අනාථාධාර

සිංහල විශ්වකෝෂය වෙතින්
13:39, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අඳ, ගොළු, බිහිරි, කොර ආදී අඞ්ගවිකලවූවන්ට ද රෝගී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අඳ, ගොළු, බිහිරි, කොර ආදී අඞ්ගවිකලවූවන්ට ද රෝගීන්ට ද මව්පිය නෑදෑයන් නැති අනාථයන්ට ද ස්වකීය උත්සාහයෙන් ජීවනෝපාය කරගත නොහැකි දුගී, මගී, යාචකාදීන්ට ද නියං, ජලගැලුම්, භූමිකම්පා ආදි උවදුරුවලට පාත්‍ර වූවන්ට ද ආහාරපාන රක්ෂාවරණාදිය ලබාදීම අනාථාධාර නම් වේ. අනාථවූවනට කෑම් බීම්, ඇඳුම්පැලඳුම් හා වාසස්ථාන සපයාදීම ප්‍රතිකාරාදිය කිරීම අතිපුරාණයෙහි පටන් ශිෂ්ටලෝකයා අතර පැවැති සාධුගුණ ධර්මයකි.

බුදුසමයෙහි මෙය දාන සඞ්ඛ්‍යාවෙහි ලා සලකනු ලැබීය. බෝධිසම්භාරයන් පුරණ සමයෙහි බෝසතාණන්වහන්සේ ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිතය ද අඹුදරු ආදීන් ද දාන විෂයෙහි පිදූ බව ජාතකකථාවලින් හෙළි වේ. මහෞෂධ පඬිව උපන් සමයෙහි කරවන ලද ශාලාවෙහි ද දුප්පතුන් වසන තැන, දුප්පත් ගැහැනුන් වදන තිඹිරිගෙය, ආගන්තුක බමුණන් වසන තැන ආදි වශයෙන් දැක්වෙන ගෘහ විශේෂ ද අනාථාධාර සඳහා කළ බව හෙළි වේ. බුදුරදුන් දිවමන් කල්හි විසූ සුදත්ත සිටුවරයා අනාථයන්ට පිණ්ඩදානය කෙරේනුයි අනාථ පිණ්ඩික (අනාථානං පිණ්ඩං දදාතීති අනාථ පිණ්ඩිකො) නම් වී. අශෝකාධිරාජයන් ස්වකීය විජිතයෙහි ආරෝග්‍යශාලා පිහිටුවීම, බෙහෙත් සැපයීම, සෙවණ පිණිස මංමාවත්වල වෘක්ෂ රෝපණය කරවීම, විශ්‍රාමශාලා තැනවීම, ළිං පොකුණු කැණවීම ආදියෙන් මනුෂ්‍යයන්ගේ පමණක් නොව තිරිසන් සතුන්ගේ ද යහපත සඳහා කටයුතු කළ බව එතුමා පිහිටුවූ ශිලාලිපිවලින් පෙනේ.

දුරාතීතයෙහි විසූ භාරත දේශීයයෝ අනාථයන්ට ආධාර කිරීම ආගමික චාරිත්‍රයක් කොටගත් බව වෛදික හා පශ්චාත් වෛදික ග්‍රන්ථයන්ගෙන් හෙළිවේ. ඡාන්දෝග්‍ය උපනිෂදෙහි දානය ත්‍රිවිධ ධර්මස්කන්ධයන්ගෙන් එක අංශයක් වශයෙන් හැඳින්වේ. බරණැස් ආදි ඇතැම් නගරවල ගිලනුන්ට හා කොරුන්ට ද රෝගී වූ දෙනුන්ට ද රක්ෂාවරණ හා ආහාරපානාදිය සැපයීම සඳහා අතිපුරාණයේ දී තනා තිබුණ ගොඩනැගිලිවල නටබුන් මෑත දී පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ.

