අතපත්තු

සිංහල විශ්වකෝෂය වෙතින්
16:37, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('කෝට්ටේ යුගයේ දී හා ඉන්පසු යුගවල දී සිංහල රජවරු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කෝට්ටේ යුගයේ දී හා ඉන්පසු යුගවල දී සිංහල රජවරුන්ගේ හා දිසාපතිවරුන්ගේ වාසල් රැකබලාගත් භට පිරිසයි. රජවාසල ආරක්ෂක භටපිරිස මහ අතපත්තුව නමින් ද දිසාපතිවරුන්ගේ වාසල් මුර කළ භට පිරිස දිසා අතපත්තුව නමින් ද හැඳින්වුණහ.

අතපත්තු සේවය කවර කලෙක මෙරට ආරම්භ වී දැයි නිශ්චය වශයෙන් කීමට සාක්ෂ්‍ය නැත. ක්වේරෝස්, රිබේරෝ හා කූටෝ ආදී ප්‍රතිකාල් ඉතිහාසඥයෝ කෝට්ටේ යුගය සම්බන්ධයෙන් අතපත්තුව හා අතපත්තු නිලධාරීන් ගැන තම කෘතීන්හි සඳහන් කරත්. කෝට්ටේ යුගයට පෙර ලියන ලද ග්‍රන්ථයක අතපත්තුව ගැන හෝ අතපත්තු නිලධාරීන් ගැන සඳහනක් වී ඇති බවක් නොපෙනේ. සීතාවක සමයට අයත් මායාදුන්නේ (1521-1581) රජුගේ අතපත්තු හමුදාවක් ගැන හා සීතාවක රාජසිංහ (1581-1593) රජුගේ අතපත්තු හමුදාවක් ගැනත් ක්වේරෝස්ගේ "ලංකාවිජය" (Conquista Temporale Espiritual de Ceylão) නමැති ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. කෝට්ටේ යුගය හරියේ දී ආරම්භ වී යයි සිතිය හැකි අතපත්තු සේවය මහනුවර යුගයේ අවසානය දක්වා ම පැවති බව මහනුවර රාජ්‍යයේ ආණ්ඩුක්‍රමය පිළිබඳව ලියවුණු ඩොයිලිගේ විස්තරයෙන් පෙනේ. අතපත්තුව පිළිබඳ සේවා සංවිධානය හැඳින්වුණේ අතපත්තු වසම නමිනි. ඊට අයත් වූවෝ ඒ ඒ දිසාවේ හෝ රටේ වැදගත් අයය. සෑම කෝරළයක ම අතපත්තු වසමක් තුබුණු බව ඩොයිලි සඳහන් කරයි. ගල්බොඩ කෝරළේ අතපත්තුව, කිනිගොඩ කෝරළේ අතපත්තුව, පරණකූරුවෙ කෝරළේ අතපත්තුව හා බෙලිගල් කෝරළේ අතපත්තුව ආදිය මින් සමහරකි. කෝරළේ අතපත්තුවක ප්‍රධානියා හැඳින්වුණේ අතපත්තු ලේකම් නමිනි. අතපත්තු ලේකම් යන්න බෙහෙවින් ම ව්‍යවහාර වුණේ උඩරට පෙදෙස්වල බවත් ඒ නිලධාරියා පාතරට පෙදෙස්වල දී අතපත්තු මුදලි යන නාමයෙන් හැඳින්වුණු බවත් ඇතැම් පඬිවරුන්ගේ පිළිගැනීමයි. අතපත්තු මුදලි යනු මුදියන්සේ වෙනුවට ඇතැම් පළාත්වල පැවැති ව්‍යවහාරයක් බව පෙනේ.

රජවාසල මුර කළ හේවා කණ්ඩායම සේවයෙහි යෙදී සිටි ස්ථානයට අතපත්තු මඩුව හෙවත් අතපත්තු මුරපළ යන නාමය ව්‍යවහාර විය. අතපත්තු මඩුව භාරව සිටියේ නිලමේ කෙනෙකි. නැතහොත් මුහන්දිරම් කෙනෙකි. ඔහු හැඳින්වුණේ අතපත්තු නිලමේ නැතහොත් මුහන්දිරම් යනුවෙනි. ඔහු යටතේ අතපත්තු කංකානම්වරු දෙදෙනෙක් ද, අතපත්තු අප්පුහාමිලා නමින් හැඳින්වුණු සාමාන්‍ය භටයන් කිහිප දෙනෙක් ද වූහ. මහනුවර යුගයේ මුල් හරියේ දී පමණ රජවාසල භාරව සිටි අතපත්තු හමුදාවෙහි අතපත්තු අප්පුහාමිලා පනහක් හෝ හැටක් සිටි නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) රජුගේ කාලයේ දී එහි සිටියේ 48 දෙනකු පමණක් බව ඩොයිලි පවසයි. රජමාළිගය මුර කිරීම මොවුන්ට පැවරී තුබුණු ප්‍රධාන රාජකාරිය වූ නමුත් පෑ දැමීම හෙවත් පෑතැටිය දිය කොරොස්වල දමා වේලාව නිශ්චය කිරීම හා මිණිගෙඩිය ගැසීමෙන් ජාම වේලා හැඟවීම ද රජවාසලෙහි වාහල්කඩ පෑතැටි සතර අසල මුර කළ අතපත්තු අප්පුහාමිලාට නියමව තුබුණි. රජු රටේ සංචාරය සඳහා යන විට ඔහුගේ ආරක්ෂාව සඳහා මොවුන්ගෙන් කොටසක් රජු සමඟ ගිය බව පෙනේ. කෝට්ටේ සීතාවක හා මහනුවර රජවරුන් ප්‍රතිකාලුන්ට විරුද්ධව කළ සටන්වල දී අතපත්තු හමුදාව සිය රජු වෙනුවෙන් සටන් කළ අවස්ථා කිහිපයක් ගැන ක්වේරෝස්ගේ "ලංකාවිජය"යෙහි හා රිබේරෝගේ ලංකා ඉතිහාසයෙහි ද සඳහන් වෙයි. 1578 දී පමණ ප්‍රතිකාල්වරුන් විසින් මුන්නේස්සරම් කෝවිල විනාශ කරනු ලැබූ අවස්ථාවේ එය රැකගැනීම පිණිස ප්‍රතිකාලුන්ට විරුද්ධව රජු වෙනුවෙන් සටන් ක‍ළේ අතපත්තු හමුදාවක් සමඟ පැමිණි අතපත්තු මුදලි කෙනකුන් බව ක්වේරෝස් පවසයි. මහනුවර රාජ්‍යයේ සෙනරත් රජු (1604-1635) 1629 දී පමණ යාපනයේ ප්‍රතිකාලුන්ට පහර දීම සඳහා අතපත්තු මුදලි කෙනකුන් යටතේ සේනා යවන්නට තැත් කරන ලද නමුත් ප්‍රතිකාලුන්ට එය කල්තියා ආරංචි වීම නිසා ඔවුන් විසින් එය කඩාකප්පල් කර දමන ලද බව රිබේරෝගේ ලංකා ඉතිහාසයෙහි සඳහන් වෙයි. එබැවින් අතපත්තු හමුදාව රජුගේ වාසල ආරක්ෂක භට පිරිසක් වශයෙන් පමණක් නොව රජුගේ සෙබළ පිරිසක් වශයෙන් ද සේවය කොට ඇති බව සිතිය හැකිය. සටන් බිමේ දී ද ඔවුන්ගේ ප්‍රධානියා හැටියට කටයුතු කෙළේ අතපත්තු මුදලි නමින් ප්‍රතිකාල් ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලබන අතපත්තු ලේකම්ය. ලංකාවේ ප්‍රතිකාල් හා ඕලන්ද ආණ්ඩු යටතේ වූ ඒ ඒ දිසාවල අයත් සිංහල ලස්කිරිඤ්ඤ හමුදාව භාරව සිටි නිලධාරියා හැඳින්වුණේත් ප්‍රතිකාල් හා ඕලන්ද දිසාපතිවරුන්ගේ තෝල්කවරුන් හැඳින්වුණේත් අතපත්තු මුදලි නමිනි. ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ දීත් කොළඹ හා ගාල්ලේ දිසාපතිවරුන්ගේ තෝල්කවරුන් හඳුන්වන ලද්දේ අතපත්තු මුදලි යනුවෙනි. 1798 දී ඉංග්‍රීසීන් විසින් ලංකාවේ මුහුදු බඩ පළාත්වල පනවන ලද අලුත් ආදායම් පාලන ක්‍රමය යටතේ ප්‍රධාන ආදායම් පාලක නිලධාරියාගේ කාර්යාලයට සම්බන්ධව ඔහුට උදව් පිණිස කෝරළේ මුදලිවරුන්ගේ නායකයා වශයෙන් කටයුතු කළ නිලධාරියා හඳුන්වන ලද්දේ ද අතපත්තු මුදලි නමිනි. මෙයින් පෙනී යන්නේ අතපත්තු මුදලි තනතුර රජවාසල හෝ දිසාපති වාසල් මුරකළ අතපත්තු හමුදාව භාරව සිටි නිලධාරියාට පමණක් සීමා වූවක් නොවූ බවය.

දිසා අතපත්තුවේ ප්‍රධානියා වූයේ අතපත්තු ලේකම් හෙවත් අතපත්තු මොහොට්ටාලය. ක්ව්රොස්, රිබේරෝ හා කූටෝ යන ප්‍රතිකාල් ඉතිහාසඥයන් අතපත්තු ලේකම් හඳුන්වා ඇත්තේ අතපත්තු මුදලි යනුවෙනි. ඔහු යටතේ අතපත්තු ආරච්චිලා සිවුදෙනෙකුන් හා අතපත්තු අප්පුහාමිලා රාශියක් ද සිටි බව ඩොයිලි සඳහන් කරයි. දිසාපතිවාසල මුරකිරීම ඒ ඒ අතපත්තු වසම්වලට මාරුවෙන් මාරුවට කිරීමට සිදු වූ බව පෙනේ. මහනුවර යුගයේ අවසාන හරියේ දී මහනුවර දිසාපති වාසලේ මුරසේවය පළමුවෙන් ම ගල්බොඩ හා කිනිගොඩ දෙකෝරළයේ අතපත්තු වසමේ ඇත්තන් විසින් ද, ඉක්බිති පරණකූරුවේ අතපත්තු වසමේ ඇත්තන් විසින් ද, අවසානයට බෙලිගල්කෝරළේ අතපත්තු වසමේ ඇත්තන් විසින් ද කරන ලද බව ඩොයිලි සඳහන් කරයි. එක අතපත්තු වසමක මෙසේ එකවරකට මුර සේවයේ යෙදුණු අප්පුහාමිලාගේ ගණන සාමාන්‍යයෙන් 25ටත් 30ටත් අතර විය. මුරසේවය පිණිස දඩ වශයෙන්, දිනකට රිදී දෙක බැගින් දිසාපතිට ගෙවිය යුතු විය. මේ දඩ මුදල හැඳින්වුණේ "මුර රිදී" නමිනි.

දිසා අතපත්තුවේ අය අතපත්තු මඩුවෙහි සිට දිසාපති වාසල මුරකළහ. දිසාවේ මහකොඩිය ද මුතුකුඩය, වඩනා තලාත්ත හා සේසත් ආදිය ද ලේකම් මිටිය හා මුර ආවුද ද දිසා අතපත්තුවේ අප්පුහාමිලාගේ භාරයේ විය. අතපත්තු මඩුවෙහි ලන ලද සිරකරුවන් මුර කිරීම ද අතපත්තු අප්පුහාමිලාගේ රාජකාරියක් විය. දිසාපති තැනගේ අණපනත් හා පණිවුඩ ගෙනයාමත් දිසාපති තැන ඔහුට අයිති ප්‍රදේශයේ සංචාරයේ යන විට ඔහුගේ ආරක්ෂාවට යෑමත් අතපත්තු අප්පුහාමිලාට නියමව තුබුණු තවත් රාජකාරියකි. රාජකීය උත්සව අවස්ථාවල දී දිසාවේ මහකොඩිය හා මුර ආවුද උසුලාගෙන යෑමට අතපත්තු ආරච්චිලට නියමව තුබුණි. එබැවින් අතපත්තු ආරච්චිලට පෙරමුණේ රාළ යන නම ද ව්‍යවහාර විය. දිසා අතපත්තු භාරයේ පැවති තුවක්කු, පිහියා, කස්තාන හා යතුරු ආදියෙහි කැටයම් කිරීම සඳහා ද අතපත්තු අප්පුහාමිලා කොටසක් සිටි බව පෙනේ.

අතපත්තු සේවයට මුදලින් පඩි ගෙවීමක් නොවුව ද ඔවුන්ගේ ජීවිකාව සඳහා ඔවුන්ට ආණ්ඩුවෙන් ගම්බිම් ලැබුණි. මේ ගම්බිම් හැඳින්වුණේ අතපත්තු ගම් හෙවත් අතපත්තු පංගුව නමිනි. රජ වාසල හෝ දිසාපති වාසල් මුර කිරීම හැර රජු වෙනුවෙන් කද රාජකාරීයක් කිරීමට ඔවුන්ට සිදු නොවීය. එහෙත් දිසාපති තැන රාජකාරීය පිණිස ඔහුගේ දිසාවට පැමිණි විට ද, අතපත්තු ලේකම් හා අතපත්තු ආරච්චිල ඔවුන්ගේ කෝරළවලට රාජකාරිය පිණිස පැමිණි විට ද ඔවුන්ට අඩුක්කු සැපයීමට ඒ අතපත්තු වසමේ අයට සිදුවිය.

ප්‍රසිද්ධ විහාරස්ථානයන්හි හා ප්‍රසිද්ධ දේවාලයන්හිත්, දළදා මාළිගාවෙහි හා ශ්‍රීපාදස්ථානයෙහිත් මහනුවර යුගයේ දී අතපත්තු සේවය පැවතුණු බව කියති. මේ ස්ථානයන්හි පැවති අතපත්තු සේවාවන්ගෙන් ද සිදුවූයේ ඒ ඒ ස්ථාන මුර කිරීමයි.

ලංකාවේ ඇතැම් පළාත්වල "අතපත්තු" නමින් පෙළපත් නාමයක් ද වෙයි. මේ වාසගම දරන්නෝ පැරණි අතපත්තු වසම්වලට අයත්ව සිටියවුන්ගෙන් පැවතෙන්නෝ යයි සිතිය හැකිය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතපත්තු&oldid=1438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි