලී ලැබේ. ඕක් විශේෂ බොහොමයක කල් පවත්නා දැඩි ලීයක් තිබේ. ලීයේ වයිරම මනහරය. නැව්, ගෘහ භාණ්ඩ හා නොයෙක් උපකරණ සෑදීමටත් බිමට ඇල්ලීමට හා පනේල තැනීමටත් ඕක් ලී ගනු ලැබේ.

බොහෝ ඕක් විශේෂවලින් ටැනින් ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් ටැනින් ලබාගන්නේ ඕක් ගස්වල පොත්තෙනි. එහෙත් ක්වෙ.අයිගිලෝප්ස්වලින් ටැනින් ලබාගන්නේ ඵලවල නිපත්‍ර වලයෙන් හා ළපටි ඵලවලින්ය. දකුණු යුරෝපයේ වැවෙන සමහර ඕක් විශේෂවල පොත්තෙන් වල්ක ලබාගත හැකිය. ඕක් විශේෂ ස්වල්පයක පොත්ත ඖෂධයක් වශයෙන් ද පාවිච්චි කරනු ලැබේ.

ඕක් විශේෂ කිහිපයක ඵල කෑමට සුදුසුය. යුරෝපීය රටවල ඕක් ඵල ඌරන්ගේ ආහාරයක් ලෙස ගනු ලැබේ. දකුණු යුරෝපයේ හා උතුරු අප්‍රිකාවේ හමුවන ක්වෙ.කොකිෆෙරා විශේෂයෙහි ජීවත්වන පරපෝෂිත කෘමියකුගෙන් තද රතුපාට සායමක් ලැබේ.

සාමාන්‍යයෙන් ඕක් ගස් ප්‍රචාරණය කරනු ලබන්නේ ඇටවලිනි. සමහරවිට සදාහරිත විශේෂ අතු බැඳීමෙනුත් කපාගත් කැබලිවලිනුත් ප්‍රචාරණය කරනු ලැබේ.

ඕක් ශාක ෆගාසේ (Fagaceae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕක්&oldid=12092" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි