අන්ධභාවය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:20, 20 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('යම් තැනැත්තකු අන්ධභාවයෙන් පෙළෙතැයි කිව හැක්ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම් තැනැත්තකු අන්ධභාවයෙන් පෙළෙතැයි කිව හැක්කේ "ඇස් පෙනුම අවශ්‍ය වන යම් කාර්‍ය්‍ය යක් කිරීමට නොහැකි වන තරමට ඔහුගේ ඇස් පෙනුම දුර්වලව පවත්නා කල්හිය." ඉන් අදහස් කැරෙනුයේ ඔහුගේ සාමාන්‍ය ජීවන වෘත්තිය හෝ අන් කිසි විශේෂ වෘත්තියක් හෝ ඔහුට කළ නොහැකි ද යන්න නොව, ඇස් පෙනුම අවශ්‍ය වන යම්කිසි කාර්‍ය්‍යයයක් නොකළ හැකි තරමට පෙනුම දුර්වල දැයි යන්නය.

අන්ධභාවය පිළිබඳ පරීක්ෂණයකට භාජන වන අය තුන් කොටසකට වර්ග කළ හැකියි:-

පළමුවැනි කොටස: දෘෂ්ටියෙහි තීක්ෂ්ණතාව ස්නෙලන් (Snellen) 3/60 ට අඩු අය. මොවුහු අන්ධ වූවන් ලෙස සාමාන්‍යයෙන් සැලකිය හැකිය.

දෙවැනි කොටස: ස්නේලන් 6/60 ට නොඅඩු වුව ද 6/60 අඩු අය. මේ කොටසට අයත් කෙනකුගේ දර්ශන පථය බොහෝ දුරට සංකර්ෂණය වී තිබේ නම් ඔහු ද අන්ධයකු සේ සැලකිය හැකියි.

තුන්වන කොටස: ස්නෙලන් 6/60 න් ඉහළ දෘෂ්ටි තීක්ෂ්ණතාව ඇති අය. මොවුන් සාමාන්‍යයෙන් අන්ධයන් සේ සැලකිය යුතු නොවේ. එහෙත් දර්ශන පථයෙන් වැඩි කොටසක් තදින් සංකර්ෂණයවූවන් වෙතොත් - සංකර්ෂණය ද විශේෂයෙන් දර්ශන පථයේ පහත භාගයේ වී නම් - ඔවුන් ද අන්ධයන් සේ සැලකිය හැකිය.

අන්ධභාවය විග්‍රහ කොට දැක්වීමේ දී සාමාන්‍යයෙන් ළමයින් හාවයස්ථයන් අතර විශේෂයක් නොකෙරේ. එහෙත් එවැන්නක් කෙරෙන විටක, මුද්‍රිත පාඩම් පොතක් කියවීමට නුපුළුවන් තරමට නැතහොත් දෘෂ්ටි මාධ්‍යය කොට ගත් අධ්‍යාපන ක්‍රමයක් මඟින් ඉගැන්වීමට නොහැකි තරමට, ඇස් පෙනීම දුර්වල ළමයි අන්ධයන් ලෙස වර්ග කරනු ලබත්.

අන්ධභාවය ඇතැම් රටවල විග්‍රහ කරනු ලබන්නේ පුද්ගලයන්ගේ ඇස්වල ක්‍රියා කිරීමේ ශක්තිය අතින් පවත්නා දුර්වලකම් අනුවයි.

යමකුට නුපුරුදු පෙදෙසෙක අනිකකුගේ මඟ පෙන්වීමක් නැතුව පාර සොයා ගත නොහැකි නම්-

යමකුට යාරයක් හෝ දෙකක් හෝ තරම් ඈත සිට පෙන්වනු ලබන අතක ඇඟිලි වෙන්‍ වෙන්ව ගණන් කළ නොහැකි නම් -

යමකුට ඇසින් ආර්ථික ප්‍රයෝජනයක් සලසා ගත නොහැකි නම්-

යමකුට තමාගේ එදිනෙදා රැකීරක්ෂාව කරගත නොහැකි තරමට ඇස් පෙනීම දුර්වල නම් -

හෙතෙම අන්ධ සේ පිළිගනු ලබයි. මේ විග්‍රහ අතුරෙන් එකක් හෝ සියල්ල ම හෝ මෙහි ලා උපයෝගී කර ගත හැකියි.

