ඇසළ උළෙල

සිංහල විශ්වකෝෂය වෙතින්
16:27, 12 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ආෂාඪ උත්සව). පුවසළ (පූර්වාෂාඪ), උතුරුසළ (උත්තර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ආෂාඪ උත්සව). පුවසළ (පූර්වාෂාඪ), උතුරුසළ (උත්තරාෂාඪ) යන ආෂාඪ නක්ෂත්‍ර දෙකෙන් එකකට සඳුගේ පැමිණීමෙන් පුරපසළොස්වක් තිථිය යෙදෙන මාසය ඇසළ මස යන නමින් හඳුන්වනු ලැබේ. ඒ වනාහි චාන්ද්‍ර වර්ෂයේ සිව්වැනි මාසයයි. එය ඉංග්‍රීසි ලිතේ ජූනි-ජූලි යන දෙමසේ ලැබෙන්නෙකි. ඇසළ උළෙල නම් ඒ කාලය තුළ පැවැත්වෙන විශේෂ උත්සවයි.

බෞද්ධයනට ඇසළ මස පුණු පොහෝ දින කරුණු තුනක් නිසා විශේෂයෙන් අභිමංගල වේ. මහ බෝසතුන් තුසිත දෙව්ලොවින් සැව මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ද මහබිනික්මන් කෙළේ ද ප්‍රථම ධර්ම දේශනාව කෙළේ ද ඇසළ මස පුර පසළොස්වක් දිනකය. ඒ මතු ද නොවේ. ග්‍රීෂ්ම ඍතුව අවසන් වී වර්ෂා ඍතුව ලබන්නේත් මෙදවසේ හෙයින් බෞද්ධ භික්ෂූන්ගේ වස් එළැඹීම ද මෙදවස ඇසුරෙන් කැරෙන්නේය. මේ හේතූන් නිසා මෙදවස බෞද්ධ විහාරාරාමයන්හි මහත් පුණ්‍යෝත්සව පවත්වනු ලැබේ. එහෙත් ඒ පින්කම් එකක්වත් ඇසළ උළෙල යන වෙසෙසි නමෙකින් මෙරට නොහැඳින්වේ. අද දවසේ මෙහි ඇසළ උළෙල යන නමින් වෙසෙසනු ලැබෙනුයේ ඇසළ මස තුළ දී, විශේෂයෙන් ම දේවාලයන්හි, ඒ ඒ දෙවියන් නිසා පවත්වනු ලැබෙන උත්සවය, කතරගම, දෙවුන්දර, නවගමුව, අලුත්නුවර, මහනුවර ආදි පුණ්‍යතීර්ථයන්හි මේ මාසයේ ශුක්ල පක්ෂය තුළ පෙරහර පැවැත්වේ (ඇසළ පෙරහර බ.).

ලක්වැසියන්ගේ විශේෂ සම්මානයට පාත්‍ර වන පත්තිනි දෙවියනට “ඇසළ මසට කෙළි පුද අරගන්නේ” යනාදීන් ඇසළ මස තුළ වෙසෙසි කෙළි පුද ලබන්නට වෙසෙසි අවසරයක් ලැබුණු වග පත්තිනි හෑල්ලේ කියැ වේ. මේ මෙහි චිරාගත ජනප්‍රවාදයක ප්‍රතිරාවයෙකි. එයින් ඇසළ මස දෙවියනට පුද පෙරහර සඳහා ඈත අතීතයේ සිට විශේෂයෙන් වෙන් කැරුණු මාසය වග පෙනේ. දකුණු පළාතේ අම්බලංගොඩ ආදි ඇතැම් පෙදෙස්වල ජනයා මේ මස අදත් හඳුන්වන්නේ ශුද්ධ මාසය යන නමිනි. මේ මස දෙව්පුද සඳහා ම වෙන් කැරුණු වගට මේ ව්‍යවහාරය ද ප්‍රබල සාක්ෂියකි. ඇසළ මස තුළ දෙවියන් උදෙසා කැරුණු පුද කෙළි උත්කර්ෂයෙන් ම වූ වග “ඇහැළ පූජාවට බෙරත් ඇත් දැයි ඇසුවා වාගේ” යන පොදු ජනවහරේ එන උපමාවෙන් ද පෙනේ.

