අන්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
09:57, 20 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අවසාන සමීපාදි විවිධාර්ථයන්හි වැටෙන පාලි අන්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අවසාන සමීපාදි විවිධාර්ථයන්හි වැටෙන පාලි අන්ත ශබ්දය ලොකස්ස අන්තො (ලෝකයේ අවසානය), ජරාමරණස්ස අන්තො (ජරාමරණ දෙදෙනාගේ කෙළවර), කම්මානං අන්තො (කර්මයන්ගේ කෙළවර), දුක්ඛස්සන්තො (දුක් කෙළවර) යනාදි තන්හි අවසානය, කෙළවර යන අරුතෙහි බෙහෙවින් ව්‍යවහාර වනු පෙනේ.

අන්ත ශබ්දයාගේ මීට වඩා වැදගත් ප්‍රයෝගයක් ද පාලි සාහිත්‍යයෙහි හමු වේ. බොහෝ විට අන්තද්වයක් පිළිබඳව එහි සඳහන් වේ. මධ්‍යම ප්‍රතිපදාව මූලික ඉගැන්වීමක් වශයෙන් දැක්වෙන බුද්ධධර්මයෙහි මෙබඳු යෙදුමක් දක්නට ලැබෙන්නේ අන්තද්වයකින් තොර මාධ්‍යයක් පිළිබඳව සිතිය නොහැකි බැවිනි.

බුදුන් වහන්සේට පූර්වයෙහි පවා ජීවිතයේ සෑම අංශයක් ම පාහේ නානා ශාස්තෘවරයන්ගේ විමර්ශනයන්ට ලක්වූ බව භාරතීය ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. ජීවිතයේ නොයෙක් අංශ පිළිබඳව කරන ලද මෙම විමර්ශන අන්තවාදයන් බිහි කළ බව බුදුන්ගේ අදහසයි. ආගමික ජීවිතය, ආචාර විද්‍යාව, ශුද්ධදර්ශනය ආදි අංශයන් අළලා බුදුන් වහන්සේ ගෙන ගිය බුද්ධිමත් පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි, උන්වහන්සේගේ ධර්මය හැඳින්විය හැක්කේ. මේ ධර්මය මැදුම් පිළිවෙතක් ලෙස සලකනු ලබන්නේ එවකට ඉන්දියාවේ ප්‍රචලිතව පැවති මත අන්තවාදයන් ලෙස හඳුන්වනු ලැබූ හෙයිනි.

විමුක්ති සුවය ලබා ගැනීම සඳහා එවක ඉන්දියාවේ පැවති ආගමික පිළිවෙත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනුගමනය කළ සැටි මජ්ඣිම නිකායේ මහාසච්චක ආදී සූත්‍රයන්ගෙන් පැහැදිලි වෙයි. මෙසේ තත්කාලීන ආගමික ප්‍රතිපදාවන්ගේ නිෂ්ඨාව දක්වා ම ඒවා පුරුදු කළ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඒ මගින් සම්බෝධිය ලබා ගැනීමට නොහැකි විය. ඉන්පසු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට සම්බෝධිය හා විමුක්ති සුවය ලත් බුදුන්වහන්සේ යටකී ආගමික ප්‍රතිපදාවන් අන්තයන් ලෙස සැලකූහ.

දම්සක් පැවතුම් සූත්‍රයෙහි දැක්වෙන පරිදි අවිද්‍යාව දුරුකොට සම්බෝධිය ලබා ජීවිතය ඇසුරු කොට ඇති දුක් නැසීම පරමාර්ථය කොට ගන්නවුන් විසින් සේවනය නොකටයුතු අන්තද්වයකි. ලෝකයාගේ අවැඩ පිණිස පවත්නා වූ කාමසුඛල්ලිකානුයෝගය හෙවත් පඤ්චකාම සම්පත්තියෙහි බොහෝ සෙයින් යෙදීම හීන වූ, ගැමිජනයා සතු වූ අන්ධ බාල , පෘථග්ජනයා විසින් පුරුදු පුහුණු කරන ලද, ආර්‍ය්‍යයන්ට නොගැළපෙන, අනර්ථ පිණිස පවත්නා කරුණක් ලෙස වදාරන ලදි. ජීවිතයේ එක් අන්තයකි මේ. එමෙන් ම ශරීරයට කටුක වධ දෙමින් උග්‍ර තපස් රැකීම හෙවත් අත්තකිලමථානුයෝගය ද දුක් එළවන්නාවූ, අනාර්‍ය්‍ය වූ, අවැඩ පිණිස වූ අනික් අන්තය යැයි උන්වහන්සේ වදාළහ.

මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බුදුන්වහන්සේගේ ධර්මය අනුව සලකා බලන විට නිගණ්ඨ ආදීන් විසින් පුරුදු පුහුණු කරන ලද ශීල ව්‍රත ආදියෙන් සමන්විත වූ ආගමික ජීවිතය ද චාර්වාකාදි භෞතිකවාදීන් විසින් ඉදිරිපත් කරන ලද සුඛෝපභෝගී කාමාසක්ත ජීවිතය ද අභිවෘද්ධියක් බලාපොරොත්තු වන්නාවූ පුද්ගලයකු විසින් සේවනය නොකටයුතු අන්තද්වයකි.

මිනිස් ජීවිතය විග්‍රහ කළ බුදුන්වහන්සේ උත්පත්තිය එක් අන්තයක් ලෙසත් මරණය අනෙක් අන්තය ලෙසත් දක්වා තිබේ. එපරිද්දෙන් ම අතීතය එක් අන්තයක් ලෙස ද අනාගතය තවත් අන්තයක් ලෙස ද දක්වා ඇත. උත්පත්තියක් මරණයත් අතර ඇති කාලය වර්තමානය ලෙස දැක්වූ බුදුන්වහන්සේ අතීතය සිහි කරමින් ශෝක නොකොට (අතීතං නානුසොචති), අනාගතය කෙරෙහි ඇල්මක් නොකොට (නිරාසත්ති අනාගතෙ), වර්තමානය කෙරෙහි පමණක් සැලකිල්ල යොමු කරමින් විමුක්තිගාමී පිළිවෙත්හි නිරත විය යුතු යැයි දේශනා කළහ.

ආචාර විද්‍යාවේ පදනම වශයෙන් සැලකිය හැකි කර්මවාදය පිළිබඳව ද භාරතීය චින්තයෝ විවිධ මත ප්‍රකාශ කළහ. වෙනස් නොවී භවයෙන් භවයට සංක්‍රමණය වන නිත්‍ය ආත්මයක් (සස්සතෝ අන්තා) ඇතැයි පිළිගත් සමහර චින්තකයෝ කර්මවාදය ද පිළිගනිමින් කර්මය කළ පුද්ගලයා ම එම කර්ම විපාකය ප්‍රතිසංවේදනය කරන බව (යෝ කරොති සො පටිසංවේදියති) ප්‍රකාශ කරමින් ශාශ්වතවාදයක් පිළිගත්හ. මෙබදු ආත්මූපලබ්ධියක් නොපිළිගන්නා තවත් සමහරෙක් කර්ම විපාකය විඳින්නේ කර්මය කළ පුද්ගලයා නොව අනිකෙකැයි (අක්ඤො කරොති අක්ඤො පටිසංවෙදියති) ප්‍රකාශ කරමින් උච්ඡේදවාදයක් පිළිගත්හ. විපාකානුභූතිය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළ බුදුන්වහන්සේ මේ අන්තද්වය ම බැහැර කරමින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ප්‍රතීත්‍යසමුත්පාදයට අනුව කර්මවාදය විස්තර කළහ.

ලෝක සත්‍යය පිළිබඳව භාරතීය දාර්ශනිකයන් විසින් විවිධ මත පළ කරන ලදි. එක් අවස්ථාවක දී කච්චායන තෙරුන්ට බුදුන්වහන්සේ මෙසේ වදාළහ: "කච්චායනය, මේ ලෝ වැසි තෙම බොහෝසෙයින් 'ඇත්තේය' (අත්ථි) යන දෘෂ්ටි යෙහි ද, 'නැත්තේය' (නත්ථි) යන දෘෂ්ටියෙහි ද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇති සැටියෙන් මනා නුවණින් දකින්නාට වනාහි ලෝකයෙහි නැත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇති සැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි." "සියල්ල ඇත" (සබ්බං අත්ථි) යන ශාශ්වත දෘෂ්ටිය බුදුන්වහන්සේගේ අදහසේ හැටියට එක් අන්තයකි. නාස්තිකවාදීන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු "සියල්ල නැත" (සබ්බං නත්ථි) යන උච්ඡේද දෘෂ්ටිය දෙවැනි අන්තය වෙයි. මේ අන්තද්වයට නොපැමිණ සුපුරුදු මධ්‍යම ප්‍රතිපදාව අනුව යමින් ලෝක විවරණයක් කළ බුදුන්වහන්සේ ලෝක සත්‍යය ප්‍රතීත්‍යසමුත්පන්න ලෙස වදාළහ. උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ප්‍රතීත්‍යසමුද්පාද ධර්මය එවකට භාරතීය දර්ශන ලෝකයෙහි වූ අන්තයන්ගේ ගණයට නොවැටෙන උතුම් දර්ශනයක් බව මෙයින් පැහැදිලි වෙයි.

කර්තෘ:ඩී.ජේ. කළුපහන

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්ත&oldid=1903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි