අනුරුද්ධ-1

සිංහල විශ්වකෝෂය වෙතින්
18:14, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ගෞතම බුද්ධශාසනයෙහි වූ අසූමහාශ්‍රාවකයන්ගෙන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගෞතම බුද්ධශාසනයෙහි වූ අසූමහාශ්‍රාවකයන්ගෙන් කෙනකු වූ මුන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙහි අගතනතුරු ලැබූසේක. ශෛක්ෂාවස්ථායෙහි ම දිවැස් ලැබූ මුන්වහන්සේ මහාවිතක්ක සණ්ඨාන සූත්‍රය ඇසීමෙන් රහත් වූහ.

ශාක්‍යජනපදයෙහි උපන් අනුරුද්ධ තෙමේ සිද්ධාර්ථ කුමාරයාණන්ගේ ඥාති සහෝදරයෙකි. මොහුගේ පියා අමිතෝදන ශාක්‍ය රජය. මහානාම මොහුගේ සහෝදරයාය. බුදුරජාණන්වහන්සේ බුදු බව ලබා ඥාති සංග්‍රහය පිණිස කපිලවස්තු පුරයට වැඩ, එයින් නික්ම ගොස් අනෝමා නදී තීරයෙහි අනුපිය අඹවනයෙහි වැඩවිසූහ. එකල බොහෝ ශාක්‍ය කුමාරවරු ගිහිගෙන් නික්ම බුදුසසුනෙහි පැවිදි වූහ.

එසේ පැවිදි නොවූ පවුල්වල ශාක්‍යයන් දුටු අනෙක් ශාක්‍යයෝ මොවුන් බුදුනට නොනෑ නියාවේද පැවිදි නොවන්නේ යයි කියන්නට වූහ. මහානාම තෙමේ සිය කුලයෙන් කිසිවකුත් පැවිදි බිමට නොගිය බව දැක ඒ සඳහා අනුරුද්ධ කුමරු හෝ තමා හෝ ගිහි ගෙය අත් හළ යුතු බව කීවේය. එක් එක් සෘතුවට ගැළපෙන වෙන වෙන මන්දිරවල නළුනිළියන් පිරිවරා ගෙන අතිශයින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් පසු වූ අනුරුද්ධ පළමුවෙන් ඊට කැමැති නොවීය. අවසානයෙහි දී මහානාම වෙතින් ගිහි ගෙයි ඇති වගකීම් රාශිය ඇසූ අනුරුද්ධ පැවිද්දට කැමති විය.

අනුරුද්ධ කුමරු “නැතැ”යි යන වචනයෙහි තේරුම නොදැන සිටියෙකැයි ළගන්නාසුලු පුවතෙක් ධම්මපදට්ඨකථායෙහි එයි. කුමරු සත්හැවිරිදි කල සමවයස්ක රජ කුමරුන් තිදෙනකුන් සමඟ කැවුම් පරදුවට තබා ගුළ කෙළියෙහි යෙදී තුන්වරක් ම පැරද ගියේය. මවුට කියා යවා කැවුම් ගෙන්වා දී සිවුවැනි වාරයෙහි ද පැරද කැවුම් ඉල්ලා යැවීය. මව කැවුම් නැතැයි කියා යැවූයෙන් “නැති කැවුම්” එවන ලෙස කුමාරයා මව වෙත පණිවුඩ යැවීය. පුතුට “නැත” යන්නෙහි තේරුම ඉගැන්වීමට අදහස් කළ මවු හිස් තළියක් තවත් තළියෙකින් වසා “මෙම නැති කැවුම් මපුතුට දෙවු” යයි කියා යැවූය. කුමරුගේ පින්බලයෙන් නුවර අරක් ගත් දෙවියෝ හිස් තළිය කැවුම්වලින් පුරවා ලූහ. එයිනුදු කුමරුට “නැත” යන වචනයෙහි තේරුම වටහා ගන්නට බැරිවිය. මෙයට හේතුව පූර්වජාතියෙක උපරිට්ඨ නම් පසේ බුදුන්ට සිය බත්කොටස පුදා “නැත” යන වචනයෙහි අර්ථය නොදනිම්වායි කළ පැතුමෙකැයි ද කියති.

