අග්ගධම්මාලංකාර මහතෙර (ක වි ධ ජ මහාධම්ම රාජාධිරාජගුරු)
1815-1887 බුරුමයේ ශ්‍රේෂ්ඨ බෞද්ධ පඬිවරයාණ කෙනෙකි. එරාවති (ඉරවඩි) ගඟේ නැගෙනහිර පැත්තේ පිහිටි තම්බදීපදේශයට අයත් පෞක් ජෞං ගමේ උපන් මෙතුමාණෝ තෙළෙස් හැවිරිදි වියේ දී කොණ්ඩඤ්ඤ නම් තෙරුන්වහන්සේ කෙනකුන් වෙත අග්ගධම්ම යන නාමයෙන් පැවිද්ද ලැබූහ. එහි දී ම මූලික අධ්‍යාපනය ලැබූ මුන්වහන්සේ පසු කලෙක රත්නපුර (ආවා) නගරයෙහි විසූ සේඑඞ්ෂයාඩෝ මහතෙරුන්ගෙන් වැඩිදුර ධර්මශාස්ත්‍රාදිය උගත්තෝය.
ක්‍රි.ව. 1835 දී උපසම්පදාව ලැබූ අග්ගධම්ම ස්වාමිපාදයෝ එයින් තුන් වසකට පසුව රතනසිඛ නුවර අසල සලුං නමැති ගමේ චන්දිම මහ තෙරුන් සමීපයෙහි වැඩිදුරටත් ඉගෙනීම කළහ. ඉක්බිති කොණ්ඩඤ්ඤ මහතෙරුන් වෙත ආපසු ගිය උන්වහන්සේ එහිදී ධාත්වත්ථදීපනී නම් පාලි ග්‍රන්ථය රචනා කොට එයට බුරුම බසින් සන්නයක් ලීහ. ඉන් පසු ධම්මපද පාලියට ද විමති විනෝදනී විනය ටීකාවට ද බුරුම සන්න සැපැයූහ.
මුන්වහන්සේ කෙරෙහි පැහැදුණු බුරුමයේ රතන පුරයෙහි රජ තෙමේ ස්වර්ණාලිප්ත මහා විහාරයක් කරවා පිරිනමා භික්ෂූනට පර්‍ය්‍යාප්තිය ඉගැන්වීමට මුන්වහන්සේ යෙදැවීය. දුස්සීලාදීනව කථා, සීලානි සංස කථා, අනුශාසන කථා, ආවාසිකාචාර කථා, පච්චයනිස්සග්ග කථා, පාතිමොක්ඛ කථා, දායකොවාද කථා යන ග්‍රන්ථ මුන්වහන්සේ විසින් එහි දී රචනා කරන ලදි.
පසුකල මෙණ්ඩුන් නම් රජ තෙමේ මුන්වහන්සේට සංසජා නම් පෙදෙසෙහි විහාරයක් කරවා දී අග්ගධම්මාලංකාර කවිධජ මහාධම්ම රාජාධිරාජගුරු යන ගෞරවෝපාධිය ප්‍රදානය කරමින් රාජගුරු අක්තය පිරිනැමීය. එතැන් පටන් මුන් වහන්සේ ප්‍රකට වූයේ සංසජාෂයාඩෝ" යන නාමයෙනි.
බුරුම රාජවංශය පිරිහී යෑමේ දී මණ්ඩලේ නුවරින් විසිර ගිය මහ තෙරවරුන් අතර අග්ග ධම්මාලංකාර හිමියෝ ද වූහ. උන් වහන්සේ සිය ප්‍රධාන ශිෂ්‍ය වජිරාරාමික තෙරුන් ද සමඟ පහළ බුරුමයේ (රාමඤ්ඤ දේශයේ) මූල්මෙයින්, නුවරට ගොස් එහි මජිතෝ චෞං (චිංචාරාම) විහාරයෙහි විසූහ. ක්‍රි. ව. 1887 දී උන්වහන්සේ එම විහාරයෙහි දී අපවත් වූහ.
අති දක්ෂ කථිකයකුව සිටි අග්ගධම්මාලංකාර ස්වාමිපාදයෝ උපහාස තෙපුල් බිණීමෙහි ද සමත්ව සිටියහ.
(සංස්කරණය:1963)