අපකීර්තියට පැමිණවීම

සිංහල විශ්වකෝෂය වෙතින්
16:28, 24 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Defamation) අපකීර්තියට පැමිණවීම සිවිල් වරදක් මෙන් ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Defamation) අපකීර්තියට පැමිණවීම සිවිල් වරදක් මෙන් ම ක්‍රිමිනල් වරදක් ද වේ. සිවිල් වරදක් වශයෙන් සැලැකෙන අපකීර්තියට පැමිණවීම සම්බන්ධයෙන් ලංකාවේ පවත්නා නීතිය වනාහි අපේ උසාවි මගින් දෙන ලද නඩුතීන්දු කරණකොටගෙන, ඉංග්‍රීසි නීතියෙහි එන පාරිභාෂික ව්‍යවහාරයන් හා සංකල්පයන් රාශියක් ඇතුළත් වී සකස් වුණු රෝම ලන්දේසි නීතියයි. ක්‍රමිනල් වරදක් වශයෙන් සැලැකෙන අපකීර්තියට පැමිණවීම පිළිබඳ වූ නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ දහනවවන පරිච්ඡේදයෙහි සඳහන් වේ.

සිවිල් හා ක්‍රිමිනල් යන දෙනයින් ම අපකීර්තියට පැමිණවීම සංඛ්‍යාත වරද පිළිබඳ වූ මූලික නීතිය පදනම් වශයෙන් එකක්මය. ප්‍රධාන වෙනස්කම් පහත දැක්වේ:- අපකීර්තිදායක කරුණු තමා කෙරෙහි යොමු කරන ලදැයි පැමිණිලිකරුට ඔප්පු කළ හැකි නම් විනා සිවිල් නඩුවක් පැවරිය නොහැකිය. එහෙත් එක්ව ගත් පුද්ගලයන් සමූහයක් කෙරෙහි යොමු කරන ලද ආරෝපණයක් (imputation) ක්‍රිමිනල් ගණයේ අපකීර්තියට පැමිණ විමක් ලෙස ගැනෙන්නට පුළුවන. මියගිය තැනැත්තෙකු කෙරෙහි කරන ලද ආරෝපණයකින්, ඔහු එවකට ජීවත්ව සිටියේ නම් ඔහුගේ කීර්තියට හානියක් වන්නට තිබුණේ නම්, එසේ ම එම ආරෝපණය ඔහුගේ පවුලේ අයගේ නැතහොත් වෙනත් කිට්ටු ඥාතියෙකුගේ සිත් රිදවීමේ අදහසින් කරන ලද්දේ නම්, එය ක්‍රිමිනල් ගණයේ අපකීර්තියට පැමිණවීමක් ලෙස ගැනෙන්නට පුළුවන. මෙබඳු අවස්ථාවක දී පැමිණිලිකරුට කෙළින් ම හානියක් නොවී නම් නිවිල් නඩුවක් පැවරිය නොහැකිය.

අපකීර්තියට පැමිණිවීම සිවිල් වරදක් වන තැන: නීත්‍යානුකූලව කියා පෑහිකි යුක්තිසහගත බවක් හෝ සමාවට කරුණක් හෝ නොමැතිව, කිසියම් තැනැත්තෙකුට හානි කිරීමේ චේතනාවෙන් ඔහු පිළිබඳව අපකීර්තිදායක කරුණු ප්‍රසිද්ධ කිරීම අපකීර්තියට පැමිණවීම් සංඛ්‍යාත වරදයි. ප්‍රසිද්ධ කිරීම යනුවෙන් අදහස් කරන්නේ අපකීර්තිදායක කරුණු, අපකීරිතියට පමුණුවනු ලබන්නාත් අප අපකීර්ති කාරකයාගේ අඹුව හෝ සැමියාත් හැර අන්‍ය පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට දැනගන්නට සැලැස්වීමයි. හානි කිරීමේ චේතනාව උසාවිය නඩු තීන්දුවල මෙන් ම නූතන රෝම ලන්දේසි නීති ග්‍රන්ථවල ද සාමාන‍්‍යයෙන් හැඳින්වෙන්නේ "අනිමුස් ඉනිජුරියාන්ඩි" යනුවෙනි. අපකීර්තිදායක කරුණු යනුවෙන් ගැනෙන්නේ ඒවා යොමු කරන ලද තැනැත්තා කෙරෙහි සමාජයේ දැනුම් පැහැදුම් ඇතියවුන්ගේ සැලකිල්ල සාමාන්‍යයෙන් පිරිහෙළනසුලු වූ ද, විශේෂයෙන් ම ඔහු සමාජයේ වෛරයට, අපහාසයට (ridicule), පිළිකුලට හෝ අප්‍රසාදයට පාත්‍ර කරවීමට තුඩුදෙන්නා වූ ද අන්දමින් ලියූ හෝ කියූවචන හෝ කරන ලද ක්‍රියායි.

ඉංග්‍රීසි නීතියෙහි වූ කලී උපවාදයත් (slander) ලිඛිත අපහාසයත් (libel) අතර විශේෂයක් දැක්වේ. උපවාදය යනු කට වචනයෙන් හෝ වෙනත් අස්ථිර ක්‍රමයකින් අපකීර්තියට පැමිණ වීමයි. ලිඛිත අපහාසය යනු චිරස්ථායී වූ ‍හෝ අර්ධ-චිරස්ථායී වූ අයුරකින් අපකීර්තිදායක කරුණු ප්‍රසිද්ධ කිරීමයි. ඉංග්‍රීසි නීතියට අනුව, ඇතැම් අවස්ථාවල දී හැර, විශේෂ හානියක් සිදු වූ බව ඔප්පු කළ නොහැකි විට උපාවාදය නඩු පැවරිය හැකි වරදක් ලෙස නොගැනේ. අපකීර්තියට පැමිණවීම සම්බන්ධයෙන් උපවාදය ලිඛිත අපහාස යයි වෙසෙසීමක් අපේ නීතියෙහි නොමැත.

අපකීර්තියට පමුණුවන ලද තැනැත්තාට අලාභ අයකර ගැනීම පිණිස ද, විත්තිකරු නැවත එම හානිකර වචන කීමෙන් හෝ එබඳු ක්‍රියාවන් කිරීමෙන් හෝ වළක්වනු වස් ඉන්ජන්ෂන් තහනමක් ලබාගැනීම පිණිස ද නඩුවක් පැවරිය හැකිය. (1) පැමිණිලි කරල ලද කරුණ බැලූ බැල්මට අපකීර්තිදායක නොවන්නේ නම් එය අපකීර්තිදායක වන්නේ කිනම් අයුරින් ද යන වග ද (2) විත්තිකරු විසින් හෝ ඔහු විසින් පවරන ලද බලතලවල හෝ වැට කටයුතුවල හෝ සීමාවන් ඇතුළත ක්‍රියාකරන ඔහුගේ නියෝජිතයා හෝ සේවකයා විසින් අපකීර්තිදායක කරුණු ප්‍රසිද්ධ කළ බව ද (3) එකී කරුණු පැමිණිලිකරුට එල්ල කරන ලද බව ද පැමිණිලිකරැ විසින් අපහාස නඩුවක දී ඔප්පු කළ යුතුය. පැමිණිලි කරන ලද කාරණය අපකීර්තිදායක බව පෙන්නුම් කළ විට, එය එසේ නොවේ යැයි (විත්තියෙන්) ඔප්පු නොකළහොත් විත්තිකරු පැමිණිලිකරුට හානි පැමිණවීමට අදහස් කෙළේය යන පූර්වනිගමනයට උසාවිය බැම ගන්නවා ඇත.

අපකීර්තියට පැමිණවීමේ නඩුවක දී නිදහසට කරුණු: නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ප්‍රධාන ශීර්ෂ තුනක් යටතේ කළ හැකිය. එනම්: (1) සම්පූර්ණ වරප්‍රසාදය (2) යුත්තිසහගතව සහ (3)"අනිමුස් ඉන්ජුරියාන්ඩි" සංඛ්‍යාත වූ හානි පැමිණවීමේ චේතනාවෙන් තොරබව යනුයි.

1. සම්පූර්ණ වරප්‍රසාදය: ඇතැම් අවස්ථාවල පවසනු ලබන දේ සත්‍යයෙන් තොරව ද්වේෂ සහගතව කරන ලද ප්‍රකාශයන් වුව ද ඒවාට විරුද්ධව නඩු පැවරිය නොහේ. සම්පූර්ණ‍ වරප්‍රසාද ගණයට වැටෙන ප්‍රධාන අවස්ථා පහත දැකවේ.:-

(අ) එංගලන්තයේ මහජන නියෝජිත මන්ත්‍රණ සභාව සතු විශේෂ විමුක්ති(පරහාර) ලංකාවේ පාර්ලිමේන්තුව ද සතුය. එම නිසා උත්තර මන්ත්‍රණ සභාවේ දී හෝ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී හෝ යම් කිසි සභිකයෙකු විසින් කරනු ලබන කිසි යම් ප්‍රකාශයක් අසත්‍ය වුව ද ද්වේෂ සහගත වුව ද එයට විරුද්ධව නඩු පැවරිය නොහේ.

(ආ) එමෙන් ම අග්‍රාණ්ඩුකාරයාගේ අණ පරිදි ප්‍රකාශයට පමුණුවන ලබන නිලවාර්තාවක ඇතුළත්වන කිසියම් කරුණක් පිළිබඳව ද නඩු පැවරිය නොහැකි ය.

(ඉ) ඉංග්‍රීසි නීතිය අනුව, නඩු විභාගයක දී ඒ සම්බන්ධව විනිශ්චයකරුවෙකු විසින් හෝ මහේස්ත්‍රාත්වරයෙකු විසින් හෝ ජූරි සභිකයකු විසින් හෝ විත්ති පැමිණිලි දෙපාර්ශ්වයට අයත් කෙනෙකුන් විසින් හෝ සාක්ෂිකරුවකු විසින් හෝ අධිනීතිඥයකු විසින් හෝ කරනු ලබන ප්‍රකාශයකට විරුද්ධව නඩු පැවරිය නොහැකිය. මේසා පෘථුල වූ විශේෂ විමුක්ති රෝම ලන්දේසි නීතියෙන් සැලසී නැත. සාක්ෂිකරුවකු විසින් නඩුවිභාගයක දී ඒ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ සම්පූර්ණ‍ වරප්‍රසාදය ලත් ඒවාය යන්න ලංකාවේ පිළිගෙන ඇති බැවින් අනික් අය සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි නීතිය මෙහි අනුගමනය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

2. යුක්තිසහගතබව: පැමිණිල්ලට හේතු වූ කාරණාව සත්‍ය නම්, එසේ ම එය ප්‍රසිද්ධ කිරීම මහජන යහපත පිණිස වේ නම්, එසේ ම එය ප්‍රසිද්ධ කිරීම මහජන යහපත පිණස වේ නම් එයට විරුද්ධව නඩු පැවරිය නොහැකිය.

3. හානි පැමිණවීමේ චේතනාවෙන් තොරවීම: අපකීර්තිදායක කරුණු ප්‍රසිද්ධ කළ බව ඔප්පු වූ තැන දී පැමිණිලිකරුට හානි පැමිණවීමේ චේතනවක් විත්තිකරු තුළ විය යන පූර්වනිගමනය විත්තිකරු බිඳ හෙළුවහොත්, පැමිණිලිකරුගේ නඩුව නිෂ්ප්‍රභ වේ. එකී පූර්වනිගමනය බිඳහෙ‍ළිය හැකි ප්‍රධාන මාර්ග නම්:

(අ) අපකීර්තිදායක යයි පැමිණිලි කරන ලද වචනවල හෝ ක්‍රියාවල එවැන්නක් නැති බවට කරුණු කියා සිටීම;

(ආ) ප්‍රස්තුත ප්‍රකාශය තමා කෙළේ එය ඇසීමට යුතුකමක් හෝ නීත්‍යානුකූල වුවමනාවක් ඇති කෙනෙකුට ‍හෝ කිහිපදෙනෙකුන්ට බවත් නීත්‍යානුකූල වූ නැතහොත් සදාචාරත්මක වූ යුතුකමක් ඉටුකිරීමක් වශයෙන් හෝ කිසියම් අයිතියක් තහවුරු කර ගැනීමට හෝ ආරක්ෂා කර ගැනීමට හෝ ආත්මාරක්ෂාවට හෝ මිස දේවේශසහගතව නොවන බවත් ඔප්පු කිරීම; අනාදරය හෝ කේන්තිය හෝ පමණක් නොව නොනිසි චේතනාව ද දේව්ෂය නමි. දේවේෂසහගතභාවය ඔප්පු කිරීමේ වගකීම පැමිණිලි කරු සතුය.

(ඉ) පැමිණිල්ලට හේතු වූ ප්‍රකාශය සත්‍ය වශයෙන් පළ කරන ලද හෝ පැහැදිලිව හඳුන්වා දෙන ලද හෝ කරුණු අනුව මහජන යහපත සඳහා පවත්නා කාරණයක් පිළිබඳව විත්තිකරු විසින් අවංකව දැරූ අදහසක් බවත් එය ද්වේෂයෙන් තොරව කරන ලද බවත් ඔප්පු කිරීම; මෙහි දී පැමිණිලිකරු විසින් ද්වේෂය ඔප්පු කරන ලද නම් නිදහසට කරුණු කී‍මේ මෙම ක්‍රමය නිෂ්ප්‍රභ වේ.

අපකීරිතියට පැමිණවීම ක්‍රිමිනල් වරදක් වන තැන: අපකීර්තියට පැමිණවීම වූ කලී කෙනෙකුගේ කීර්තියට හානිකිරීමේ චේතනාවෙන් හෝ හානි වන බව දැන දැන ම හෝ එසේ වේ යයි විශ්වාස කිරීමට හේතු ඇතුව හෝ කටවචනයෙන් හෝ කියවීමට අදහස් කරන ලද වචනවලින් හෝ සංඥාවන් මගින් හෝ (වෙනත්) ‍දෘෂෟටිගෝචර නිරූපණයන් මගින් හෝ ඔහු සම්බන්ධයෙන් ආරෝපණයක් කිරීම හෝ එය ප්‍රසිද්ධ කිරීම යැයි දණ්ඩනීති සංග්‍රහයෙහි විග්‍රහ කෙරේ.

ක්‍රමිනිල් ගණයේ අපකීර්තියට පැමිණවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇටො‍්ර්නි ජනරාල් තැනගෙන් කලින් ලබාගත් අවසරයක් නොමැතිව ඉදිරිපත් නොකළහැකිය.

මෙබඳු නඩුවක දී විත්තියේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු සැකෙවින් පහත දැක්වේ.

(1) කරන ලද ආරෝපණය සත්‍ය බව හා එය ප්‍රසිද්ධ කිරීම මහජන යහපත පිණිස වන බව,

(2) ප්‍රසිද්ධ කරන ලද කරුණු උසාවියක නඩු විභාගයක් පිළිබඳ වූ සත්‍ය වාර්තාවක් බව,

(3) ප්‍රසිද්ධ කරන ලද කරුණු රජයේ සේවකයකු සිය රාජකාර්යය ඉටුකිරීමේ දී හැසිරෙන ආකාරය පිළිබඳව හෝ මහජන ප්‍රශ්නයක දී කිසියම් කෙනෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳව හෝ අධිකරණයෙකින් තීරණය කරන ලද නඩුවක යුක්තියුක්ත බව පිළබඳව හෝ එම නඩුවට සම්බන්ධ සාක්කිකරුවන්ගේ නැතහොත් වෙනත් අයගේ ක්‍රියාකලාපය පිළිබඳව හෝ කර්තෘ විසින් මහජනයාගේ විනිශ්චයට භාජන කරන ලද කෘතියක (නිෂ්පාදනයක) සාර හෝ නිස්සාරභාවය පිළිබඳව හෝ අවංක සිතින් කරන ලද මත ප්‍රකාශයක් බව,

(4) එම වචන පාවිච්චි කරන ලද්දේ තමාගේ නීත්‍යානුකූල බලය යටතේ සිටින කෙනකුට එම බලයට අදාධ වන කරුණු සම්බන්ධයෙන් හොඳ අදහසින් දෝෂාරෝපණයක් කරනු සඳහාය යන බව,

(5) එම වචන පාවිච්චි කරන ලද්දේ යම්කිසිවකුට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන චෝදනාවකට විෂය වූ කරුණු සම්බන්ධයෙන් එම පුද්ගලයා කෙරෙහි නීත්‍යානුකූල බලය ඇති අයගෙන් කෙනකු වෙත එබඳු චෝදනාවක් හොඳ අදහසින් ඉදිරිපත් කරනු සඳහාය යන බව,

(6) එම වචන පාවිච්චි කරන ලද්දේ යමෙකුට කෙකුගෙන් පරිස්සම් වන ලෙස හොඳ අදහසින් දන්වා සිටීම සඳහාය යන බවත්, එය ද එසේ දන්වන ලද තැනැත්තාගේ හෝ ඔහු විසින් හිතවත්කමක් දක්වනු ලබන කෙනෙකුගේ ‍හෝ යහපත පිණිස නැතහොත් මහජන යහපත පිණිස අදහස් කරන ලද බවත් යන මේවායි.

කර්තෘ:බී.සී. ආලිප්

(සංස්කරණය:1963)