ක්‍රිස්තුභක්තිකයන් ද දීර්ඝ කාලයකට පෙර පටන් අනාථාධාරයෙහි හා ආගන්තුක සත්කාරයෙහි නිරත වූ බව පෙනේ. ශුද්ධ වූ බයිබලයෙහි තුන්වන පොත වූ ලෙවී කථාවෙහි යෙහෝවඃවහන්සේ මෝසෙස් අමතා ඊශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා කළ ප්‍රකාශයන්හි "තවද තොපේ දේශයෙහි ගොයම් කපන කාලයෙහි කපන විට කෙතේ මුලුවල තිබෙන සියල්ල සිස් නොකරව. තාගේ කෙත්වලින් ඇරුණු කරල් රැස් නොකරව. දිළිඳුන් හා අන් රට වැසියන්ට ඒ අරුව. තොපගේ දෙවි වූ යෙහෝවඃවහන්සේ මම යයි වදාළ සේක" ආදි පාඨවලින් ද දුප්පතුන්ට හා ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම උසස් කොට සැලකූ බව හෙළි වේ. අනාථාධාර දීම ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම ශතවර්ෂය පමණේ දී ක්‍රිස්තුභක්තිකයන් අතර සිරිතක් බවට පැමිණි බව කියති. ඒ සඳහා ප්‍රමුඛව ක්‍රියා කළේ ක්‍රිස්තියානි පූජකවරුන්ය. දේවස්ථානයෙහි තබා තිබුණ පෙට්ටියකට සෑම සාමාජිකයකු ම මාස්පතා පරිත්‍යාග කරන මුදලක් අනාථාධාරය සඳහා යෙදවූහ. මෙසේ එකතුවන මුදල යාචකයන්, විනාශ වූ නෞකාවල නැවියන්, වැන්දඹු ස්ත්‍රීන්, අනාථ දරුවන්, රෝගීන්, ආගන්තුකයන්, සිරකරුවන්, අඞ්ගවිකලවූවන් යනාදීන්ට ආධාර දීම සඳහා ද, අවමංගල හා අධ්‍යාපන කටයුතු සඳහා ද යෙදූහ. පසු කාලයෙහි, දේවස්ථානවලට ලැබෙන ආදායමෙන් හතරෙන් කොටසක් අනාථාධාර සඳහා යොදන ලදී. අනාථාධාරය සෑම බිෂොප්වරයකු විසින් ම ඉටු කළයුතු වූ සේවයක් විය. ක්‍රිස්තු සිව්වන ශතවර්ෂයේ දී අසරණයන් සඳහා ආරෝග්‍යශාලා තැනීම ද රෝගීන්, දිළින්දන්, අනාථ දරුවන් හා මහලු අය ආදි වශයෙන් තම තමන්ගේ උත්සාහයෙන් ජීවත්විය නොහැකි හැමදෙනාට ම ආධාර දීම සඳහා ආයතන පිහිටුවීම ද ආරම්භ විය. දේවස්ථාන වලට ලැබෙන ආදායම් හා විශේෂ ආධාරවලින් ඒවා නඩත්තු කළහ. විවිධ ආගම් පැතිර යාමත් සමග අසරණයන්ට පිහිටවීම පුණ්‍ය කර්මයක් ලෙස සැලකීමෙන් අනාථාධාරය වඩ වඩා දියුණු විය.

ඉස්ලාම් ධර්මයේ පුණ්‍යාධාර සඳහා අනිවාර්‍ය්‍යෙයන් වෙන් කළයුතු කොටස "ශකාත්" නමින් හැඳින්වේ. ශකාත් යනු පිරිසිදු භාවය හෝ වැඩීම යනාර්ථයි. යථෝක්ත ධර්මයට අයත් ඉබාදාත් (මූලධර්ම හෙවත් ප්‍රඥප්ති) පසෙන් තුන්වැන්න වූයේ ශකාත්ය. අනාථාධාරය සඳහා මුස්ලිම් රටවල එකතු කරන ශකාත් අරමුදල රැස්කර තබන භාණ්ඩාගාරය බෛතුල්මාල් නමින් හැඳින්වේ. මෙපරිද්දෙන් එකතු කරන මුදල මව්පිය, ඥාති, අනාථදරු, දුගී මගී යාචකාදි අට කොටසකගේ යහපත සඳහා යොදනු ලැබේ. ක්‍රිස්තු වර්ෂ 1958 මුල භාගයේ දී ලංකාවේ ද මෙබඳු අරමුදලක් ආරම්භ කරන ලදුව ඒ මගින් කොළඹ නගරයේ මුස්ලිම් අනාථදරු නිවසක් පවත්වාගෙන යනු ලැබේ. මේ හැර "සදක" නමින් හැඳින්වෙන අසරණාධාර විශේෂයක් ද මුස්ලිම් ජනයා අතර පවතී. එය ශකාත් මෙන් අනිවාර්‍ය්‍ය නොවේ.

ස්වකීය උත්සාහයෙන් ජීවනෝපාය කරගත නොහැකි අසරණයන්ට සංග්‍රහ කළයුතු බව කොන්fපියුසියස් ධර්මයේ ද සඳහන් වේ. ග්‍රීකවරුන් අතරේ ද අනාථ දරුවන්ට ආරක්ෂා සංවිධානය කිරීම සඳහා ද ඔවුන්ට අන්‍යයන්ගෙන් පැමිණෙන පීඩාදිය වැළැක්වීම සඳහා ද නීති පනවා තිබුණේය. එහෙත් ඔවුන්ගේ අනාථාධාර ක්‍රමය විශාල වශයෙන් පැතිර පැවැති බවක් නොපෙනේ.

යුද්ධයකින් ජයගත් යුදෙව් කුමරුන් පිරිසක් තමන් කොල්ලකාගත් වස්තුවෙන් කොටසක් තුවාළ ලැබූවන්ට ද වැන්දඹුවන්ට හා අනාථ දරුවන්ට ද පළමුවෙන් වෙන්කර ඉතිරි කොටස බෙදාගත් බව සඳහන් වන බැවින් යුදෙව් ජාතිකයන් ද අනාථාධාරය ගරු කළ බව පෙනේ.

සොළොස්වන සියවසින් ඇරඹුණු වත්මන් යුගයෙහි යුරෝපීය රටවල ඇති වූ යම් යම් බලවත් පෙරළීම් විපර්‍ය්‍යාසයන් නිසා දුකට හා ආපදාවන්ට පත්වූ අසරණයන්ගේ ගණන අතිමහත් විය. සමාජ පරිවර්තනය විසින් එසේ අසරණ බවට පත් කරන ලද ජනයාට සරණ වීම හුදෙක් තනි පුද්ගලයකුට හෝ කිහිපදෙනකුට කට හැකි කාර්‍ය්‍යයක් නොවීය. අනාථයන්ගේ සංඛ්‍යාව වැඩිවෙත් ම ඔවුන්ට දෙනු ලබන ආධාරය ද වැඩිකළ යුතු විය. එබැවින් ඔවුන්ගේ ශුභසිද්ධිය පිණිස සමිතිසමාගම් පිහිටුවා ගන්නා ලදි. යම් සමාජයක වෙසෙන අනාථයන් රැකබලා ගැනීමේ වගකීම වර්තමාන ශුභසාධක රාජ්‍යයන් පවරා ගැනීම පෞද්ගලික ආයතනයන්ට පැවරීමට වඩා යහපත්ය යනු වත්මන් රාජ්‍යයන් නිර්විශේෂයෙන් ම අනුගමනය කරන ප්‍රතිපත්තියකි.

අනාථයන් රැකබලා ගැනීමේ වගකීම අද ජාත්‍යන්තර ප්‍රතිපත්ත්යක් වශයෙන් ද පිළිගෙන තිබේ. ක්‍රි.ව. 1957 දෙසැම්බර් මාසයේ ලංකාවේ ඇතිවූ භයානක ජලගැල්මෙන් අනාථ වූ දහස්ගණන් ජනයාට පිහිට වීම පිණිස විදේශීය බොහෝ රටවල් නොමසුරුව ආධාර එවීම නිදසුන් වශයෙන් දැක්විය හැකියි.

