අනුපස්සනා
අනුපස්සනා නම් අනුව බැලීමයි; නැවත නැවතත් විමසා බැලීමයි. එයින් අදහස් කරන්නේ විවිධ අරමුණෙහි හෝ අරමුණක බාහිර වශයෙන් පෙනෙන විවිධතා නිසා විහිද විසිර ගිය සිහිය (සතිය) එක්තැන් කරගෙන යම්යම් වස්තුවක තත්ත්වය වටහා ගැන්මයි; එහි ස්වභාවය සලකා විමසා බැලීමයි. එවිටය නුවණ දියුණු වන්නේ; ප්‍රඥාව ගැඹුරු වන්නේ. බුද්ධ ධර්මය විභජ්ජවාදයකි; සචේතනික වූත් අචේතනික වූත් හැමදෙයක් ම හැම වස්තුවක් ම විශ්ලේෂණය කොට, විභාග කොට, කොටස් කොට, අවයව වශයෙන් බෙදාහදා බලන්නට උගන්වන ධර්මයකි. ලෝකයේ අනික් සියලු ම ආගම් නිත්‍ය තත්ත්වයක්, ස්ථිර තත්ත්වයක්, පිළිබඳව කරුණු දක්වන අතර බුදුදහම අනිත්‍යත්වය උගන්වයි. හේතු ප්‍රත්‍යයන් තැනුණු කිසිදු සංස්කාරයක් නිත්‍ය නොවන බව බුද්ධ දේශනාවෙහි විශේෂයෙන් ප්‍රකාශ කරනු ලැබෙයි. අනිත්‍ය ලක්ෂණ දුඃඛ ලක්ෂණ ගැන හින්දු ධර්මයෙහි දු කරුණු ප්‍රකාශ වෙතත්, අනාත්ම ලක්ෂණය (ආත්මයක් නැත යන මතය) පවසන එක ම ශාස්තෘන්වහන්සේ බුදුරජාණන්වහන්සේය.
අනිත්‍ය දුඃඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය වටහා ගැනීම ලෝකයාට අපහසු වන්නේ ඔවුන්ට දක්නට ලැබෙන, ප්‍රත්‍යක්ෂ වන, ලොකු කුඩා, සියුම් ඕළාරික, කෙබඳු දෙයක් නමුදු ඝනව ඒකාබද්ධව එකට බැඳී ඒක ස්වරූපයෙන් තිබෙන හෙයිනි. ඒ හැම වස්තුවක් ම එකක් ය, එහි අවයව කොටස් නැත යන හැඟීමක් මුල සිට ම ලෝකයාගේ සිත තුළ පහළ ව තිබෙයි. එය එසේ ම දැයි සොයා විමසා බැලීමේ උත්සාහයක් ඔවුන් තුළ නැත. කරුණු එසේ වුව ද බුදුරජාණන් වහන්සේ හැම සංස්කාරයක් ම, හැම වස්තුවක් ම, විමසා බැලීම අවශ්‍ය හෙයින් ඒ සඳහා අනුපස්සනාවන් ප්‍රකාශ කොට වදාළසේක. ඛන්ධ ධාතු ආයතනාදිය නොඑක් අවයව හෝ විවිධ අංග හෝ එක්වී හටගත් හැටි, එසේ එක් වූ දේ එකට ගැටී බැඳී තව තවත් ඕළාරික ලෙස ඒකාබද්ධ වන හැටි, ඒ නිසා ම ලෝකයා ඒ ඒ අවයව කොටස් වෙන් වෙන්ව වටහා ගත නොහැකිව නාමරූපාදිය කායචිත්තාදිය ස්කන්ධ ධාතු ඉන්ද්‍රියාදිය චිත්ත චෛතසිකාදිය පිළිබඳව "මමය මගේය" යන "තෘෂ්ණා මාන" දෘෂ්ටි වශයෙන් නොඑක් හැඟීම් ඇතුව ඒවායේ යථාතත්ත්වය නොදැන අවිද්‍යාවෙන් මුළා වී තණ්හාවෙන් බැඳී මානයෙන් ඉපිලී සසර දුක් නසනු නොහැකි ව දුකින් දුකට පත් වන හැටි ලෝකයාට අවබෝධ කරවනු වස් සතිපට්ඨාන සංඛ්‍යාත අනුපස්සනා වදාරන ලදි.
අනුපස්සනා විවිධාකාරයෙන් දේශනාවෙහි දක්නා ලැබෙයි. පටිසම්භිදාමග්ගපාළියෙහි අනුපස්සනා සතක් සඳහන්ව ඇත. එනම් (1) අනිච්චානුපස්සනා (2) දුක්ඛානුපස්සනා (3) අනත්තානුපස්සනා (4) නිබ්බිදානුපස්සනා (5) විරාගානුපස්සනා (6) නිරොධානුපස්සනා (7) පටිනිස්සග්ගානුපස්සනා යනුවෙනි. මෙයින් (1) අනිච්චානුපස්සනා නම් රූපාදි ස්කන්ධාදිය හෙවත් සංස්කාර ධර්ම අනිත්‍යයයි සැලකීමයි. (2) දුක්ඛානුපස්සනා නම් අනිත්‍ය වූ දේ අයිතිකරුවාට දුක් පිණිස පවතින හෙයින් දුක යයි සැලකීමයි. (3) අනත්තානුපස්සනා නම් අනිත්‍ය වූ දුක්ඛ වූ දෙය තමා සතුව නොපවත්නා හෙයින් රූපාදිය ආත්මය නොවෙයි යනාදි වශයෙන් සැලකීමයි. (4) නිබ්බිදානුපස්සනා නම් අනිත්‍යාදි ස්වභාවයෙන් යුක්ත වන බැවින් රූපාදිය නොතහවුරුය යනාදි වශයෙන් සලකන්නහුට විමසන්නහුට ඒ පිළිබඳව නිර්වේදය කළකිරීම ඇතිවීමයි. නිර්වේදය තණ්හාවට ප්‍රතිපක්ෂ වූවකි. (5) විරාගානුපස්සනා නම් විරාගය ඇතිවන පරිදි තණ්හාව ඇල්ම නැති වන පරිදි රූපාදි සංස්කාර සම්බන්ධයෙන් විමසීමයි. (6) නිරොධානුපස්සනා නම් විරාගය (නොඇල්ම) වැඩෙන තහවුරු වන අයුරු රූපාදිය කෙරෙහි බැලීමයි. එසේ රූපාදියේ නියම තත්ත්වය සලකා බලන විට රාගය නිරෝධ වන, නැතිවන අතට සිත නැමෙයි. අනිත්‍යාදි අනුපස්සනා සය වැඩුවහුගේ සිත තුළ රූපාදිය පිළිබඳ මමය මාගේ යයි සලකා ගැන්මක් ඇති නොවෙයි. (7) පටිනිස්සග්ගානුපස්සනා නම් සියලු සංස්කාර අනිත්‍ය ආදි වශයෙන් සලකා බැලූ විට මේ රූපාදිය අත්හැර දැමිය යුතු සේ විමසීමයි. මේ සත්වැදෑරුම් අනුපස්සනා රූපාවචරාදි ධ්‍යානභාවනාවට අවශ්‍ය වන අයුරු ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
මේ හැර ලෝකෝත්තර මාර්ගයට පූර්වභාග ප්‍රතිපදා වශයෙන් පවත්නා අටළොස් මහාවිපස්සනාවක් පටිසම්භිදාමග්ගාදියෙහි සඳහන් වෙයි. එනම් (1) අනිච්චානුපස්සනා (2) දුක්ඛානුපස්සනා (3) අනත්තානුපස්සනා (4) නිබ්බිදානුපස්සනා (5) විරාගානුපස්සනා (6) නිරොධානුපස්සනා (7) පටිනිස්සග්ගානුපස්සනා (8) ඛයානුපස්සනා (9) වයානුපස්සනා (10) විපරිණාමානුපස්සනා (11) අනිමිත්තානුපස්සනා (12) අප්පණිහිතානුපස්සනා (13) සුඤ්ඤතානුපස්සනා (14) අධිපඤ්ඤාධම්මවිපස්සනා (15) යථාභූතඤාණදස්සන (16) ආදීනවානුපස්සනා (17) පටිසංඛානුපස්සනා (18) විවට්ටානුපස්සනා යනු යි. මෙයින් මුල් සත (1-7) පෙර කියූ පරිද්දෙන් දත යුතුය. (8) ඛයානුපස්සනා නම් ස්වකීය වූ වර්තමාන රූපාදි ස්කන්ධයන්ගේ බිඳීම ද ඒ අනුසාරයෙන් ම ඒ ඒ ස්කන්ධයනට අරමුණු වන චිත්තචෛතසිකයන්ගේ බිඳීම ද නැවත නැවතත් විමසා බැලීමයි. (9) වයානුපස්සනා නම් වර්තමාන ස්කන්ධයන්ගේ බිඳීම විමසීමට අනතුරුව අතීතයෙහි ඇති වූ ස්කන්ධයන්ගේ බිඳීම ද අනාගතයෙහි ඇති වන්නාවූ ස්කන්ධයන්ගේ බිඳීම ද ගැන යළි යළිත් සලකා බැලීමයි. (10) විපරිණාමානුපස්සනා නම් අතීත අනාගත වර්තමාන සියලු ම ස්කන්ධ විපරිණාම වන සුලුය, වෙනස්වනසුලු යයි නැවත නැවතත් සලකා ගැන්මයි. (11) අනිමිත්තානුපස්සනා නම් මෙසේ සියලු සංස්කාරයන්ගේ විපරිණාමය වෙනස්වීම දැක (සංස්කාර අනිත්‍ය යයි සලකන්නහුට ඇතිවන අනිච්චානුපස්සනාව මෙන්) නිත්‍ය නිමිත්ත පහ කරන හෙයින් නිත්‍ය යයි ගතයුතු නිමිත්තක් (යමක්) නැතිබව වැටහෙන නිසා අනිමිත්ත වශයෙන් ඇති වන විමසීමයි. (12) අප්පණිහිතානුපස්සනා නම් අනිච්චානුපස්සනාවට ඉක්බිතිව පවත්නා දුක්ඛානුපස්සනාව මෙන් සුඛප්‍රණිධිය (සුව පැතීම) පහකරන හෙයින් පණිහිතයක් (පැතීමක්) නැතිව කරන විමසීමයි. (13) සුඤ්ඤතානුපස්සනා නම් ආත්මය ලෙස සලකා ගතහැකි යමක් නැති හෙයින් රූපාදිය අත්තසුඤ්ඤය, ආත්මයෙන් තොර යයි සලකා බැලීමයි. (14) අධිපඤ්ඤාධම්මවිපස්සනා නම් සංස්කාරයන්ගේ බිඳීම දැක දැක සංස්කාර අනිත්‍යය යනාදි වශයෙන් සලකන්නහුට හුදෙක් සංස්කාරයන් ම බිඳෙනු මැරෙනු මිස කිසි යම් ආත්මයක් සත්වයෙක් මැරෙන බිඳෙන නැතැයි ඇතිවන වැටහීමයි. (15) යථාභූතඤාණදස්සන නම් සංස්කාරයන්ගේ බිඳීම දැක සංස්කාර භය සහිත යයි පවත්නා භය වශයෙන් වැටහෙන නුවණයි. (17) පටිසංඛානුපස්සනා නම් සසරින් මිදෙනු කැමැති වීම් වශයෙන් උපදින විමසුම් නුවණයි. (1) විවට්ටානුපස්සනා නම් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීමට අනුලොම්ව අනුකූලව පවත්නා ආර්යගෝත්‍රයට යොමුකරවන විමසුම් නුවණයි.
