අනුභවය

සිංහල විශ්වකෝෂය වෙතින්
17:09, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('හුදු ස්මෘතියක් නොවන දැනුම අනුභවයයි. සත්ත්වයා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

හුදු ස්මෘතියක් නොවන දැනුම අනුභවයයි. සත්ත්වයාගේ නිශ්චය හා සැකයත් ඒ අනුව ඇතිවන අදහස් හුවමාරුව හා ක්‍රියාකාරීවීමත් යන සියල්ල දැනුම නිසා ඇතිවේ. ඥාන, උපලබ්ධි, දැනීම යනු බුද්ධිපර්‍ය්‍යාය වචනයි.

අනුභවය යථාර්ථ-අයථාර්ථ වශයෙන් දෙයාකාර වෙයි. අනුභවයෙක ඇති යථාර්ථභාවය නම් නිවැරදිකමයි. එනම් අරමුණට හිමි ස්වරූපය දැරීමයි (වැටහීමයි). අරමුණට අහිමි ස්වරූපයක් නොදැරීමයි (නොගැනීමයි). හැම දැනුමක් ම අරමුණක් නිසා හටගනී. අරමුණක් නැති දැනුමක් නොමැත්තේය. අරමුණ පිළිබඳ අවබෝධය ඇති කරන්නේ එම අවබෝධයට ගෝචර වූ අරමුණයි. අරමුණෙහි අයථාර්ථභාවයක් නැතත් ඒ අරමුණ නිසා හට ගන්නා දැනුමෙහි ඇතැම් විට අයථාර්ථභාවයක් හටගනී. එසේ වන්නේ එම දැනුම හටගන්වන අනිකුත් හේතු දූෂිත වීමෙනි. සුදු හක්ගෙඩියක් අරමුණු කොට ඇතිවන දැනුම ද "මේ සුදු හක්ගෙඩියකි" යන ආකාර දැනුමක් ම විය යුතුය. එසේ වූ කල ම එය යථාර්ථානුභාවයක් හෙවත් යථාර්ථවත් දැනීමක් ම වෙයි. හක්ගෙඩියට හිමි ගුණය වූ සුදු පැහැය එකී අවබෝධයෙහි පෙනෙන හෙයිනි. ඇතැම් විට එවැනි අවබෝධයෙක සුදු පැහැය වෙනුවට කහ පැහැයක් පෙනෙයි. එබඳු දැනුම වනාහි "මේ කහ පැහැති හක්ගෙඩියකි" යන අයුරු වේ. අරමුණට හිමි නොවූ කහ පැහැයක් ඥානයට වැටහෙන හෙයින් එය අයථාර්ථවත් දැනීමකි. සෙංගමාලයෙන් (කාමලාරෝගයෙන්) පෙළෙන්නකුට පිත්දෝෂය කිපීමෙන් සුදු පැහැය කහ පැහැය වැනි ව වැටහෙයි. එය අයථාර්ථවත් දැනීමකි. එබැවින් අරමුණ නියත ලෙස හෙවත් ඇති සැටියෙන් පෙනෙන දැනුම යථාර්ථ යයි ද, අරමුණ නියත ලෙස හෙවත් ඇති සැටියෙන් නොපෙනෙන දැනුම අයථාර්ථ යයි ද ව්‍යවහාර වෙයි. මෙසේ වෙන් වෙන් වශයෙන් පවත්නා හෙයින් මේ දෙයාකාර දැනුමේ හෙවත් යථාර්ථානුභවයේ හා අයථාර්ථානුභවයේ ලක්ෂණ ද දෙයාකාරය.

යථාර්ථානුභවය න්‍යාය මතය අනුව (1) ප්‍රත්‍යක්ෂ (2) අනුමිති (3) උපමිති (4) ශාබ්ද වශයෙන් සිව්වැදෑරුම් වෙයි. ඒ වනාහි ප්‍රත්‍යක්ෂය ඇතුළු සතර ප්‍රමාණයන්ගෙන් ලැබෙන ප්‍රමිති වේ. ප්‍රමා යයි ද ඊට කියනු ලැබේ. වෛශේෂික මතය අනුව ප්‍රත්‍යක්ෂය අනුමිති යයි ප්‍රමිති දෙකකි. උපමිති ශාබ්ද යන ප්‍රමිති දෙක මෙන් ම උපමාන ශබ්ද යන ප්‍රමාණ දෙක ද වෛශේෂිකයෝ අනුමිති, අනුමාන දෙක්හි ම ඇතුළු කරත් (ප්‍රමාණ බ.).

අයථාර්ථානුභවය න්‍යාය වෛශේෂික උභය මතය ම අනුව තෙවැදෑරුම් වෙයි. (1) සංශය (2) විපර්‍ය්‍යය (3) තර්ක වශයෙනි. (අන්‍යථාඛ්‍යාතිය; සංශය; විපර්‍ය්‍යය; තර්ක බ.) අනුභවය න්‍යාය වෛශේෂික මත දෙක්හි ස්වල්ප වශයෙන් වෙනස් වෙයි. (බුද්ධිය බ.)

කර්තෘ:ඇස්. අබේසිංහ

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුභවය&oldid=1839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි