අප්සරාවෝ
ඉන්ද්‍රාලෝකවාසී දිව්‍යංගනාවෝ "අප්සරා" (අප්සරස්) නමින් හඳුන්වනු ලැබෙති. ක්ෂීරසමුද්‍රා මථනයෙහි දී ජලයෙන් පහළ වූ බැවින් හෝ ජලයෙහි හැසිරෙන බැවින් හෝ ජලය කෙරෙහි ඔවුන්ගේ ඇති ඇල්ම නිසා හෝ ඔව්හු එනම් වූහ. අන්තරීක්ෂයෙහි වසන ඔව්හු ගන්ධර්වයන්ගේ භාර්යාවන් සේ ද සලකනු ලබත්. සෘග්වේදයෙහි පස් තැනෙක අප්සරස් ශබ්දය සඳහන් වී ඇත ද ඔවුන් පිළිබඳ විස්තර එහි විරලය. කිසියම් අප්සරාවක් ඉතා ඉහළින් පිහිටි දෙව්ලොවෙහි වසන තම ආදරවන්තයා වූ ගන්ධර්වයා දෙස බලා සිනාසෙන බව එහි එක් සූක්තයෙකින් පැවැසේ. එහි ම දසවැනි මණ්ඩලයේ සඳහන් වන "අප්‍යායෝෂා" යන ශබ්දය ද අප්සරාවන් සඳහා යොදන්නට ඇතැයි ඇතැමෙක් සලකති. යජුර් වේදයෙහි අග්නි, සූර්ය, චන්ද්‍ර, වාත, යඥ, මනස් යන මොවුන් ගන්ධර්වයන් හැටියට සලකා ඕෂධී, මරීච්, නක්ෂත්‍ර, ජල, දක්ෂීණා හා සූක්ත පිළිවෙළින් ඔවුන්ගේ අප්සරාවන් හැටියට හඳුන්වා ඇත්තේය. අප්සරාවන්ගේ වාසය ජලයෙහි යයි ද මනුෂ්‍යයන්ගේ දර්ශනයෙන් තොරවීම සඳහා ඔවුන් ගංගාවන්හි හා විශාල ජලාශයන්හි ඉවුරුවල හැසිරෙන බව ද ජලයෙන් උඩට මතුවූ වහා ම නැවතත් ගිලෙන බව ද අථර්වවේදයෙහි සඳහන් වේ.
අප්සරාවන්ගේ ප්‍රභවය පිළිබඳ මත කීපෙකි. ක්ෂිරසමුදා මථනයෙන් ඔවුන් පහළ වූ බව රාමායණයෙහි සඳහන් වේ. අනියම් අප්සරාවන්ගේ ප්‍රභවය බ්‍රහ්ම සංකල්පයෙන් වූ බව ද අනිකුත් අප්සරාවන්ගේ උත්පත්තිය දක්ෂගේ දූන්ගෙන් වූ බව ද හරිවංශයෙන් පැවැසේ. පූරාණයන්හි දක්ෂගේ දියණියක් වූ කපිලාගෙන් ද වෙනත් ග්‍රන්ථවල බ්‍රහ්මයාගෙන් හෝ දක්ෂගේ දූන් වූ මුනි, ප්‍රාධා, කපිලා, අරිෂ්ටා යන සිවුදෙනාගෙන් හෝ දශප්‍රජාපතීන්ගෙන් හෝ ප්‍රජාපතිගේ ගාත්‍රයන්ගෙන් හෝ ඔවුන්ගේ ප්‍රභවය වූ බව සඳහන් වේ.
අප්සරා ගණ (කුල) තුදුසකැයි වායුපුරාණයෙහි හා කාදම්බරියෙහි ද සතක් යයි හරිවංශයෙහි ද සඳහන් කර තිබේ. යථෝක්ත කුල තුදුස අතුරෙන් දොළසක් බ්‍රහ්මන්, වේද, අග්නි, වායු, අමෘතාපේක්ෂාවෙන් කල ක්ෂීර සාගර මථන, ජල, හිරුරැස්, සඳරැස්, භූමි, විදුලි, මෘත්‍යූ, කාමදේව යන මොවුන්ගෙන් ද ඉතිරි කුල දෙක දක්ෂයගේ දූන් වූ මිනි, අරිෂ්ටා දෙදෙනාට ගන්ධර්වයන්ගෙන් ද උපන් බව පැවැසේ. පළමුවෙන් අප්සරා සංඛ්‍යාව එකොළොස් දෙනකුට සීමා විය. ඔව්හු වූකලි මෙනකා, සහජන්‍යා, පර්ණිනී, පුඤ්ජිකස්ථලා, ඝෘතස්ථලා, ඝෘතාචී, විශ්වාචී, උර්වශී, අනුම්ලෝචා, ප්‍රම්ලොචා, මනොවතී යන නම්වලින් හැඳින්වෙති. වෛදිකී යන නමින් ද හඳුන්වනු ලැබූ මේ එකොළොස්දෙන ශ්‍රෙෂ්ඨතම ගණයට ඇතුළත්ය. පසුකාලයෙහි ඇති වූ ග්‍රන්ථවල අප්සරාවන්ගේ සංඛ්‍යාව විවිධාකාරයෙන් දක්වා තිබේ. සමුද්‍රයෙන් පහළ වූ අප්සරාවන් සැටදහසෙකැයි රාමායණයෙහි සඳහන් වේ. සුබාවතී ලෝකයෙහි අප්සරාවන් 49,000ක් වසන බව සුබාවතීව්‍යුහ නමැති මහායාන ග්‍රන්ථයෙන් පැවැසේ. රාමායණ, මහාභාරත කාව්‍යයන්හි අප්සරාවන් 127 දෙනකු ගේ පමණ නම් ඇතුළත් කර තිබේ.