සිය මවගේ අනුමතිය ලබා ගත් අනුරුද්ධ කුමරා භද්දිය නම් ශාක්‍ය කුමරුන් ද කැටුව ගොස් ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍යයන් ද සිය අදහසට නතුකරවා ගෙන, සුරකුමාර ලීලාවෙන් සතියක් රජසැප විඳ, අටවන දා උපාලි නම් කපුවාත් කැඳවා ගෙන මහපිරිස් පිරිවරා කිඹුල්වත් නුවරින් නික්ම ගියේය. ශාක්‍ය ජනපදය ඉක්ම වූ ස්ථානයෙහි දී පරිජනයන් ආපසු යැවූ ඔවුහු අනුපිය අඹවනයට ගොස් බුදුන් දැක පැවිදි වූහ. වස්සානය අවසන් වන්නට පෙර අනුරුද්ධ හිමියෝ දිවනෙත් ලැබූහ. අනතුරුව රහත් වූහ.

අනුරුද්ධ මහතෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් භක්ත්‍යාදරය ඇතිව සිටියහයි නොයෙක් තන්හි සඳහන් වේ. භික්ෂු සන්නිපාතයන්හි දී බෙහෙවින් බුදුරදුන් සමීපයෙහි ම සිට ගත් සේක. බුදුරජාණන්වහන්සේ යමා මහපෙළහර දක්වා දෙව්ලොව වැඩි අවස්ථායෙහි උන්වහන්සේ නොදැක හඬන්නට වූ මහ පිරිසට බුදුරදුන් තව්තිසාවට වැඩි බව දන්වන ලද්දේ අනුරුද්ධ තෙරුන් විසිනි. චූළ සුභද්‍රා සමාගමයෙන් පසුව ඇයට අනුග්‍රහ පිණිස උග්‍රපුරයෙහි නතර කරන ලද්දෝ ද අනුරුද්ධ තෙරණුවෝ ය.

බොහෝ විට බුදුරජාණන්වහන්සේ භික්ෂූන් මහත් රාශියක් සිටිද්දී අනුරුද්ධ තෙරුන් බණවා දහම් දෙසූ බවත් බුදුරදුන්ගේ ප්‍රශ්නවලට උන්වහන්සේ පිළිතුරු සැපයූ බවත් නලකපාන සූත්‍ර, චූළ ගෝසිංග සූත්‍ර, මහා ගෝසිංග සූත්‍ර ආදියෙන් පෙනේ.

නොයෙක් අවස්ථාවල අනුරුද්ධ තෙරුන් වහන්සේ බුදුරදුන්වහන්සේ හා සමඟ ධර්මසාකච්ඡා පවත්වා ඇති බවත් ගිහියන් මෙන් ම භික්ෂූන් ද ධර්මය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා අනුරුද්ධ තෙරුන් වෙත පැමිණි බවත් කියැවේ. උන්වහන්සේ චේතොවිමුත්තියෙහි අප්පමාණ, මහග්ගත භේදය විස්තර කළ අයුරු අනුරුද්ධ සූත්‍රයෙහිත් කාන්තාවන් දෙවියන් අතර ඉපැදීමට හේතු කවරේදැයි බුදුන්වහන්සේගෙන් විමසූ අයුරු සංයුත්ත අංගුත්තර නිකායයන්හිත් සඳහන් වන්නේය. අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනාවහන්සේ අනුරුද්ධ තෙරුන් සමඟ ධර්මසාකච්ඡාවල යෙදුණු අයුරු අනුරුද්ධ සංයුත්තකාදියෙහි දැක්වෙයි. අලුයම පිබිදෙන උන්වහන්සේ අතීතයෙන් සහ අනාගතයෙන් කප් දහසක් ආවර්ජනා කරන බවත් දහසක් සක්වළ තතු සලකා බලන බවත් කියා ඇත්තේය. ආනාපාන සතිය වැඩීම උන්වහන්සේගේ සිරිතය. වරක් අඹවනයෙහි දී රෝගාතුර වූ උන්වහන්සේට රෝග වේදනාව නොදැනුණ බවත් එසේ වූයේ උන් වහන්සේගේ සිත ආනාපාන සතියෙහි තරයේ බැඳී සිටි නිසා බවත් කියති.

බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පානා මොහොතෙහි අනුරුද්ධ තෙරණුවෝ පරිනිර්වාණ මංචකය සමීපයෙහි වූහ. මේ අවස්ථායෙහි හඬා වැළැපෙන්නට වූ පුහුදුන් භික්ෂූන් සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට අස්වසන ලද්දේ අනුරුද්ධ තෙරණුවන් විසිනි. තවද බුදුසිරුර ආදාහනය සඳහා කුසිනාරා නුවර මල්ල රජදරුවන් ලවා විධිවිධාන යොදවන ලද්දේ ද මුන්වහන්සේ විසිනි.

පළමුවැනි ධර්මසංගායනාවෙහි දී අංගුත්තර නිකාය සංගායනා කොට ආරක්ෂා කිරීමට පවරන ලද්දේ අනුරුද්ධ තෙරණුවන්ටය යි සඳහන් වෙයි.

අනුරුද්ධ මහතෙරුන් විසිපස් අවුරුද්දක් මුළුල්ලේ ම සැතපී නොගත් බවත් අවසන් තිස් වස තුළ සැතපුණේ රාත්‍රියෙහි අලුයම පමණක් බවත් ථෙරගාථා පාළියෙහි සඳහන් වෙයි. වයෝවෘද්ධව ගිය උන්වහන්සේ දිව සුවයෙන් පොලඹවන්නට වෑයම් කළ ජාලිනී නම් දෙව්දුවකට තමන්වහන්සේ පුනර්ජන්මයක් නොලබන බැවින් එබඳු සැපතකින් පලක් නැතැයි දෙසූ බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.

බොහෝ සෙයින් සස්නට වැඩ සැලැස්වූ අනුරුද්ධ තෙරණුවෝ දීර්ඝායුෂ්ක වූහ. එක් සිය පනස් වසක් ආයු වැළැඳූ උන්වහන්සේ වජ්ජි රට වේළුවග්‍රාමයෙහි නිරුපධිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පෑසේක.

ජාතක කථාවන් කිහිපයෙක අතීත වස්තූන්හි අනුරුද්ධ මහතෙරුන්ගේ නම සඳහන් වෙයි. ඒ අනුව උන්වහන්සේ කිහිප වතාවක් ම ශක්‍රරාජ පදවිය ලැබූ බව ද කියැවේ. ඉන්ද්‍රිය, සරභංග, චන්දකින්නර, පංචුපෝසථ, හත්ථිපාල, සම්භව, සුධාභෝජන, කුරුධම්ම යන ජාතකවල උන් වහන්සේගේ අතීත චරිත සඳහන් වේ. අනුරුද්ධ තෙරුන්වහන්සේට රෝහිණි නම් සහෝදරියක් ද වූවාය. චර්මාබාධයෙකින් පෙළුණ ඕ අනුරුද්ධ තෙරුන්ගේ අවවාද ලෙස ස්වකීය නීරෝගි බව පතා සිය අබරණ විකුට පහයක් කරවා බුදුපාමොක් මහසඟනට පිදුවාය. මුන්වහන්සේගේ නාමය මහායාන ග්‍රන්ථවල සඳහන් වන්නේ ‘අනිරුද්ධ’ යනුවෙනි.

පියුමතුරා බුදුරජාණන්වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් මධ්‍යයෙහි එක්තරා දිවැස් ඇති තෙර කෙනකුන් ඒතදග්‍රස්ථානයෙහි තබා වදාරනු දුටු ඉසුරුමත් කෙළඹියකු ඒ තනතුර පතා මහදන් දී මහපින් කළ බවත් ඒ කෙළඹියා සිද්ධාර්ථ ගෞතම බුද්ධකාලයෙහි අනුරුද්ධ නමින් ඉපිද අගතනතුරු ලද බවත් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරුද්ධ-1&oldid=1855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි