අඔතල චක්‍රය
ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයෙහි දී ඉවහල් කරගනු ලබන චක්රයකි. චක්‍ර නිර්මාණය මෙසේය. අර (ගරාදි) අටකින් යුත් චක්‍රයක් ඇඳ එහි මුදුන් අරයෙන් ආරම්භව අයන්නේ පටන් ඕයන්න දක්වා ඇති ස්වර ද කකාරය පටන් අනුස්වාරය දක්වා ඇති ව්‍යඤ්ජන ද පිළිවෙළින් ලියන්නේය. එකල (1) අ, ඹ, ත, ල (2) ආ, ඕ, ද, ව (3) ඉ, ක, න, ස (4) ඊ, ග, ප, හ (5) උ, ජ, බ, ළ (6) ඌ, ට, ම, අං (7) එ, ඩ, ය (8) ඒ, ණ. ර යන අකුරු අට අටෙහි පිළිවෙළින් සිටී.
ගොනුව:Http://encyclopedia.gov.lk/si encyclopedia/images/f/f3/1.jpg
එක් එක් අරයෙහි පිහිටි අකුරු ක්‍රමයෙන් මුගටි, මහිෂ, බකමුහුණු, ව්යාඝ්ර, සර්ප, තුරඟ, කාක, මුව යන යෝනි අටට අයත්ය. මෙයින් ප්‍රථම යෝනිය පස්වැන්නට ද, දෙවැන්න සවැන්නට ද, තුන්වැන්න සත්වැන්නට ද සිව්වැන්න අටවැන්නට ද විරුද්ධය. ගණන් කිරීම කොතැන සිට කොයි අතට කළත් එය ආරම්භ කළ යෝනිය ඉන් පස්වැන්න හා ප්රතිවිරුද්ධය. යෝනි විෂයෙහි පවත්නා මේ විරුද්ධතාව ඒ ඒ යෝනිවලට අයත් අක්ෂරයන් කෙරෙහි ද බලපවත්වයි. විරුද්ධ යෝනිය හැර සෙසු සියල්ල ඔවුනොවුන්ට උදාසීන යයි සඳහන් වුව ද සිව්වන යෝනිය මිත්‍ර වශයෙන් සලකනු ලැබේ. ගද්‍ය පද්‍යාරම්භයෙහි ද ඉෂ්ට කාව්‍යකරණයේ දී පද්‍යාරම්භයෙහි හා කාව්‍යනායක, කාව්යකර්තෘ නාමයන්ගේ උභයපාර්ශ්වයෙහි ද අවිරුද්ධයෝනිවලට අයත් අක්ෂර යෙදීම නියමිතය. අනිෂ්ටකාව්ය (වස්කව්) නිබන්ධනයේ දී යථෝක්ත ස්ථානයන්හි විරුද්ධ යෝනිවලට අයත් අකුරු යෙදිය යුතුය. චක්‍රය මුදුනෙහි වූ මුගටි යෝනියට අයත් අ ඹ ත ල යන අක්ෂර සතරෙන් මේ චක්‍රය හඳුන්වා තිබේ.
(සංස්කරණය:1963)