අනුභූතිස්වරූපාචාර්‍ය්‍ය
සංස්කෘත භාෂාව හදාරනුවන්ගේ ව්‍යාකරණ ශාස්ත්‍රඥානය සඳහා මෙකල බොහෝ ආචාර්‍ය්‍යවරයන් උගන්වන ඉතා සුගම ව්‍යාකරණය වූ "සාරස්වත ප්‍රක්‍රියාව" රචනා කළ ආචාර්‍ය්‍යවරයෝය. මොහු වනාහි අතින් ගත් හුණදණ්ඩක් ඇතියෙන් "මස්කරී" යයි හඳුන්වන සන්‍යාසික ගණයට අයත් කෙනකු බව සාරස්වත නිගමනයෙන් හෙළි කෙරෙයි. ආචාර්‍ය්‍යත්වයට පැමිණි පරමහංස පරිව්‍රාජකයකු බව ද දක්වා ඇත. මේ හැර මෙතුමෝ කවර කලෙක කවර දෙසෙක විසුවාහු ද කිනම් වංශයෙක උපන්හු ද යනාදි තොරතුරු සටහන් වූ කිසිදු තැනෙක් දක්නට නැත. මුඛපරම්පරාගත කථාවක සාරස්වත ව්‍යාකරණය රචනා කිරීමට මුල් වූ සිද්ධිය මෙසේ දැක්වේ: පෙර එක් කලෙක අනුභූති ස්වරූපාචාර්‍ය්‍යයෝ පණ්ඩිතසභායෙක පුරෝගාමී ව හුන්හ. පණ්ඩිත සමූහයාගෙන් ම සැදුම් ලත් ඒ සභායෙහි කථා කරමින් මෙතුමෝ "පුංක්ෂු" යන වචනය කීය. ඒ අසා එකෙණෙහි ම ඒ සභායෙහි සිටි අනුන්ගේ සිදුරු සොයන අන් පඬුවන් විසින් "භවත්හු විසින් කරන ලදුයේ අශුද්ධ වූ ශබ්ද ප්‍රයෝගයෙකැ"යි ආචාර්‍ය්‍යයන්ගේ මන් බිඳිනු සඳහා උපහාස කරන ලද්දේය. යළි ඔවුහු "ඉදින් භවත්හු විසින් ප්‍රකාශ කළ පුංක්ෂු යන ප්‍රයෝගය ශුද්ධරූපයෙක් වී නම්, එකල්හි එහි සිද්ධිය කෙබඳුදැ"යි කියාත් පුළුවුත්හ.
එකල්හි ආචාර්‍ය්‍යපාදයෝ ඔවුන්ගේ අභියෝගය සාදරයෙන් පිළිගෙන පදසිඬිය සෙට දක්වාලමියි කීහ. මේ අවමානයෙන් තැවුණු සිත් ඇති අනුභූතිස්වරූපයෝ සිය ගෙට පැමිණ ශ්‍රීමත් සරස්වතී දේවිය සමාරාධනය කළහ. සරසවි තොමෝ ද ඔවුන්ගේ ශුද්ධ භාවනාව හේතු කොට ගෙන අතිශයින් ප්‍රසන්න වූවා අනුභූතිස්වරූපයන් අභිමුඛයෙහි පෙනී සිට "කැමැති වරයක් ගනැ"යි කිවූ ආචාර්‍ය්‍යයෝ සරසවි දැකීමෙන් ම තමන්ගේ අභිමතාර්ථය ඉටුවීයයි සලකා අපූර්ව ව්‍යාකරණයක් රචනා කිරීම ම කැමැති වූහ. සරසවිය විසින් ඔවුනට ව්‍යාකරණ නිර්මාණයෙහි ශක්තිය ලැබෙන සේ වර දෙන ලදි. සරස්වතිය දුන් සූත්‍ර ඇසුරු කොට ආචාර්‍ය්‍යයෝ ඇගේ නමින් ම "සාරස්වත ව්‍යාකරණය" රචනා කළහ. එම ව්‍යාකරණයෙහි "අසම්භවෙ පුංසඃ කක් සෞ' යන සූත්‍රය බැඳ "පුංක්ෂු" යන රූපයෙහි සාධුත්වය ද දැක්වූහ. එයින් දෝෂදර්ශකයෝ නිහඬ වූහ. (සාරස්වතය බ.)
(සංස්කරණය:1963)