අනුලා-2
ක්‍රි.පූ.44 වන වසේ දී සිව්මසක් පමණ කාලයක් ලක්රජය කළ රජ බිසවකි. ලංකා ඉතිහාසයෙහි සඳහන් වන ඉතා ම විෂම චරිතයකින් යුක්ත වූ රැජින හැටියට සැලකෙන මෝ මුල දී චෝරනාග (ක්‍රි.පූ.63-51) රජුගේ බිසව වූවාය.
චෝරනාග රජු වස දී මැරවූ අනුලා බිසව මහසිළු මහතිස් (ක්‍රි.පූ.77-63) රජුගේ පුත්‍ර කුඩා තිස්ස (ක්‍රි.පූ.51-48) රජුගේ බිසෝ තනතුරට පත්වූවාය. තුන් අවුරුද්දකින් පසු කුඩා තිස්ස රජු ද වස දී මැරවූ අනුලා බිසව රජගෙදර ජ්‍යෙෂ්ඨ දෝවාරිකයාව සිටි ශිව නමැත්තාට රජකම පවරා ඔහුගේ බිසව බවට පත්වූවාය. තුදුස් මසකින් පසු ශිව ද ඇය අතින් ජීවිතක්ෂයට පත්විය. ඉක්බිති වටුක නම් දෙමළ වඩුවකුට රජකම පවරා ඔහු ස්වාමි තනතුරෙහි තබා ගත් නමුත් තුදුස් මසකින් පමණ ඔහු ද ඇයට එපා විය. වටුක වඩුවාට අත්වූයේත් ශිවට මුහුණ පාන්නට සිදු වූ ඉරණමය. වටුකයාගෙන් පසු ඇයගේ සැමි බවට හා ලංකාවේ රජකමට පත්වූයේ තිස්ස නම් වූ දරකැටියෙකි. තෙළෙස් මසකින් පසු දරකැටි තිස්සයා ද වස දී මැරවූ අනුලා බිසව සිය ස්වාමියා බවට හා ලංකාවේ රජු හැටියට ඊළඟට පත් කර ගත්තේ නීලිය නම් වූ දෙමළ පෙරෙවි බමුණෙකි. සමසකින් පසු නීලිය බමුණා ද වස දී මැරවූ අනුලා බිසව ලංකා රාජ්‍යය තමාට ම පවරාගෙන සිවුමසක් පමණ රාජ්‍යය කළාය. අනුලා බිසව විසින් නීලිය ජීවිතක්ෂයට පත් කරන ලද්දේ රජගෙදර සිටි දෝවාරිකයන් 32 සමඟ ම කුලුපගව විසීමට ඇය ආශා කළ බැවිනැයි මහා වංසටීකාවෙහි සඳහන් වේ.
තත්ත්වය කෙතරම් කටුක වී ද යත් මහසිළු මහතිස් රජුගේ දෙවෙනි පුත් කූටකණ්ණතිස්ස ඉන් ගැළවුණේ පැවිදිවීමෙනි. ලක් ඉතිහාසයෙහි පළමුවන රැජින වශයෙන් දැක්වෙන මේ අනුලා බිසවට රජ කිරීමට ලැබුණේ සාරමසක් පමණි. සිවුරු හළ කූටකණ්ණ තිස්ස (රා.ස. ක්‍රි.පූ.44-22) සේනාවන් ගෙන අවුත් අනුලා බිසව මරා රජකමට පත්විය.
(සංස්කරණය:1963)