අධිමුත්තිකාලකිරියා
බුද්ධත්වයට නියත විවරණ ලබා දසපාරමී ධර්මයන් පුරන බෝධිසත්වවරයන් දීර්ඝායුෂ ඇති දිව්‍යලෝකවල උපන් කල්හි ඔවුහු අධිමුක්ති කාලක්‍රියාවෙන් කලුරිය කෙරෙති; දීර්ඝායුෂ ඇති දෙව්ලෝ බඹලෝ පෙරුම් දම් පිරීමට ස්ථාන නොවන හෙයින් කුශලක්‍රියාවට අවකාශ ඇති මිනිස් ලොව උපදිනු සඳහා අභිරුචිය උපදවා ඇස් පියා ගනිති. එකල්හි ම ඔහු එයින් සැව මිනිස් ලොව උපදිත්. මේ අධිමුක්ති කාලක්‍රියාව නියතවිවරණ ලැබූ බෝසතුන්ට ම ආවේණික වූ අන්‍යයන්ට විෂය නොවන ධර්මතාවකි. (චරියාපිටක අට්ඨකථා.)
විශ්වන්තරාත්මභාවයෙන් සැවැ තුෂිත පුරයෙහි උපන් බෝසතුන් බුදුවීම සඳහා මිනිස්ලොවැ උපදනා තෙක් සත්පනස් කෙළ සැට ලක්ෂයක් හවුරුදු ඒ දෙව්ලොව පරමායුෂ වින්ද බව ද එය බෝසතුන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූතධර්මයක් බව ද "අච්ඡරියබ්භූත" සූත්‍රයෙහි සඳහන් වෙයි. එයින් දීර්ඝායු ඇති දෙව්ලොවක හෝ බඹලොවක උපන් හැමවිට ම අධිමුක්ති කාලක්‍රියාව සිද්ධ වූ බව නිගමනය වේ.
(සංස්කරණය:1963)