අප්සරාවන්ගේ ශරීර අතිශයින් ශෝභාසම්පන්නය. එතරම් විශිෂ්ටරූප සම්පත්තියක් ලැබීමට හේතුව ඔවුන් බ්‍රහ්මචාරීව විසීම යයි ද ස්ත්‍රීන් අතුරෙන් අප්සරාවන් හැමට ම වඩා ශෝභාසම්පන්න යයි ද මහාභාරතයේ සඳහන් වේ. සුවඳ වහනය වන ඔවුන්ගේ ශරීර ස්වරණමය මාල, මේඛලාදාම, පාසලඹ ආදි විවිධ ආභරණවලින් හා මල්දම්වලින් සරසා ඇතැයි පැවැසේ. ඔවුන්ගේ හිසකෙස් චූඩා පසක් ඇතිවන සේ ගොතා සරසා තිබේ. වීණා, වල්ලකී, මුරජ ආදිය ඔවුන්ගේ සංගීතභාණ්ඩය, මධුරස්වරයෙන් යුත් ඔව්හු ගී කීමෙහි ද නැටිමෙහි ද සමර්ථයහ. කාමුකගතිය, අනුකම්පා විරහිත බව, අනුරාගය හා ක්‍රීඩාවන්හි ඇල්ම ද ඔවුන් කෙරෙහි පිහිටි ගුණයෝය. අප්සරාවන් රජස් ගුණයේ උත්කෘෂ්ට කොටස් සමායෝගයෙන් ඇති වූ බව මනුස්මෘතියෙන් පැවැසේ. රජස් ගුණය රාගය ප්‍රකෘති කොට ඇති හෙයින් ඔවුන් තුළ ඇති කාමුක ගති ද එයින් ඇති වූ බව සැලකිය හැක. කාමුක ගතිය හා අනුකම්පා විරහිත බවට මේනකා නිදසුනෙකි. ඌර්ණායුගේ භාර්යා වූ ඕ තොමෝ සිය දූ වූ ප්‍රමද්වරාව උපන් ඇසිල්ලෙහි ම අත්හැර දැමුවාය. විශ්වාමිත්‍රගෙන් ඇයට ලැබුණ ශකුන්තලාවගේ ඉරණම ද එය විය. මලය පර්වතය, සරස්වතී නදී ඉවුර අසල පිහිටි මහේන්ද්‍ර, සුභූමිකා යන තීර්ථ, කාවේරි, යමුනා, ගංගා යන නදී, නන්දන උයන, මන්දාර, මුඤ්ජවත් යන ස්ථාන හා දේවසභා ද ඔවුන් නිතර ගැවසෙන තැන්ය. රුක්ඛචෙතිය (උදුම්බර, න්‍යග්‍රෝධාදිවෘක්ෂ) ද අප්සරාවන් වසන ස්ථාන බැවින් ඒවාට අනතුරු නොකළ යුතු බව මහාභාරතයේ සඳහන් වේ. රාමායණයෙහි සඳහන් වන හැටියට දේවපත්නීහු ඔවුන්ගේ යෙහෙළියෝ වෙති. වරක් මන්දාකිනී තඩාගයේ නිර්වස්ත්‍රව ස්නානය කරමින් සිටි අප්සරාවන් සමූහයක් ව්‍යාසගේ දර්ශන පථයට ලක්වීමෙන් ඔවුන් ලජ්ජාවට පත්වූ බව මහාභාරතයේ දැක්වේ. රම්භා නමැති අප්සරාව අමතා රාවණා කරන ප්‍රකාශනයක අප්සරාවන්ට ස්වාමි පුරුෂයන් නැති බවත් හැමදෙනාට ම ඔවුන් සාධාරණ බවත් කියැවෙයි. තාපසයන්ගේ තවුස්දම් බිඳීම, රූප ශෝභාවෙන් හා දීප්තිමත් ආභරණයන්ගෙන් ද නැටීමෙන් හා ගී කීමෙන් ද දෙවියන් සතුටු කිරීම, මනුෂ්‍යයන්ගේ විවාහ මංගලයන්හි රැගුම් පෑම, යාග ස්තම්භ කරා පැමිණ නැටීම, අනභිභවනීය අසුරයන් නැසීමට උපකාරීවිම ආදිය අප්සරාවන්ගෙන් සිදුවූ කාර්ය වශයෙන් පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. අක්ෂක්‍රීඩාවෙහි විශේෂ ඇල්මක් දක්වන ඔව්හු එයින් ජය ලබාදීමෙහි ද සමර්ථයහ. මනුෂ්‍යයන්ට උමතුව ආදි උපද්‍රව පැමිණවීමේ ශක්තියක් ද ඔවුනට තිබේ. එබඳු අවස්ථාවල දී ඔවුන් පහකිරීම සඳහා යොදන මන්ත්‍රෞෂධාදිය ද විශේෂයෙන් ගුග්ගුලු, පීලා, නලදී, ඖක්ෂගන්ධී, ප්‍රමන්දනී යන අප්සරාවන් පහකරන ක්‍රම ද අථර්වවේදයේ ඇත. යුද්ධයේ දී රණශූරයකු මිය ගිය විට අප්සරාවන් දහස් ගණනක් ඔහුගේ ආත්මය සෙවීමෙහි නිරතව අහසෙහි හැසිරෙමින් "ඒ රණශූරයා මගේ ස්වාමි පුරුෂයා වේ දැයි” එකිනෙකා තමතමන්ට කියා ගන්නා බව රාමායණයෙහි සඳහන් වේ. අප්සරාවන්ගේ ප්‍රධාන නැටුම් හල්ලීෂක නමින් ද ප්‍රධාන ගීතය චාලික්‍ය නමින් ද හැඳින්වේ. කෞෂිතකී උපනිෂද්හි මල්දම් හා සුවඳ වර්ගාදිය රැගත් අප්සරාවන් දහසක් බ්‍රහ්මඥයා කරා ගොස් ඔහුට සේවය කරන බව දැක්වේ.
පාලි සාහිත්‍යයෙහි ද දිව්‍යාංගනා (දේවදුහිතෘ) අර්ථයෙහි යෙදෙන අච්ඡරා ශබ්දයෙක් වේ. එය සංස්කෘත අප්සරස් ශබ්දයෙන් බිඳී ආවක් හැටියට සලකනු ලැබේ. විමානවත්ථු සංයුත්තනිකාය ආදි ග්‍රන්ථවල මේ අච්ඡරා ශබ්දය නොයෙක් විට යොදා තිබෙනු පෙනේ. පරෙවියන්ට බඳු පාද ඇති (කකුටපාදී) තව්තිසා දෙව්ලොවෙහි වසන අප්සරා විශේෂයක් ගැන උදානයේ සඳහන් වේ.
සිංහල සාහිත්‍යයෙහි දෙවඟනන් හා අප්සරාවන් සඳහා දිවසර, අසර ආදි ශබ්ද යොදා තිබේ. කව්සිළුමිණ, සීගිරි පද්‍ය, ධර්මප්‍රදීපිකා, උම්මග්ග ජාතක, ගුත්තිල කාව්‍ය යනාදියෙහි මෙබඳු යෙදුම් දක්නට හැකිය. අප්සරාවන් නිරූපණය කරන ලද චිත්‍ර හා කැටටයම් බොහෝ ගණනක් ඉන්දියාවේ පැරණි සිද්ධස්ථානවලින් පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ. ඔරිස්සා ප්‍රදේශයෙහි පූරි දිස්ත්‍රික්කයේ උදයගිරි (ක්‍රි.පූ.500ටත් ක්‍රි.ව.500 ටත් අතර) ලෙන්විහාරවල ද, භර්හුත් (ක්‍රි.පූ.3 වන සියවස) ථූපයේ කැටයම් අතර ද, අජන්තා (ක්‍රි.ව.5 වැනි සියවස) ගුහාවල ද, අයිහෝළේ ප්‍රදේශයේ දුර්ගා දෙවොලෙහි (ක්‍රි.ව.6 වැනි සියවස) ද, ජාවා දූපතේ බොරෝබුදුර් (ක්‍රි.ව.8 වැනි සියවස) විහාරයේ ද, කාම්බෝජයේ අංකෝර්වාට් (ක්‍රි.ව.12 වැනි සියවස) සහ අංකෝර් තෝම් (ක්‍රි.ව.13 වැනි සියවස) යන විහාරවල ද අප්සරා රූප කැටයම් දක්නට ලැබේ. මොවුනතුරෙන් භර්හුත් ථූපයේ ඉදිරියට නෙරා තිබෙන ආකාරයෙන් කර තිබෙන කැටයම් අතර විවිධාකාරයෙන් අත් ලෙලවමින් රැඟුම් පාන අප්සරාවන් නිරූපණය කර තිබේ. මිශ්‍රකේශී, අලම්බුෂා, සුභද්‍රා, පද්මාවතී යන අප්සරාවන් හැඳින්වීම සඳහා ඔවුන්ගේ නම් ද එහි කොටා තිබේ. සීගිරි චිත්‍රවලින් නිරූපණය කෙරෙන්නේ ද අප්සරාවන් බව එක්තරා මතයෙකි.
(සංස්කරණය:1963)