තවද පටිපදාඤාණදස්සනවිසුද්ධිය විස්තර කිරීමේ දී විදර්ශනාඥානය මුහුකුරා යන විට ඇතිවන උදයබ්බයානුපස්සනා, භංගානුපස්සනා, භයතූපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, මුංචිතුකම්‍යතා, පටිසංඛානුපස්සනා, සංඛාරූපෙක්ඛා, සච්චානුලෝමික යයි ඤාණ නවයක් ද අනුපස්සනා වශයෙන් දක්වා තිබෙයි. එහි ස්කන්ධාදිය ඇතිවන නැතිවන හැටි විමසන නුවණ (1) උදයබ්බයානුපස්සනාඤාණයි. ස්කන්ධාදිය බිඳෙන හැටි විමසන නුවණ (2) භංගානුපස්සනාඤාණයි. ස්කන්ධාදියත් සියලු භවයනුත් භයානක ලෙස වැටහෙන නුවණ (3) භයතූපට්ඨානඤාණයි. ඒවායේ ආදීනව සලකන නුවණ (4) ආදීනවානුපස්සනාඤාණයි. ඒ පිළිබඳව නිර්වේදය කළකිරීම එපාවීම ඇතිවන ලෙස විමසීම (5) නිබ්බිදානුපස්සනාඤාණයි. එයින් මිදීමට ගැළවීමට නිදහස්වීමට හැකිවන අයුරු විමසන නුවණ මුංචිතුකම්‍යතාඤාණයි. සියලු සංස්කාරයන් තිලකුණු විසින් ආත්මාදියෙන් ශුන්‍ය වශයෙන් සැලකීම විමසීම (7) පටිසංඛානුපස්සනාඤාණයි. සංස්කාරයන්ගේ ආත්මාදි තත්ත්වයක් තහවුරු තත්ත්වයක් (වස්තුසාරයක්) නැති බව සලකා ඒ පිළිබඳ උපේක්ෂකභාවය මැදහත් බව ඇතිවන ලෙස විමසන නුවණ (8) සංඛාරුපෙක්ඛාඤාණයි. මෙසේ විදසුන් වඩන්නහුට චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම යෝග්‍ය වන අයුරින් උපදින විමසුම් නුවණ (9) සච්චානුලෝමිකඤාණයි. මේ පිළිබඳ විස්තර පටිසම්භිදාමග්ග විසුද්ධිමග්ගාදියෙහි පළවෙයි.
තවද (1) කායානුපස්සනා, (2) වේදනානුපස්සනා (3) චිත්තානුපස්සනා (4) ධම්මානුපස්සනා යයි අනුපස්සනා සතරක් සතිපට්ඨාන සූත්‍රෙයහි විස්තර වෙයි. එයින් (1) කායානුපස්සනා නම් කය නුවණින් විමසා බැලීමයි; කයෙහි යථාතත්ත්වය වටහා ගැනීමයි. ආශ්වාස ප්‍රශ්වාස විභාග කොට දැක්වෙන ආනාපාන සතිය, යෑම් සිටීම් හිඳීම් නිදීම් යන ඉරියවු පිළිබඳ විස්තර දැක්වෙන ඉරියාපථපබ්බය, සෑම ඉරියව්වෙක්හි දී ම සෑම ක්‍රියාවෙක්හි දී ම සම්පජඤ්ඤ සංඛ්‍යාත නුවණින් යුක්ත ව ක්‍රියා කිරීම මෙනෙහි කරවන චතුසම්පජඤ්ඤ පබ්බය, ශරීරය කෙස් ලොම් නිය දත් ආදි දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් සෑදී තිබෙන අයුරු මෙනෙහි කරවන පටික්කුල මනසිකාරය, ශරීරය පඨවි ආපෝ තේජෝ වායු යන සතර ධාතූන්ගෙන් සමන්විත භාවය සිහියට නංවන ධාතු මනසිකාරය හා මළසිරුරක විවිධ අවස්ථාවන්ගේ විස්තර විභාග දක්වමින් ශරීරයේ අශුභත්වය ප්‍රකට කරවන නවසීවථිකය යන කාණ්ඩ සයකින් කායානුපස්සනාව යුක්ත වේ. (2) වේදනානුපස්සනා නම් සුඛ දුඃඛ උපේක්ෂා යනාදි වේදනාවන් පිළිබඳව නැවත නැවත විමසා බැලීමයි. එයින් නාමරූප ධර්ම පිළිබඳ ත්‍රිලක්ෂණ වටහා ගත හැකි වෙයි. (3) චිත්තානුපස්සනා නම් සරාග වීතරාග සදෝස වීතදෝස ආදි වශයෙන් විවිධ වූ චිත්තයාගේ ස්වභාවය නානා පරිද්දෙන් නුවණින් විමසා බැලීමයි. (4) ධම්මානුපස්සනා නම් නීවරණ-ඛන්ධ-ආයතන-බොජ්ඣංග-සච්ච යන මේ ධර්මයන් පිළිබඳව නැවත නැවත සලකා බැලීමයි. කායානුපස්සනාව තුදුස් අයුරකින් ද වේදනානුපස්සනාව නව අයුරකින් ද චිත්තානුපස්සනාව සොළොස් අයුරකින් ද ධම්මානුපස්සනාව පස් අයුරකින් ද වැඩිය යුතු පිළිවෙළ සතිපට්ඨාන සූත්‍රෙයහි විස්තර වන්නේය.
තණ්හාචරිත, දිට්ඨිචරිත සමථයානික, විපස්සනායානික ආදි භේදත් පුද්ගලයන්ගේ තණ්හාදිය මඳව තිබීම හෝ අධිකව තිබීම ආදියත් බලා මේ කායානුපස්සනාදි සතර වදාළ බව සතිපට්ඨාන සූත්‍ර අටුවාදියෙහි පළවෙයි. කායාදිය සුභ ලෙස සුව ලෙස ආත්ම ලෙස වරදවා ගත් ලෝකයාට තණ්හා මාන දිට්ඨි නමැති කෙලෙස් බැම්මෙන් මිදෙනු නොහැකිය. එහෙයින් බුදුරජාණන්වහන්සේ ඔවුන්ට කය අසුභ දෙයක් බව වටහා ගනු සඳහා කායානුපස්සනාව ද ඔවුන් සුව යයි වරදවා ගත් වේදනාව දුක් බව වටහා ගනු සඳහා වේදනානුපස්සනාව ද ඔවුන් නිත්‍ය යයි වරදවා ගත් සිත අනිත්‍ය බව වටහා ගනු සඳහා චිත්තානුපස්සනාව ද ඔවුන් ආත්ම යයි වරදවා ගත් නීවරණාදි ධර්ම අනාත්ම බව වටහා ගනු සඳහා ධම්මානුපස්සනාව ද වදාළසේක. මේ අනුපස්සනා සතරෙන් ම වන්නේ සිහිය පිහටුවා ගැන්මයි. කාය-වේදනා-චිත්ත-ධම්ම යන මොවුන් අසුභ බව, අසුඛබව අනිත්‍යබව, අනාත්මබව සිහි කරත් ම විදසුන් නුවණ ලද හැකියි; තිලකුණු වටහා ගත හැකියි; තණ්හා මාන දිට්ඨි හැරදමා කෙලෙස් නසා මගපල නුවන ලැබ නිවන්ලද හැකියි.
මෙකී අනුපස්සනාවන්ගෙන් පැහැදිලි වන්නේ නාමධර්ම විමසා බලත් ම රූපධර්මත්, රූපධර්ම විමසා බලත් ම නාමධර්මත් පිළිබඳ යථාතත්ත්වය සලකා ගත හැකි බවයි. යමෙක් අනිත්‍යය ගැන මෙනෙහි කරයි නම්, විමසයි නම්, ඔහුට දුක්ඛ අනත්ත ආදිය ගැනත් මෙනෙහි කළ හැකි වෙයි. යමෙක් කය ගැන විමසයි නම් ඔහුට සිත ගැනත් සිත තුළ පහළ වන වේදනාදි චෛතසික ගැනත් මෙනෙහි කළ හැකියි.
(සංස්කරණය:1963)