අනෝරථ
(රා.ස. 1044 – 1077) බුරුමය නමින් දැනට හැදින්වෙන සමස්ත ප්‍රදේශය ම එක්සත් කොට පාලනය කළ ප්‍රථම බුරුම රජතෙමේයි. බුරුම වංශකථාවන්හි මේ රජුගේ නාමය අනෝරථ යනුවෙන් සඳහන්ව ඇතත් බුරුම සෙල්ලිපිවල මොහු හැඳින්වෙන්නේ අනිරුද්ධ යන නමිනි. මේ රජුගේ නම චූළවංසයෙහි සඳහන් වන්නේ අනුරුද්ධ යනුවෙනි. ඉතා කුඩා රාජ්‍යයක්ව පැවති පගාන්හි ආධිපත්‍යය මුළු බුරුමයේ ම පතුරුවා හැර එය විශිෂ්ට රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ මේ රජු විසිනි. මොහු අතින් ගොඩනැඟුණු බුරුම රාජ්‍යය අවුරුදු දෙසියයකටත් වැඩි කාලයක් පැවතිණ.
අනෝරථ රජුගේ රාජ්‍ය කාලයෙන් වැඩි කොටසක් ගත කරන ලද්දේ විදේශ ආක්‍රමණ සදහාය. 1057 දී පහළ බුරුමයේ ථතෝන් රාජ්‍යයට පහර දීමෙන් මොහු තම දිග්විජය ආරම්භ කළ බව සැලකිය හැකි ය. මේ ආක්‍රමණයනට හේතු වූයේ ථතෝනයේ මනුහ රජු ත්‍රිපිටකයේ පිටපතක් දීමට නොකැමැති වීමයි. අනෝරථ මේ යුද්යෙන් ජයගෙන ආපසු එන ගමනේ දී ප්‍රෝම් නගරයට ද පහර දී එයත් යටත් කොටගත් බව ද කියති. ඊ ළඟ වර්ෂයේ දී පගාන් රාජ්‍යයට බටහිරින් පිහිටා තුබුණු අරකන් රාජ්‍යයට පහර දුන් මෙතෙම ඒ ප්‍රදේශය උත්තර අරකන් රාජ්‍යයට ඈඳා ගත්තේ ය. ඊ ළඟට පගාන් රාජ්‍යයට නැගෙනහිරින් පිහිටා තුබුණු ප්‍රදේශ ආක්‍රමණය කිරීමෙන් තමාගේ ආධිපත්‍යය ෂාන් කඳු දක්වා පැතිරවීමටත් ඊට ආසන්නව විසූ ප්‍රාදේශික අධිපතීන් අවනත කරවා ගැනීමටත් අනෝරථ රජුට හැකි විය. පගාන් රාජ්‍යයට උතුරෙන් පිහිටා තුබුණු නන්චාඕ (යුනාන්) ප්‍රදේශය ද දන්තධාතූන්වහන්සේ නමක් ලබාගැනීමේ අදහසින් අනෝරථ රජු විසින් ආක්‍රමණය කරන ලද බවත්, එහෙත් ඒ අදහස සඵල නුවූ බවත් තායි (සියම්) වංශකථාවල සඳහන් වෙයි. මේ රජු කාම්බෝජ රාජ්‍යය ද ආක්‍රමණය කළ බවත්, දැනට තායිලන්තය නමින් හැඳින්වෙන ප්‍රදේශය මුළුමනින් ම වාගේ මොහුගේ පාලනයට යටත්ව තුබුණු බවත් සියම් වංශකථාවල සඳහන් වෙතත් මේ පිළිබඳව කිසි තොරතුරක් බුරුම වංශකථාවල සඳහන් නොවේ. මේ ආක්‍රමණ රාශිය නිසා අනෝරථ රජුට මුළු බුරුමය ම ප්‍රථම වරට එක්සත් කිරීමට හැකි විය.
අනෝරථ රජ දිග්විජයෙහි දක්ෂයකු වූවාක් මෙන් ම දක්ෂ පාලකයකු හා ආගමභක්තිය ඇත්තෙක් ද විය. එමෙන් ම මෙතෙම ආගමික ප්‍රතිංස්සකරණයක් කළ අයකු ලෙස ද ප්‍රසිද්ධය. මොහු රජකමට පත්වූ කාලයේ දී පගාන් රාජ්‍යයේ අරි (බ.) නමින් හැදින්වුණු තන්ත්‍රයාන ධර්මයක් පැවතුණේය. අරි අනුගාමිකයන් රටින් පලවා හැරීමෙන් එම ධර්මය බොහෝ දුරට මැඩපැවැත්වූ අනෝරථ රජ පහළ බුරුමයෙන් පැමිණි ෂින් අරහන් හෙවත් ධම්මදස්සි නමැති බෞද්ධ භික්ෂුවකගේ අනුශාසනාව නිසා බොහෝ කලක් යටපත්ව තුබුණු ථෙරවාද බුද්ධාගම නැත වරක් පගාන් රාජ්‍යයේ පතුරුවා හැරියේය.