එක්සත් ජනපදය, ඕස්ට්‍රියාව, ජර්මනිය, ප්‍රංසය සහ ඕලන්දය වැනි රටවල අන්ධභාවය පිළිබඳ මිනුම් දණ්ඩ, රටින් රටට වෙනස් වෙයි. බ්‍රිතාන්‍යයෙහි ක්‍රියාත්මක මුහුණුවරකින් යුත් විග්‍රහය වනුයේ "ඇස් පෙනුම අවශ්‍ය වන යම් කාර්‍ය්‍යයක් කිරීමට නොහැකි තරමට කෙනකුගේ පෙනීම දුර්වල නම් ඔහු අන්ධයෙකි." යන්නයි.

අන්ධභාවයේ ව්‍යාප්තිය: ලෝකයේ ඒ ඒ රටවල අන්ධයන්ගේ සංඛ්‍යාව පිළිබඳව පිළිගත හැකි සංඛ්‍යා ලේඛන නොමැතියි. ඊට හේතුව නම් අන්ධ පුද්ගලයන් ගැන පරිපූර්ණ වාර්තා ලබා ගැනීමෙහි ඇති දුෂ්කරතාවයි. ලියාපදිංචි කිරීමෙන් තමන්ට යම්කිසි ලාභ ප්‍රයෝජනයක් නොසැලැසේ නම් සිය අන්ධභාවය හෙළි කිරීමෙන් වැඩක් ඇතැයි සිතන අන්ධයන් කවර රටක වුව ද සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක්ය යන හැඟීම ලැබී තිබෙන සංඛ්‍යා ලේඛනවලින් ස්ඵුට වෙයි.

අන්ධභාවය දන්වා සිටීමෙන් ලැබෙන නොයෙක් ප්‍රයෝජන කරණකොටගෙන අන්ධයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන බොහෝ දුරට සම්පූර්ණ වී ඇතැයි සිතාගත හැකි එංගලන්තය, වේල්සය සහ එක්සත් ජනපදය යන රටවල් තුනේ ම ජනගහනයෙන් ලක්ෂයකට එක ම ගණනක් බැගින්, එනම් 175ක් බැගින්, අන්ධයන් සිටීම සැලකිය යුතු යුතු කරුණකි. ඒ රටවල අන්ධ පිරිමින්ගේ ගණන අන්ධ ගැහැනුන් ගේ සංඛ්‍යා සමාලෝචනයකට අනුව ලංකාවේ අන්ධයෝ 6,500ක් පමණ සිටිත්. එහෙත් රත්මලානේ අන්ධ පාඨශාලාවේ පාලකයන්ගේ අදහස අනුව ලංකාවේ අන්ධයන්ගේ සංඛ්‍යාව 11,000ක් පමණ වේ. මෙරට අවුරුදු 10න් පහළ අන්ධයෝ 650 දෙනෙකි ; 17න් පහළ 2,000කි.

ලංකාවේ අන්ධයන්ගේ සැප පහසුකම් සොයා බලනු ලබන්නේ ස්වේච්ඡා සංවිධාන සහ රජය ද විසිනි. රජයේ අනුග්‍රහය ඇතිව "අඳ බිහිරි ශුභසාධක ජාතික මණ්ඩලය" මෑතක දී පිහිටුවන ලදි. ඇස් රෝහලින් පිටවී යන අන්ධයන්ගේ යහපත සඳහා රජය මගින් පාලනය වන නිවාස හෝ ආයතන හෝ අවශ්‍යව ඇත.

රටවල් කිහිපයෙක ම, සමාජ සේවකයෝ හෝ ගෘහ අධ්‍යාපනයෙහි පුහුණුව ලත් ගුරුවරු හෝ අලුත අන්ධ වූවන්ගේ නිවෙස් කරා ගොස් ඔවුන්ට සහාය වෙති. අන්ධ වූ තැනැත්තාට ද ඔහුගේ පවුලේ අයට ද ඒ ආපදාව දරාගෙන ඒ අනුව සිය ජීවිත සකස් කර ගැනුමට පිහිට වීම ඔවුන්ගේ පරමාර්ථයයි. අන්ධයනට කිසියම් පුහුණුවක් ලබාදීම, ජීවනෝපායක් සොයා දීම, ආර්ථික ආධාර සලසාලීම යනාදි වශයෙන් ඔවුන් යථා තත්ත්වයකට පමුණුවාලීමේ කාර්‍ය්‍යය ස්වේච්ඡා සේවක සංවිධානවලත් රජයේත් සැලකිල්ලට භාජන විය යුත්තකි.

අන්ධභාවයට හේතු: ඇස, පින්තූර ගන්නා කැමරාවක් වැනි යාන්ත්‍රික උපකරණයක් ලෙස ක්‍රියා කරයි. ඒ අතර ම එය සජීව වස්තුවක් ද වේ. යාන්ත්‍රික උපකරණයක් ලෙස සලකන කල, එය දෘෂ්ටි ඉන්ද්‍රිය හැටියට මැනැවින් ක්‍රියා කරනු සඳහා අවශ්‍ය කොටස් සියල්ලක් සුදුසු ලෙස නිර්මාණය වී තිබීම ද යෝග්‍ය ස්ථානවල පිහිටා තිබීම ද නියම පරිදි එකිනෙකට සම්බන්ධ වීම ද අවශ්‍යය. සජීව වස්තුවක් වශයෙන් ගත් කල, ඇසේ කොටස් ද ශරීරයේ වෙනත් තැන්වල ඇත්තාක් මෙන් ම, පටක, රුධිරවාහිනී, ‍පේශි සහ ස්නායු යනාදියෙන් සමන්විතය. ඒ කොටස්වල ජෛවතාව මෙන් ම ඒවායේ සක්‍රියතාව ද රඳා පවත්නේ නිසියාකාර පෝෂණය ලබාදීම සහ රෝගාබාධවලින් තොරව ආරක්ෂා කොට පවත්වා ගැනීම පිටය. දෘෂ්ටිය අඩු වීමේ ප්‍රමාණය වෙනස් වනුයේ ඇසෙහි යම් උපද්‍රවයකට භාජන වූ කොටසත් ඒ උපද්‍රවයේ තත්වයත් අනුවය. වළක්වාලිය හැකි අන්ධ භාවය මගහරවා ගැනීමෙහි ලා රෝග නිදාන පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීම වැදගත් වන හෙයින් ඒ ගැන මෙහි දී විශේෂ සැලකිල්ලක් දැක්වේ.