සංවිධානය වූ රාජ්‍ය-අනාථාධාර ක්‍රමයක් ප්‍රථමයෙන් යුරෝපීය රටවල සකස් වුණේ පැරණි ප්‍රවේණිගත දාස ක්‍රමය හා වැඩවසම් ක්‍රමය දෙදරුම් කවා සුනුවිසුනු කරමින් මතුවුණු ධනේශ්වර ක්‍රමය යටතේ දහස් ගණන් ජනයා යන එන මං නොමැතිව අනාථ වීමෙන් පසුය. 1 වන එලිසබෙත් මහරැජිනගේ කාලයේ දී අනාථයන්ගේ ශුභසිද්ධිය තකා පුණ්‍යාධාර නීති මාලාවක් එංගලන්ත ආණ්ඩුව මගින් පනවනු ලැබීම සැලකිය යුත්තකි. දහනවවන සියවසේ දී ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෝර්වේ, ස්වීඩනය, ඇමෙරිකාව ආදි රටවල් ද අනාථයන් රැකීමට අවශ්‍ය නීති සම්මත කරගත්හ. 1929 දී ඇති වූ ජගත් ආර්ථික අර්බුදයට පසු ලෝකයේ සෑම රටක් ම අනාථාධාර පිණිස අවශ්‍ය විධිවිධාන ක්‍රමවත් ලෙස කරගෙන යෑමට ස්ථිර රාජ්‍ය සේවා අංශයක් ඇති කෙළේය.

ලංකාව ඉතා පුරාණයේ පටන් අනාථාධාරය ගැන කීර්තියක් උසුලන දිවයිනකි. බුද්ධදාස රජු (ක්‍රි.ව. 337-365) පිළුන්ට හා අන්ධයන්ට වැටුප් සහිත විශ්‍රාමශාලා කරවූ බව ද ඔහු දෙටුපුත් උපතිස්ස රජු (ක්‍රි.ව. 365-406) පිළුන්, ගැබ්ගත් ගැහැනුන්, අන්ධයන් හා රෝගීන් උදෙසා උපභෝග පරිභෝග වස්තූන්ගෙන් පිරි ශාලාවන් හා දන්හල් කරවූ බව ද ධාතුසේන රජු (ක්‍රි.ව. 455-473) කොරුන් හා රෝගාතුරයන් සඳහා ශාලාවන් කරවූ බව ද සිව්වන මිහිඳු රජු (ක්‍රි.ව.956-972) යාචකයන් උදෙසා දාන ශාලාවක් කරවා ඔවුන්ට ශයනාසන දුන් බව ද පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110) කුදුන්හට බලවත් වූ ගොනුන් ද අන්ධයන්ට හා පිළුන්ට වෙන් වෙන් වශයෙන් ගම් ද අනාථ වූ වැන්දඹු කුලඟනන්ට භෝජන, වස්ත්‍ර හා ග්‍රාම ද සුනඛ කාකාදීන්ට ආහාර ද දුන් බව මහාවංසයේ සඳහන් වේ.

කර්තෘ:(කාර්‍ය්‍යාලය)

සමාජ සේවා දෙපාර්තමේන්තුව: මෙරට ආණුඩු කළ විදේශීයයෝ පවා අසරණයන්ට පිහිටවීමේ අගය වැසියනට වටහාදීමට නොපසුබට වූහ. ක්‍රි.ව.1831 දී කොළඹ අසරණ සරණ සමිතියක් පිහිටුවීම මේ අරමුණ සඳහා ගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය.

වැඩර්බන් වාර්තාවේ ප්‍රතිඵලයක් වශයෙන් 1939 දී පුණ්‍යාධාර පනතක් පැනවීම රජයේ අසරණාධාර ප්‍රතිපත්තිය විදහාපාන තවත් වැදගත් පියවරකි. කොළඹ, ගාල්ල සහ මහනුවර නගර සභා මගින් ඒ ඒ නගර සීමා තුළ 1940 ජනවාරි පළමුවැනි දා සිට අසරණාධාර ක්‍රමයක් ඇරඹීම මේ පනතේ ප්‍රතිඵලයක් විය. පුණ්‍යාධාර පනතින් අසරණාධාර සඳහා මුදල් වැය කිරීම ඒ ඒ නගරසභා සීමාවන් තුළ පමණක් වන බැවින් සෙසු සියලු පලාත්වල කටයුතු සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දැනට කෙරේ. වර්ෂ 1947 දී පළ කළ සමාජසේවා කොමිෂන් සභාවේ වාර්තාව අනුව සමාජසේවා දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු 1948 සිට ආරම්භ විය.

මහජනාධාර මාසික මුදල් ගෙවීම, හදිසි ආපදාවන් සඳහා ආධාර කිරීම, ක්ෂය රෝගීන්ට ආධාර දීම, ගොවිතැන් පාළුවීම, ජලගැල්ම සහ චණ්ඩමාරුත ආදියෙන් සිදුවන්නාවූ ආපදාවන්හි දී උපකාර කිරීම, මහලු නිවාස හා ස්වෙච්ඡා සේවක සමිති සඳහා ආධාරදීම, අංග විකල වූවන් බිහිරන්, අන්ධයන් සහ නිත්‍ය පදිංචියක් නැති අනාථයන් ආදීන්ට පිහිට වීම යනාදී සෑම සේවයක් ම සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් කෙරේ.

දිළිඳුකම නිසා එදිනෙදා ජීවිකාව කරගත නොහැකි අසරණයන්ට ඒ ඒ පළාත් භාර දිසාපතිවරයන්ගේ මාර්ගයෙන් මාසික ආධාර මුදල් දෙනු ලැබේ. ආධාර මුදල් බෙදීම සඳහා ප්‍රදේශ භාර මහජනාධාර උපදේශක සමිති සහ පළාත්බද සමාජසේවා උපදේශක සමිති මාර්ගයෙන් උපදෙස් ලබාගනු ලැබේ. අවශ්‍ය මූලික පරීක්ෂණයකින් පසු අයදුම්කරුවන්ට ඔවුන්ගේ බැරි අමාරුකම් අනුව රුපියල් 5/- සිට රුපියල් 20/- දක්වා මාසික මුදලක් ගෙවනු ලැබේ. මාසික මහජනාධාර මුදල් සඳහා රජය අවුරුදු පතා රුපියල් කෝටියකට කිට්ටු මුදලක් වැය කරයි.

ක්ෂයරෝගීන් සඳහා ආධාර දීමේ ක්‍රමය 1953 ජනවාරි මස සිට සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරන ලදි. ක්ෂය රෝගයෙන් පෙළෙන්නන්ගේ ද ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ද නඩත්තුව සඳහා මේ මුදල් මාස් පතා ගෙවනු ලැබේ. 1957 අවසන් වන විට 12,262 දෙනකු ක්ෂය රෝගාධාර ලබා තිබුණු බව දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලින් හෙළි වේ. ඒ සඳහා රුපියල් 59,40,959/- ක මුදලක් එම වර්ෂය තුළ රජය මගින් වැයකර තිබේ.

ගෙවල් ගිනි ගැනීම, ජලගැල්ම, මුහුදු කෑම ආදී නොවැළැක්විය හැකි හේතූන් නිසා ගෙවල් දොරවල් නැතිව යන අයට නැවත සිය නිවෙස් තනා ගැනීම පිණිස එක් අයකුට රුපියල් 300/- ට වැඩි නොවන ආධාර මුදලක් ද මෙම දෙපාර්තමේන්තුව මගින් ගෙවනු ලැබේ. මෙම මුදල් ගෙවීම ද සමාජ සේවා නිලධාරියකුගේ වාර්තාවක් අනුව පළාත් භාර දිසාපතිවරුන් විසින් කරනු ලැබේ.

වෘද්ධ අසරණයන් සඳහා රජයේ මහලු නිවාස දැනටමත් කොග්ගල, අනුරාධපුරය, මීරිගම සහ යාපනය යන නගරවල පිහිටුවා ඇත. අඳ බිහිරි අයට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම සීදූවේ අඳ බිහිරි පාසැලෙන් කෙරෙන අතර අංගවිකල වූවන්ගේ මතු දියුණුව උදෙසා විකලාංග චිකිත්සාගාරයෙන් ඔවුනට වෘත්තීය පුහුණුවක් ලැබේ. මේ හැර, කම්කරු වන්දි ආඥා පනත ක්‍රියාත්මක කිරීම ද සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාර කටයුත්තක්ව පවතී. නොවැළැක්විය හැකි ආර්ථික හා වෙනත් හේතූන් නිසා දිනෙන් දින ම වැඩි වන අසරණ අයට ප්‍රමාණවත් ලෙස ආධාර කිරීම රජය මගින් ම කළ නොහැකි බැවින් ස්වෙච්ඡා සමිතිසමාගම් ආදියේ ආධාරය ද අසරණාධාර කටයුතු සඳහා බෙහෙවින් අවශ්‍යය.

කර්තෘ:(සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සපයන ලදී.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනාථාධාර&oldid=1810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි