ඔස්ටියා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:27, 23 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉතාලියේ ටයිබර් ගංමෝය අසල වූ සුප්‍රසිද්ධ පැරණ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතාලියේ ටයිබර් ගංමෝය අසල වූ සුප්‍රසිද්ධ පැරණි නගරයකි. මෙය රෝමවරුන් විසින් පළමුවෙන් ම තනා ගත් ජනපදය ලෙස සලකනු ලැබේ. මෙහි දී සොයාගනු ලැබූ පැරණි ම ගොඩනැඟිලි ක්‍රි.පූ. සිව් වැනි සියවසට පමණ අයත් වේ. පැරණි ඔටියාවාසීන්ගේ ප්‍රධාන ආගම වූයේ වල්කන් නමැති ගිනි දෙවියා පිදීමයි. රෝම අධිරාජ්‍ය සමයේ සිට ම ප්‍රසිද්ධ වෙළඳාම් පොළක් වූ ඔස්ටියා නගරයෙහි අගනා වරායක් ද විය. මධ්‍ය ඉතාලියේ ප්‍රධාන වෙළඳ වරාය වශයෙන් සලකන ලද මෙය යුද්ධ කාලවල දී නාවික කඳවුරක් බවට පත් විය. පැරණි වරාය ක්‍රමයෙන් ගොඩ වී අනතුරුදායක තත්වයකට පත් වූයෙන් ක්ලෝඩියස් අධිරාජයා විසින් මෙහි අක්කර 170ක වර්ග ප්‍රමාණයක් ඇති අලුත් වරායක් තනවන ලදි. මෙය නීරෝ පෝර්ටුස් ඔගුස්ටි (Nero Portus Augusti) නමින් හැඳින්විණ.

ක්‍රි.ව. දෙවන හා තුන්වන ශතවර්ෂවල දී ඉමහත් දියුණුවට පත් ඔස්ටියා නගරය ගොතික් යුද්ධ හේතුකොටගෙන පරිහාණියට පත් විය. 1875න් පසු මෙය ගොවි ජනපදයක් බවට පරිවර්තනය විය.

නව ඔස්ටියා නගරය විදුලි දුම්රිය මාර්ගයකින් රෝම නගරයට සම්බන්ධ වී තිබේ.

දහඅටවන ශතවර්ෂයේ අවසාන භාගයේ දී ඔස්ටියාහි ආරම්භ කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ තවමත් පවත්වාගෙන යනු ලැබේ. මෙහි වූ නටබුන් අතර දේවමන්දිර, නෘත්‍යශාලා, සොහොන් ගැබ්, ස්නානාගාර, වෙළඳපොළවල් හා බඩු ගබඩා ද මහල් කීපයකින් යුත් ගෙවල් බොහෝ ගණනක් ද වේ. ගොඩනැඟිලි අලංකාර කළ විසිතුරු මොසෙයික් රචනා ද ශිලාලේඛන ද ලෝහ හා මැටි භාණ්ඩ ද ඔස්ටියා කෞතුක වස්තු අතර වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔස්ටියා&oldid=12109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි