අන්ධ වනය
සැවැත් නුවරට (වර්තමාන සහෙත් මහෙත්) ගව්වක් පමණ දකුණු දිගින් වූ වනයෙකි. විවේකකාමී භික්ෂු භික්ෂුණීහු මේ වනයට ගොස් පලසමවත් සුවෙන් කල් ගෙවූහ.
කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ධාතු නිදන් කර චෛත්‍යයක් බැඳීමේ ව්‍යාපාරයක යෙදී සිටි සෝරත නම් අනාගාමී උපාසකයෙක් මේ වනයේ දී සොරුන් විසින් ඇස් උපුටා දැමීමෙන් මරන ලදි. එකෙණෙහි සොරුන්ගේ ඇස් අන්ධ විය. ඒ හේතුකොටගෙන එතැන් පටන් මෙය අන්ධවන නම් වී යැයි කියනු ලැබේ.
හියුං සාං සිය ගමන් විස්තරයෙහි ජේතවනයෙන් වයඹදිග ලී හතරක් පහක් පමණ තැන "ඇස් ලැබූ වනය" පිහිටි බව සඳහන් කෙරෙමින් ඒ පිළිබඳව අන්‍යකථා පුවතක් දක්වා තිබේ. අන්ධ වනය හා ඇස් ලැබූ වනය එක ම ස්ථානය දැයි නිශ්චය වශයෙන් නොකියහැකිය. දැනට ජේතවන විහාර භූමියට සැතපුම් 2/3 ක් පමණ වයඹ දිගින් පිහිටි රාජ්ගර් ගුලරියා නමැති ගම හියුං සාංගේ ගමන් විස්තරවල සඳහන් වන ප්‍රදේශය වශයෙන් කනිංහැම් හඳුන්වයි.
බුදුන් ජීවමාන කල භාවනානුයෝගීව වසන භික්ෂුභික්ෂුණීන් සඳහා අන්ධ වනයෙහි ප්‍රධාන ඝරයක් ගොඩනඟා තිබුණේ ය. ආලවිකා, සෝමා, කිසාගෝතමී, විජයා, උත්පලවණ්ණා, චාලා, උපචාලා, සිසූපචාලා, සේලා, වජිරා යන භික්ෂුණීන් පෙලඹවීමට මාරයා උත්සාහ කළේ ද මේ වනයේ දී ය. වරක් අනුරුද්ධ තෙරුන් මෙහි වසන කළ දරුණු රෝගයකින් පෙළුණු බව සංයුක්ත නිකායේ දැක්වේ. බුදුරජාණන්වහන්සේ මෙහි දී දේශනා කළ චූළ රාහුලෝවාද සූත්‍රය ඇසීමෙන් රාහුල භික්ෂූන්වහන්සේ රහත් වූහ. කුමාරකස්සප, ඛේම, සෝම, සාරිපුත්ත යන ස්ථවීරයන්වහන්සේලා ද මෙහි කලින් කල විසූහ. සාරිපුත්ත, පුණ්ණ දෙදෙනාවහන්සේ අතර මෙහි දී විසුද්ධි කම්මය පිළිබඳ ධර්ම සාකච්ඡාවක් ඇතිවිය. කුමාර කස්සප තෙරුන්වහන්සේ මෙහි වැඩ වසන කල අනාගාමි බ්‍රාහ්මයකු විසින් අසන ලද ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු වම්මිකසූත්‍රයේ ඇතුළත් වේ.
උප්පලවණ්ණා භික්ෂුණිය මෙහි වසන කල ආනන්ද නමැති තරුණ බමුණකු විසින් ඇයට බලාත්කාරකම් කරන ලදි. මේ බව දැනගත් භාග්‍යවතුන්වහන්සේ භික්ෂුණීන්ට අරණ්‍යවාසය තහනම් කළ සේක.
අන්ධ වනයෙහි විසූ එක් භික්ෂුවක් තනිපට සිවුරින් හා අඳනයෙන් යුක්තව පිඬු පිණිස ගමට පිවිසි අතර වනයෙහි කිසිතැනක බහා තබා ගිය සඟළ සිවුර සොරුන් විසින් ගන්නා ලදි. මේ බව බුදුරජාණන් වහන්සේට දැන්වූ කල අඳනය හා තනිපට සිවුරෙන් යුක්තව ගම්වැදීම තහනම් කළ සේක.
(සංස්කරණය:1963)