රිචඩ් ඕවන්
(1804-1892). පෘෂ්ඨවංශීන් පිළිබඳ පොසිලවිද්යාවේ (vertebrate palaeontology) පුරෝගාමියකු වශයෙන් සලකනු ලබන බ්‍රිතාන්‍ය ජීවවිද්යාඥයෙකි. ඔහුගේ සැලකිල්ල වැඩිවශයෙන් යොමු වූයේ සංසන්දනාත්මක ව්යූහවිද්යාව (comparative anatomy) කෙරෙහිය.
ඕවන් උපන්නේ 1804 ජූලි 20 වැනි දින ලැන්කැස්ටර්හි දීය. හේ 1820 දී ප්‍රාදේශික බෙහෙත් සාදන්නකුගෙන් එම රක්ෂාව ඉගෙනීම සඳහා ඔහුගේ සේවයට බැඳුණි. වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ඕවන් 1824 දී එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ගියේය. ඉන් පසු හේ තවදුරටත් වෛද්‍ය විද්‍යාව පුහුණු කිරීම පිණිස ලන්ඩනයේ සාන්ත බාර්තොලොමියුස් රෝහලට ඇතුළු විය. 1826 දී ලන්ඩනයේ ශල්‍යවෛද්‍ය වෘත්තියෙහි නියුක්ත වූ හේ නොබෝ කලකින් ම ශල්යවෛද්යවරයන්ගේ රාජකීය විද්‍යාල කෞතුකාගාරයේ සහකාර අධිකාරි පදවියට පත් විය. විද්‍යා පර්යේෂණවල යෙදෙන්නට අවස්ථාවක් ඔහුට මෙහි දී ලැබිණ. එකල සුප්‍රසිද්ධ සත්වවිද්යාඥයකු වූ ජෝජ් කුව්යේ (Georges Cuvier) (බ.) විසින් 1831 දී පැරිසියේ දී පවත්වන ලද කථා මාලාවකට සවන් දීමෙන් සංසන්දනාත්මක ව්යූහවිද්යාව පිළිබඳ මනා දැනුමක් ඔහුට ලබා ගත හැකි විය. එමගින් හේ වඳ වූ සතුන් පිළිබඳ පර්යේෂණයන්හි යෙදුණි. මින් කලකට පසු රාජකීය විද්‍යාලයේ හන්ටීරියන් මහාචාර්ය පදවිය ඔහුට ලැබිණ. 1849 දී හේ කෞතුකාගාරයේ අධිකාරී පදවියට ද 1856 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ස්වභාවධර්ම අංශයේ අධිකාරී පදවියට ද පත් විය. ලන්ඩනයේ සව්ත් කෙන්සිංටන් ප්‍රදේශයේ නව ගොඩනැඟිල්ලට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ස්වභාවධර්ම අංශය ගෙනයන ලද්දේ ඔහුගේ උත්සාහයෙනි. 1884 දී විශ්‍රාම ලබන තෙක් හේ එහි නියුක්තව සිටියේය. 1882 දී පිරිනමන ලද නයිට් පදවිය ඔහු ප්‍රතික්ෂේප කළ නමුත් 1884 දී එය පිළිගති. 1892 දෙසැම්බර් 18 වැනි දා ඕවන් කලුරිය කළේය.
‘Memoir on the Pearly Nautilus’ (මුතු පැහැති නෞටිලසයා පිළිබඳ නිබන්ධය) නමැති ඕවන්ගේ පළමුවන ප්රකාශනය ඉතා ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස සලකන ලදි. ඔහුගේ ‘Odontography’ (දන්ත වර්ණනය) (1840-1845) නමැති ග්‍රන්ථය පෘෂ්ඨවංශීන්ගේ දත්වල සංසන්දනාත්මක ව්‍යූහය පිළිබඳ අගනා කෘතියකි. ‘History of British Fossil Reptiles’ (බ්‍රිතාන්‍ය පොසිල උරගයන්ගේ ඉතිහාසය) නමැති කාණ්ඩ 4කින් යුත් ග්‍රන්ථය ඔහු විසින් 1849-1884 අතර කාලයේ දී පළ කරන ලදි. වඳ වූ කුරුල්ලන් බොහෝ ගණනක් ගැන ද ඕස්ට්‍රේලියාවේ වඳ වූ ක්ෂීරපායින් ගැන ද විස්තරාත්මක ග්රන්ථ ඔහු විසින් පළ කරන ලදි.
සාමාන්‍ය ජීවවිද්‍යාව පිළිබඳ ඕවන්ගේ මතවලින් ජීවවිද්යාඥයන්ට වැඩි ප්‍රයෝජනයක් නොලැබිණි. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ විද්‍යාත්මක වැදගත්කම හරිහැටි තේරුම් ගැනීමට ඕවන් අපොහොසත් වුව ද ඔහුගේ කෘති විශිෂ්ට වූයේ ඔහු ඉතා මහන්සි වී නොයෙක් පර්යේෂණවලින් කරුණු රාශියක් ලබාගත් බැවිනි. වඳ වූ සත්ව විශේෂ බොහෝ ගණනක් පුනර්සංඝටනය කිරීමෙහි ලා ඔහුට තීක්ෂණ බුද්ධියක් තිබුණි. සංසන්දනාත්මක විද්‍යාවේ සඳහන් වන සමප්රභවතාව (homology) සහ සමකාර්යතාව (analogy) අතර ඇති වැදගත් වෙනස හේ පෙන්වා දුනි. ඉතා උද්යෝගී ලෙස පර්යේෂණවල යෙදුණු බැවින් ව්යූහවිද්යාඥයන් අතර ප්රමුඛස්ථානයක් ඔහුට ලැබිණ.
(සංස්කරණය: 1974)