අන්ධභාවයට හේතු වූ කරුණු මේ මේ යයි ඉදිරිපත් කිරීම අතින් විශ්ව සම්මුතියක් ලත් සැලැස්මක් තව ම පිළියෙල වී නොමැතියි. එහෙත් මෙවැන්නක් සකස් කර ගැනුම සඳහා මූලික පියවර ගෙන තිබේ. ස්කොට්ලන්තයේ සහ මහා බ්‍රිතාන්‍යයේ ද ඇතැම් පොදු රාජ්‍යමණ්ඩලීය රටවල ද අන්ධභාවයට හේතු වශයෙන් දක්වන කරුණු අතර සමානත්වයක් තිබේ. එක්සත් ජනපදයේ දැක්වෙන හේතු කැනඩාවේ දැක්වෙන හේතුවලට සමානය. අනික් රටවල් සමහරකින් දැක්වෙන හේතු යටකී හේතුවලට සම්පූර්ණයෙන් සම කළ නොහැකි වුව ද බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පවතින අන්ධභාවයට හේතූන් වර්ග කොට දැක්වීමේ දී යොදා ඇති ප්‍රධාන ශීර්ෂ යටතේ ඒවාත් සඳහන් කළ හැකිය. ඇසට සිදුවිය හැකි සෑම වර්ගයක ම උපද්‍රව එම වර්ග කිරීම යටතෙහි දක්වා ඇති බැවිනි. දෘෂ්ටිය පිළිබඳව කවදත් පැවැති ලොකු ම උපද්‍රවය නම් බෝවෙන රෝග යයි කිව හැකියි. ආසාදනය (infection) ඇති කරන සජීව පරපෝෂිතයන් විසින් ඇස කෙළින් ම ආක්‍රමණය කැරෙන්නට පිළිවන. නැතහොත්, ශරීරයෙහි වෙනත් ස්ථානයෙක ආසාදනයක් ඇති වූ කල, එහි සිට රුධිර මාර්ගය ඔස්සේ මේ පරපෝෂිතයනට හෝ දූලක ද්‍රව්‍යවලට ඇස කරා යා හැකිය. පර‍පෝෂිතයා සිය ජීවිතයත් සිය ප්‍රජනන ක්‍රියාවලියත් පවත්වා ගනු සඳහා ශරීරයේ සාමාන්‍ය පටක සිඳ දමයි. මේ විජනන (degenerative) ක්‍රියාවලිය නොවැළැක්වුවහොත් නේත්‍ර පටක කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් හෝ විනාශව, ඒ ප්‍රමාණයට ඇසෙහි ක්‍රියා ශක්තිය ද හීන වන්නට පුළුවන.

ඇසිපියත් ඇස් ගුළියේ විනිවිද පෙනෙනසුලු ඉදිරි කොටසත් අළලන අක්ෂි රෝගයක්වූ ට්‍රැකෝමාව අන් කවර ආසාදනයකට හෝ වැඩියෙන් ලෝකවාසීන් අතර අන්ධභාවය සිදු කොට ඇත යනු පිළිගැනීමයි. සියලු මහාද්වීපවල ම මේ වයිරස පවතිතත් එක ම රටක් තුළ වුව ද නොයෙක් පෙදෙස්වල වෙනස් වෙනස් අයුරින් එය පවත්නා බව පෙනේ. මිසරයෙහි සහ වෙනත් උතුරු අප්‍රිකානු රටවල ද මධ්‍යධරණී මුහුද අවට පිහිටි සෙසු රටවල ද ඉන්දියාවේ සහ වෙනත් පෙරදිග රටවල ද මේ වයිරස බෙහෙවින් පැතිරී පවති. ට්රැකෝමාව එක්සත් ජනපදයේ ඇතැම් පෙදෙස්වලට දේශජ වශයෙන් සීමා වී පවතී. මෑත අතීතයෙහි ඇමෙරිකානු ඉන්දියානුන් අතර මෙය කොතරම් දුරට පැතිරී ගියේ දැයි කිවහොත් එයට පිළියම් කරනු සඳහා විශේෂ රෝහල් පිහිටුවන ලදි.

එක් කලෙකදී ‍වසූරි රෝගය අන්ධභාවයට ප්‍රධාන හේතුවක්ව පැවතිණ. අනිවාර්‍ය්‍ය වශයෙන් අත් එන්නත් කිරීම කැරෙන පළාත්වල දැන් එය අන්ධභාවය ඇති කරන හේතු ලැයිස්තුවෙන් මුළුමනින් ම පාහේ අතුරුදහන් වී තිබේ. එහෙත් ඉන්දියාව, මලයාව සහ අප්‍රිකාව යන රටවල වසූරිය තවම මැඩ පවත්වා නැත. මවගේ ප්‍රසව මාර්ගයේ රැඳී පවතින ආසාදක ජීවීන් කරණකොටගෙන හටගන්නා ළදරු ඇස්රුදාව හෙවත් නවජ චක්ෂුර්ව්‍යථය (ophthalmia neonatorum) අන්ධ භාවයට තවත් හේතුවකි.

උපදංශ රෝගයේ හැම අවස්ථාවක දී ම ඇසෙහි කවර කොටසකට වුව ද උපද්‍රව සිදු විය හැකියි. මෙම රෝගයෙන් වැඩියෙන් ම හානි පැමිණෙන්නේ සෑහෙන තරම් ප්‍රතිකාර නොලත් අයගේ දෘෂ්ටියටය. උපදංශ රෝගයේ අවසන් අවස්ථාවෙහි දී දෘෂ්ටික ස්නායුව සහිත මුළු ස්නායු පද්ධතිය ම දුර්වල වෙයි.

සරම්ප, ආවෘතිදාහය, ගලපටල රෝගය, ආරක්තක (ස්කාලට්) උණ, උණසන්නිපාතය (ටයිfපොයිඩ් උණ), සීපද (බරවා) රෝගය, කාසය සහ ලාදුරු වැනි සාමාන්‍ය බෝවෙන රෝග නිසා ද අන්ධභාවය ඇති විය හැකිය. ඇතැම් ලාදුරු රෝහල්වල රෝගීන්ගෙන් සියයට 25කට අධික සංඛ්‍යාවක් එක් ඇසෙක හෝ දෙඇසේ ම හෝ සම්පූර්ණ අන්ධභාවයෙන් නැතහොත් අර්ධ අන්ධ භාවයෙන් පෙළෙති.

බෝ නොවන සංසෙථමක ‍ෝග නිසාත් අන්ධ භාවය ඇති වෙයි. අත්‍යාතතිය (hypertension) හා ධමනි‍දෘඪතාව (arteriosclerosis) යන රෝගවල දී රක්ත බහිධාරණිතාව (extravasation of blood) හා ප්‍රස්වේදනය (exudation) කරණකොටගෙන ඇසේ දෘෂ්ටිවිතානයට හානි පැමිණීමෙන් ඇස් පෙනීම නැති වී යා හැකිය. ගර්භණී අවස්ථාවෙහි දී ඇති වන ධූලක රක්තතාවන් (toxaemias of pregnancy) නිසා හට ගැනෙන වකුගඩු රෝග හේතුකොටගෙන ද අන්ධ භාවය සිදු විය හැකිය. හේතුව සිඳලීමෙන් සහනයක් ලැබිය හැකි වුව ද ඇස් පෙනුම නිතර ම අඩු වී පැවැතිය හැකියි.

දියවැඩියාවෙහි දී ඇතිවන රක්තපාතය ඇසෙහි කාච පටලය (glaucoma) හටගැන්වීමට තරම් ප්‍රමාණවත් විය හැකිය. එයින් ඇස් පෙනීමට බාධා කළ හැකි තරමේ ප්‍රදාහයක් තාරා මණ්ඩලයේ දැනවිය හැකිය. අන්ධභාවය ඇති කරන නේත්‍රපටල රෝගයට (cataract) බොහෝ සෙයින් දියවැඩියාව හේතු වේ.