1057 දී දරුණු යුද්ධයකින් පසු ථතෝන් රාජ්‍යයෙන් ලබාගන්නා ලද ත්‍රිපිටක ග්‍රන්ථ තැන්පත් කොට තැබීම සඳහා ත්‍රිපිටකතයික් නම් පොත් ගුලක් මේ රජු විසින් පගාන් නුවර ඉදි කරවනු ලැබූ බව කියති. ථෙරවාද බුද්ධාගම ප්‍රචාරය කර හැරීමේ බලාපොරොත්තුවෙන් අනෝරථ රජු විසින් බෞද්ධස්තූප කිහිපයක් බුරුමයේ ඒ ඒ ප්‍රදේශයන්හි ගොඩනංවන ලද බව බුරුම වංශකථාවල සඳහන් වේ. ලංකාවේ විජයබාහු 1 රජු විසින් තුටු පඬුරු කොට යවන ලද දළදා අනුරුව ද නිදන් කොට පගාන්හි ගොඩනංවන ලද ෂ්වේසිගොන් දාගැබ යථොක්ත ස්තූප අතුරෙන් ප්‍රධානය. ම්යින්ජාන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලෝකානන්ද දාගැබ ද, චෞක්සෙ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්යේත්කෛවේ දාගැබ ද, පේගුවේ පිහිටා ඇති ෂ්වේමෝඩෝ දාගැබ ද මෙයික්තිලා දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති ෂ්වේයින්ම්‍යෝ හා ෂ්වේගු යන දාගැබ් ද මේ රජු විසින් කරවන ලදැයි කියති.
ගොවිතැන දියුණුව සඳහා ද මේ රජුගෙන් බුරුමයට විශාල සේවයක් සිදු විය. මොහු විසින් චෞක්සේ ප්‍රදේශයේ අරඹන ලද වාරිමාර්ග රාශිය නිසා මේ ප්‍රදේශය උත්තර බුරුමයේ ධන්‍යාගාරය බවට පත්වූ බව කියති.
මේ රජුගේ කාලයේ දී ථෙරවාද බුද්ධාගම බුරුමයේ පැතිරීයාම නිසා එකල බුරුමයේ සංස්කෘතික දියුණුවක් ද ඇති විය. ත්‍රිපිටකයත් සමග පැමිණි පාලි අධ්‍යාපනය එයින් පසු බුරුමයේ පැතිර ගියේය. බුරුමයේ ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි භික්ෂූන් වහන්සේලා විසින් ඒ රටට තලයිං හෝඩිය ද ගෙන එන ලද බැවින් ඉන් පසු බුරුම භාෂාව ලිඛිත භාෂාවක් බවට පත්විය. මේ තාක් හමුවී ඇති පැරණි ම බුරුම සෙල්ලිපිය තලයිං හොඩිය බුරුමයේ භාවිතයට පැමිණ අවුරුද්දක් ගතවූවාට පසු (1058) ලියන ලද්දකි. එමෙන් ම ථතොන් රාජ්‍යයෙන් පැමිණි වැසියන් නිසා බුරුමයේ ස්තූප ගොඩනැංවීම ද ගෘහනිර්මාණය හා කලාශිල්ප ද දියුණු විය.
බුරුමය ථෙරවාද බුද්ධාගම පිළිගැනීම නිසා අසල්වැසි ථෙරවාද බෞද්ධ රටවල් සමග ඊට මිත්‍ර සම්බන්ධකම් ඇතිකර ගැනීමට හැකි විය. අනෝරථ රජු හා ලංකාවේ මහවිජයබාහු රජු අතර මිත්‍ර සම්බන්ධයක් පැවති බව චූළවංසයෙහි සඳහන් වෙයි. එකල ලංකාවේ උතුරු කොටස අත්පත් කොට ගෙන සිටි සොළීන් පලවා හැරීම පිණිස විජයබාහු රජු අනෝරථ රජුගෙන් උදවු ඉල්ලා දූතයන් යැවූ බව චූළවංසයෙහි එන තොරතුරුවලින් පෙනේ. සොළීන් ලංකාවෙන් පලවා හැරීමෙන් පසු විජයබාහු රජු "උපසම්පදා කර්මයට ගණපූරක භික්ෂූන් නොපොහොනා බැවින් බුදු සසුන පැවැත්මෙහි කැමති සිත් ඇත්තේ ඉක්බිත්තෙන් රාමඤ්ඤරට (බුරුමය) අනුරුද්ධ නම් මිතුරු රජු වෙත පඬුරු සහිත වූ දූතයන් යවා ඒ රටින් තුන්පිටකයෙහි පරතෙරට ගියා වූ.... භික්ෂූන් ගෙන්වා...... නොයෙක් පරිද්දෙන් පැවිදි උපසම්පදා කරවා..... අටුවා සහිත තුන්පිටකය ද කියවා ලක්දිව පසුබස්නා වූ බුදු සස්න බැබළවී" යයි චූළවංශයෙහි සඳහන් වෙයි.
(සංස්කරණය:1963)