අනුරුද්ධ-3
මුන්වහන්සේ තඹරට තඤ්ජ නගරයෙහි වාසය කළ ථෙරීය භික්ෂුවංශයට අයත් ආචාර්‍ය්‍යවරයෙකි. මුන්වහන්සේ කාඤ්චීරට කාවීර නගරයෙහි උතුම් කුලයක උපන් බව ද, තඹරට තඤ්ජ නගරයෙහි වාසය කළ බව ද, පරමත්ථවිනිච්ඡය නම් ග්‍රන්ථයාගේ නිගමනයෙහි දැක්වේ. මේ තෙරුන්ගේ ජීවනසමය දොළොස්වැනි සියවසට පෙර වී යයි සිතිය යුතුය. ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ සුමඞ්ගලතෙරුන් විභාවිනීටීකායෙහි පරමත්ථවිනිච්ඡය සඳහන් කළ හෙයිනි. විමති විනෝදනී විනයටීකාව ආදි අගනා ග්‍රන්ථ රචනා කළ කාශ්‍යපාදි තෙරවරු සොළී රට වාසීහුය. කුරුණෑගල රාජ්‍ය සමයෙහි පවා ඒ ආචාර්‍ය්‍ය පරම්පරාව නොසිඳී පැවති බව මහාවංසයෙන් දත හැකිය. මේ අනුරුඞ තෙරණුවෝ ද ඒ ආචාර්‍ය්‍යවරයන් අතුරෙහි වූ අභිධර්‍මයෙහි විශාරද වූ කෙනෙකි. “මහාවිහාරවාසීනං-වාචනාමග්ගනිස්සිතං”යි ස්වකීය රචනාව වූ පරමත්ථවිනිච්ඡය මහාවිහාරවාසීන්ගේ වාචනාමාර්ගය ඇසුරු කොට කරන ලදැයි පවසමින් තමන් මහාවිහාර වංශිකයකු බව ද පැවසූහ.
ඇතැම් කෙනෙක් අභිධම්මත්ථසංගහ, නාම රූපපරිච්ඡේද යන ග්‍රන්ථ රචනා කළ අනුරුඬ තෙරණුවෝ ම තඤ්ජ නගරයෙහි වෙසෙමින් පරමත්ථවිනිච්ඡය ද රචනා කළහ යි කියමින් මේ ග්‍රන්ථ තුන ම ඒකකර්‍තෘක කොට දක්වති. එහෙත් ග්‍රන්ථයන්ගේ රචනා විලාසය, භාෂා තත්ත්වය හා ධර්‍මවිනිශ්චය ක්‍රම ද සසඳා බලන්නකුට ඒ මතයට එකඟවිය නොහැකිය. නාමරූප පරිච්ඡේදයෙහි භාෂාව ඉතා ව්‍යක්තය. රචනාව කෝමලය. අභිධම්මත්ථසංග්‍රහය හා සැසැඳෙන නමුදු පරමත්ථවිනිච්ඡය හැම ලෙසින් ම ඊට වඩා කනිෂ්ඨ ග්‍රන්ථයෙකි. විභාවිනීටීකාවෙහි දී සුමංගල තෙරණුවන් විසින් මේ ග්‍රන්ථ දෙක්හි ධර්‍ම නය පිළිබඳ විසදෘශස්ථාන දක්වා ඇති සැටි දැක්ක හැකිය.
(සංස්කරණය:1963)