පුරුදු ආහාර ප්‍රමාණය අඩු කරන ලද්දාවූ හෝ හාමත් වන නොවන තරමට ස්වල්ප වශයෙන් ආහාර සපයන ලද්දා වූ හෝ, ඇස් ඇඳිරියෙන් පෙළෙන ලෙඩුන්, වර්ග වශයෙන් ගෙන පරීක්ෂා කොට බැලීමේ දී පෙනී ගිය කරුණක් නම් අන්ධ භාවයත් විටමින් ඌනතාවත් අතර යම්කිසි සම්බන්ධයක් ඇති බවයි. ධූලකයන්ගෙන් ඇති වූ සංස්ථෙමක විෂ වීමක දී දෘෂ්ටික ස්නායුවේ සහ දෘෂ්ටි විතානයේ ද නිදන්ගත ප්‍රදාහයක් ඇති වී එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්ධභාවය ඇති විය හැකියි. දුම්කොළ විෂ වීම හා මධ්‍යසාර විෂ වීම බොහෝ විට සිදුවනු පෙනේ. විෂ වීමෙන් හටගැනෙන මේ අන්ධභාවය ඇතිවනුයේ අනුක්‍රමයෙනි. වයෝ වෘද්ධතාව නිසා ඇස් පෙනීමේ වෙනස්කම් ඇති වෙමින් පවතින වයස් සීමාව තුළ දී එය අධිකව දක්නා ලැබේ. මිතයිල් මධ්‍යසාර හෙවත් මෙතනොල් විෂ වීම බොහෝ දෙනකුගේ මරණයට හෝ අන්ධභාවයට හෝ හේතු වන බව පිළිගෙන තිබේ. මීතයිල් මද්‍යසාරය දෘෂ්ටි විතානය සහ දෘෂ්ටික ස්නායුව කෙරෙහි විශේෂයෙන් බලපවත්වන බව ප්‍රකට කරුණකි. මෙබඳු රෝගයන්ගෙන් පෙළෙන්නවුන් ලංකාවේ ඇති බව පෙනී ගියේ කසිප්පු ආදී හොරෙන් පෙරූ මත්පැන් පාවිච්චිය පැතිරී ගියාට පසුවය.

ධූලක ඖෂධ නිසා කාචපටල රෝගය හෝ නේත්‍රපටල රෝගය හෝ ඇති වී එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇස් පෙනුම ‍නැති වී යා හැකිය. කාර්මික ව්‍යාපාරවල දී පාවිච්චියට ගැනෙන වස ද්‍රව්‍ය ද අන්ධභාවය ඇති කරයි. ඇස්වලට විපත්තිකර සාමාන්‍ය ද්‍රව්‍ය නම් මිතයිල් මද්‍යසාරය හා ඇමිල් මද්‍යසාරය, දුම්කොළ, අයඩොfපෝම්, නැප්තලීන් හා ඇනිලීන් පඬු, සායම් ද්‍රව්‍ය, පාසාණම් සහ පණු බෙහෙත් සඳහා ගනු ලබන ඖෂධ වර්ගයි.

කාචපටල රෝගය අන්ධ භාවය ඇති කරන ප්‍රබල හේතුවකි. යමකු වයසින් වැඩි වී යත් ම එම රෝගය හටගැනීම වඩ වඩාත් ලෙහෙසි වෙයි. නේත්‍රපටලය යනු පටක තුළ ඇතිවන භෞත-රසායනික ක්‍රියාවලීන්හි වෙනස් වීමක් ඇති වීමෙන් කාචයෙහි පවතින විනිවිද පෙනෙන ස්වභාවයේ පිරිහීමක් ලෙස සැලැකිය හැකි වෙයි. ඇස තුවාළ වීමකින් එය හටගත හැකියි. වෘද්ධ නේත්‍රපටලය බහුලව දක්නට ලැබෙන්නකි. මේ සියල්ල ම අන්ධභාවය ඇති කිරීමට හේතු වේ.

උත්පත්ති අවස්ථාවේ දී දක්නා ලැබෙන අක්ෂි ආබාධ හෝ එවැනි ආබාධයක් හටගැනීමේ ලක්ෂණ ප්‍රාක්-සූතික (prenatal) නැතහොත් ආජන්මජ (congenital) අන්ධභාවයට ඇතුළත්ය. දෙමව්පියන්ගෙන් උරුමව ආ අක්ෂි ආබාධ ද ප්‍රාක්සූතික නැතහොත් ආජන්මජ අන්ධභාවයෙහි ම ලා ගැනෙන නමුත්, ඒ දෙක එකක් නොවේ. ගැබිණියගේ සෞඛ්‍යයට වෙනත් හේතූන් කරණකොට ගෙන හානි පැමිණීමෙන් ළදරුවාගේ ඇස්වල වර්ධනයට බාධා ඇති විය හැකි හෙයිනි. ගැබිණි කල මවට උපදංශය හෝ (ජර්මන්) සරම්ප හෝ වැලඳී තිබීම වැනි, ඇස්වල නියම වර්ධනයට බාධක හේතුවක් පවතින බව දැනගත් කල සුදුසු මාතෘකා යටතේ ඒවා වර්ග කරනු ලැබෙයි.

යන්ත්‍රානුසාරයෙන් භාණ්ඩ තනන විශාල කර්මාන්තවල දී පමණක් නොව පතල් වැඩ, දැව කැපීම, කම්මල් වැඩ, ගොවිකම යනාදියෙහි දීත් ක්‍රීඩා භූමියෙහි දී හා නිවෙසෙහි දීත් සිදුවන තුවාළ නිසා ඇස් පෙනුමට බොහෝ සෙයින් හානි ඇති වී තිබේ. පිපිරෙන ද්‍රව්‍ය, මුවහත් හෝ උල් වූ හෝ භාණ්ඩ, වීසි වී යන ලෝහ නොහොත් ගල් කැබැලිති, රත්වුණු ද්‍රව්‍ය, අම්ල ද්‍රව්‍ය සහ හිසට උවදුරු පැමිණැවිය හැකි පහරවල් නොහොත් වැටීම් යන මේවා නිසා ද ඇස්වලට හානි ඇති විය හැකියි. තුවාළ වූ ඇස ආසාදිත වූ පසු තුවාළ නොලත් ඇසෙහි ද සංව්‍යථක (අනුවේදී) ප්‍රදාහය ඇති වීමට බෙහෙවින් ඉඩ තිබේ. මෙකි උපද්‍රව වළකාලීම සඳහා ආරක්ෂක ඇස් කණ්ණාඩි ආදි උපකරණ භාවිතය ද යන්ත්‍රෝපකරණවල ආරක්ෂා උපක්‍රම යෙදීම සුදුසු ප්‍රමාණයට ආලෝකය සැපයීම ආදී විධිවිධාන සැලැසිම ද අතිඤ්ඤා ආදි ගිනි කෙළි බඩු සහ වායු තුවක්කු පරිහරණය සීමා කිරීම ද ප්‍රධාන කොට ඇති ආරක්ෂක උපක්‍රම දැන් වැඩිදියුණු කොට තිබේ.

වැරදි ඖෂධ ක්‍රම නිසා ද ඇස්වලට උපද්‍රව පැමිණිය හැකිය. මෙවැනි හානි පැමිණීම ලංකාවේ බෙහෙවින් ම සිදුවන අතර වෙනත් රටවලින් ද එබඳු පැමිණිලි වාර්තා වෙයි. අන්ධභාවය ඇති කරන්නාවූ ද තවමත් හේතු සොයාගෙන නැත්තා වූ ද තවත් ඇස් රෝග පවතී. එසේ වෙතත් නිසි ඖෂධවලින් ද සැත්කමින් ද ඇස් පෙනීමේ දුර්වලතා බොහෝ දුරට වළක්වාගත හැකිය. මේ සඳහා කළයුත්තේ රෝග විනිශ්චය මෙන් ම ප්‍රතිකාරත් නොපමාව කරවා ගැනීමේ අගය මහජනයාට වටහා දීමයි.

කර්තෘ:ඕ.ඇල්.ඇෆ්. සේනාරත්න

ආයුර්වේද මතය:ඇස්වෙදකම බ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්ධභාවය&oldid=1949" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි