අටළොස් මහගණ
බෞද්ධ සාහිත්‍යයෙහි කිසිතැනෙක ධර්මධර වූ ආචාර්‍ය්‍ය භික්ෂුවරයන්ගේ මහත්වය දැක්වීම සඳහා එතුමන් අටළොස් ගණයකට ආචාර්‍ය්‍යව සිටි බව දක්වනු ලැබේ. එසේ ම අතැවැසියන් බොහෝ දෙනකුන් ඇති ආචාර්‍ය්‍යවරයා "ගණාචාර්‍ය්‍ය" යයි කියනු ලැබෙයි. ශාසනයෙන් පිටත්හි දු ෂට්ශාස්තෘවරයන් සඳහා "සංඝිනො ගණිනො ගණාචරියා"යි සමූහයකට ආචාර්‍ය්‍යව සිටි හෙයින් ගණාචරිය යි කී බව පෙනේ. ධම්මපදට්ඨකථායෙහි ද්වේසහායක වස්තුයෙහි ග්‍රන්ථධූරය දැරූ භික්ෂූන්වහන්සේ ගණාචාර්‍ය්‍ය කෙනෙකි; අටළොස්ගණයකට ආචාර්‍ය්‍යව සිටි කෙනෙකි. ඒ බව සද්ධර්මරත්නාවලියෙහි "පන්සියක්දෙනාවහන්සේට අසන තැන් කියනසේක් අටළොස් ගණයකට ඇදුරු වූ සේක"යි දක්වන ලද්දේය. මෙයින් අතැවැසියන් පන්සියකට උගන්වන ආචාර්‍ය්‍යවරයා ඔවුන් අටළොස් ගණයකට වර්ග කොට ධර්මය ඉගැන්වූ බව සිතිය හැකිය. "අට්ඨාරසන්නං මහාගණානං" යන පෙළ වදනට අරුත් පවසන කසුප් රජතුමා ධම්පියා අටුවා ගැටපදයෙහි "සුත්තන්තිකගණ වෙනයිකගණ ඈ අටළොස් මහාගණයන්ට"යි ගණ දෙකක් දක්වා සෙස්ස විමසීමට දොරටුව අළුයේය. දික්සඟි අටුවායෙහි ගාමන්තපබ්භාරවාසී මහාසීව තෙරුන් සඳහා ද "ථෙරො කිර අට්ඨාරස මහා ගණෙ වාචෙති. තස්සොවාදෙ ඨත්වා තිංසසහස්ස භික්ඛු අරහත්තං පාපුණිංසු" යනාදීන් මහාසීව තෙරණුවෝ මහාගණ අටළොසකට ඉගැන්වූහ යි ද, උන්වහන්සේගේ අවවාදයෙහි සිට තිස්දහසක් භික්ෂූහු රහත් වූහ යි ද දක්වන ලද්දේය. මේ තෙරණුවන්ගේ චරිත කථාව විමසන විට උන්වහන්සේ අටළොස් මහාගණයකට පර්‍ය්‍යාප්තිය උගන්වන අතර ම කම්මට්ඨානදායක ආචාර්‍ය්‍යව සිටි බව ද පෙනේ.
මෙහි දැක්වෙන අටළොස් මහාගණය මේ මේ යයි වෙන් කොට දැක්වූ තැනෙක් නැත. එකල පැවැති අධ්‍යාපනය මුඛපාඨයෙන් පර්‍ය්‍යාප්තිය ඉගැන්වීම හෙයින් අතැවැසියන්ගේ සංඛ්‍යාව වැඩි වූ කල්හි ඉගැන්වීමේ පහසුව සඳහා අතැවැසියන් වර්ග අටළොසකට බෙදා උගන්වා ලූ බව මෙහි ලා සිතිය හැකිය. තවද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පූර්වයෙහි දීඝභාණක, මජ්ඣිමභාණකාදි භාණකාචාර්‍ය්‍යවරයෝ ද විසූහ. කිසිවකු සිතන ලෙස භාණකයන් අටළොස් දෙනකුන් සඳහා අටළොස් මහාගණ යයි ව්‍යවහාර කළ බවකුදු නොපෙනේ. ඒ ඒ දහම් කොටස් පෙළ අටුවා විසින් ග්‍රහණ ධාරණ කෙරෙමින් ඉගැන්වීමෙන් දෙසීමෙන් පර්‍ය්‍යාප්තිය ආරක්ෂා කිරීම ඔවුන් අයත් කාර්‍ය්‍යය වූයේය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීමෙන් පසුව අනුක්‍රමයෙන් ඒ භාණක පරම්පරා අභාවයට ගිය බව ද සිතිය හැකිය. පෙර පැවති ගණාවාචනය වනාහි කාලානුරූපව විවිධ වෙනස්කම්වලට පැමිණෙමින් අද දක්වා ම පවත්නේ යි.
(සංස්කරණය:1963)