අබු-ල්-අලා
(අහමද් ඉබ්න් අබ්ද් අල්ලා අල් මාඅරි ) 973-1057. අරාබි ජාතික ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මෙතෙම නිදහස් චින්තකයෙක් ද උසස් සහිත්‍යධරයෙක් ද විය.
තනූක් නම් වූ දකුණු අරාබි ගෝත්‍රයට අයත් අබු-ල්-අලා උපන්නේ සිරියාවේ මාඅර්රත්හිය. ළමා අවදියේ ම අන්ධ වූ අබු-ල්-අලා එකල සිටම කවි තනන්නට පටන් ගත්තේය.
1009 දී බැග්ඩෑඩ් නගරයට ගිය ඔහුට එනුවර සාහිත්‍ය සංවිධානවලට පහසුවෙන් ම ඇතුළු වන්නට පිළිවන් වූයේය. ඔහු එකී ශාස්ත්‍රශාලාවල සහ දේවස්ථානවල සිය රචනා කියැවීය. ඔහුගේ මුල් අවදියේ පද්‍ය රචනාවන්හි මුතානාබිගේ ආභාසය බෙහෙවින් දක්නට ලැබේ. එහෙත් පසුව කරන ලද නිබන්ධන හුදෙක් ඔහුගේ ම නිර්මාණයෝය. උත්කර්ෂවත් උත්පාදන ශක්තියෙන් පිරිපුන් අබු-ල්-අලා අරාබි සාහිත්‍ය පිළිබඳ ප්‍රතිසංස්කරණ කාර්යයන්හි පුරෝගාමියෙකු බවට පැමිණියේය.
ඉඳුරා ම තවූස් වතක් පිරූ ඔහුගේ කවි ක්‍රමයෙන් එක ම මුහුණුවරක් ගන්නට වන. ඔහු විසින් සියලු ම ආගම් ඒකදේවවාදයක් කොට ගන්නා ලදි. ඔහු ස්වර්ගය පිළිබඳ සම්ප්‍රදායික සංකල්පය සරදමට ලක් කළේය. ජීවිතය පිළිබඳ ඔහුගේ දුක්මුසු හැඟීම් ඔහු විසින් ලියන ලද "ලසූම් මාලාම් යල්සාම්" නම් ග්‍රන්ථයෙහි මැනැවින් පිළිබිඹු වෙයි. මාංසභක්ෂණය ක්‍රෑරකම අඟවන්නක් බව සලකා අත්හළ හෙතෙම එය එය අපරාධයක් කොට තැකීය.
අබු-ල්-අලාගේ කෘතීන් අතුරෙන් පද්‍ය සංග්‍රහ දෙකක් සහ ලිපි සංග්‍රහ දෙකක් ද ප්‍රධාන වෙයි. 1029 පමණ කාලය දක්වා ලියන ලද කවි "සක්ත් උස් සාන්ද්" යන නමින් මුද්‍රණයෙන් ප්‍රචාරයට පමුණුවා තිබේ. දෙවන සංග්‍රහය වන "ලසූම් මාලාම් යල්සාම්" නොහොත් "ලසූම්ය්යාත්" නම් කෘතිය දුෂ්කර එළිසමවලින් බැඳි නිර්මාණාත්මක ශක්තිය විදහා පාන පරිණත නිබන්ධයෙකි. අනිත්‍යය, සදාචාරය සහ මරණය ආදිය පිළිබඳ ඔහුගේ අශුභවාදී හැඟීම් මෙහි දක්නට ලැබේ. මෙය ද මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවා තිබේ.
අබු-ල්-අලාගේ කෘති ඉතාලි මහා කවිය වූ ඩාන්ටේ කෙරෙහි බෙහෙවින් බලපෑවේ යයි මෙකල සමහරු අදහස් කරති.
(සංස්කරණය:1963)