ඇසළ මස දේවාරාධනයට සැරැසෙන අය කල්තියා ම සිය ගේදොර රෙදිපිළී ආදිය සෝදවා පවිත්‍ර කරවා ගනිති; ගෙය අවට භූමිය ද පවිත්‍ර කරවා ගනිති. ඉක්බිතිවැ මත්ස්‍යමාංසාදි කිලි අහරින් වෙන්වැ ගෙමිදුල පහන් පැලක් තනා දෙවියනට පෙහෙව, නිති පුද පවත්වමින් මාසය ගෙවති. ඉකුත් වසර තුළ වූ බාරහාරාදියක් ඇත් නම් එය ඒ ඒ දේවාලයන්ට ඔප්පු කරති; කතරගම, දෙවුන්දර ආදි තමන් ඇසුරු කරන පුණ්‍යතීර්ථයනට ද ගොස් බැතිපුද දක්වති. වත්පොහොසත්කම් ඇති අය සෙත් ලබනු සඳහා සිය ගෙවල පහන්මඩු ආදිය නටවති. ගම්වැසි කවුරුත් එක්ව ගමට සෙත් ලබාගනු සඳහා ගම්මඩු ආදිය නටවති; දේවාලයන්හි දෙවොල්මඩු ගිනිමඩු ආදිය නටවති. මේයැ ලක්දිව සෑම තන්හි ම මෑතක් වන තුරුත් සමහර තන්හි තවමත්, පැවැත්වුණු පැවැත්වෙන ඇසළ උළෙල.

දඹදිව ඇසළ කෙළිය

පුරාණ ජම්බුද්වීපයේ ඇසළ මස තුළ නැකත් කෙළි යන නමින් පතපොතෙහි හැඳින්වෙන කෙළි වෙසෙසක් වූ වග ජාතකට්ඨකථාවෙහි සඳහන් වේ. කිඹුල්වත් පුරයෙහි සතියක් මුළුල්ලේ පැවති ඇසළ කෙළියට මහාමායාදේවීන් සහභාගී වූ බව එහි කියැවේ. එම පවත පූජාවලියෙහි ද එයි. එහි පැවැති එමැ නැකත් කෙළියෙහිත් අද අප රටෙහි පැවැත්වෙන ඇසළ කෙළියෙහිත් සැබැඳියාවක් ඇත් ද යනු විමැසිය යුත්තෙකි. මෙහි ද මේෂ සංක්‍රාන්තියට නැකත් කෙළියක් පැවැත්වේ. සිංහල අවුරුදු උළෙල යන නමින් හැඳින්වෙනුයේ එයයි.

වර්තමාන භාරත වර්ෂයේ, ලක්දිව පවත්නා දීපව්‍යාප්ත ආෂාඪ උත්සවයනට සම කළ හැකි කිසිදු රාෂ්ට්‍රව්‍යාප්ත මහෝත්සවයක් නොපැවැත්වේ. ඇසළ පුර අටවක් තිථියෙහි පවිත්‍රාරෝහණ නමැති උත්සවයක් ද පුර දොළොස්වක් තිථියෙහි පවිත්‍රාරෝපණ නමැති උත්සවයක් ද ඇතැම් දේවාලයන්හි පවත්වනු ලැබේ. එයින් පවිත්‍රාරෝහණය දුර්ගා දේවාලයන්හි ද පවිත්‍රාරෝපණය ශ්‍රී කෘෂ්ණ දේවාලයන්හි ද පැවැත්වේ. එහෙත් ඒ දෙක ම මකර සංක්‍රාන්ති, මහා ශිවරාත්‍රි, දීපාවලි ආදිය වැනි මහෝත්සව නොවේ. ඇසළ මස පුර දසවක වර්තමාන මන්වන්තරය ආරම්භ වූ දිනය සැටියට ද පුර එකොළොස්වක් තිථිය විෂ්ණු දෙවියන්ගේ සිවුමස් නින්ද ඇරැඹෙන දිනය සැටියට ද අමාවක් තිථිය සුරාසුර යුද්ධයෙන් සුරයන් ජය ගත් දිනය ලෙස ද සලකනු ලැබේ. එහෙත් ඒ කරුණු නිමිත්තෙන් වෙසෙසි උළෙල පවත්වන සිරිතෙක් අද එහි නැති.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇසළ_උළෙල&oldid=12105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි