අමෝඝවජ්ර
(704-774) අටවන සියවසේ මුල හරියේ දී පමණ ධර්මප්‍රචාරය සඳහා ඉන්දියාවේ සිට චීනයට ගිය මහායාන බෞද්ධාචාර්යවරයකි. චීනජාතිකයන් විසින් අමෝඝවජ්ර හඳුන්වනු ලැබුයේ පු-කොං යනුවෙනි. මෙතුමා බෞද්ධධර්මය ප්‍රචාරය කිරීම සඳහා භාරතයේ සිට චීනයට ගිය වජ්රබෝධි (බ.) මහතෙරුන්වහන්සේගේ ශිෂ්‍යයෙකි. මේ ගුරුගෝලයන් චීනයේ ප්‍රචාරය කළ මහායාන ධර්මය හැඳින්වුණේ මන්ත්රයාන නමිනි. මේ ධර්මය චීනයේ පතුරුවා හැරීමේ ගෞරවයෙන් වැඩියක් ම හිමිවන්නේ අමෝඝවජ්ර තෙරුන්ටය.
අමෝඝවජ්ර තෙර උතුරු ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයෙක උපන්නෙකැයි රාධාකෘෂ්ණන් මහතා පවසයි. පී.සී. බග්චි මහතාගේ මතයට අනුව මෙතුමා ලංකාවේ පදිංචිව සිටි බ්‍රාහ්මණ පවුලකට අයත් වූවෙකි. අමෝඝවජ්ර තෙර ලංකාවේ උපන් සිංහලයෙකැයි ශරච්චන්ද්‍ර දාස් මහතා ද අදහස් කරයි. උත්පත්තියෙන් හින්දු භක්තිකයකු වූ මෙතුමා පසළොස්වන වියේ දී වජ්රබෝධි තෙරුන් විසින් බුද්ධාගම කෙරෙහි පහදවනු ලැබීය. ස්වකීය ආචාර්යවරයා සමඟ ක්‍රි. ව. 720 දී පමණ චීනයේ කැන්ටොන් ප්‍රදේශයට ගිය අමෝඝවජ්ර ක්‍රි.ව.724 සිට 731 දක්වා චීනයේ ලොං-යා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටි බව කියති. මන්ත්රයාන හෙවත් වජ්රයාන පොත්පත් ඉන්දියාවෙන් එකතු කොට ගෙන චීනයට ගෙන ඒමට තම ගුරුවරයා ඉල්ලීමක් කළෙන් මෙතුමා ඉන්දියාවට එනු පිණිස ක්‍රි.ව.736 දී චීනයෙන් පිටත්විය. ඉන්දියාවට පැමිණ ටික කලක් එහි නතරව සිට සවැනි අග්බෝ රජුගේ (727-766) කාලයේ දී ලංකාවට ද පැමිණියේය. ලංකාවේ දන්ත විහාරයෙහි (?) තුන් වසක් මන්ත්රයාන ධර්මය හදාරමින් සිටි මෙතුමා හවන අග්බෝ රජුගේ තානාපතියකු වශයෙන් චීන අගරජු හමුවීමට නැවත චීනයට ගිය බව කියති. මේ ගමනේ දී සිංහල රජු විසින් චීන අධිරාජයාට පිරිනමන ලද බෞද්ධ පොත්පත් රාශියක් ද මෙතුමා විසින් චීනයට ගෙනයන ලදි. ක්‍රි.ව.746 දී දෙවන වර චීනයට පැමිණීමෙන් පසුව ද ධර්මප්රදාරයෙහි යෙදුණු අමෝඝවජ්ර තෙර මරණය දක්වා චීනයෙහි විසීය. ඉන්දියාවේ හා ලංකාවේ ගත කළ කාලය ඇතුළත දී මෙතුමා මහායාන ග්රන්ථ 500 ක් පමණ එකතු කර ගත් බව ද, ඒවා චීනයට ගෙන ගිය බව ද මෙතුමා විසින් චීන අධිරාජයාට ලියන ලද ලිපියක සඳහන් වෙයි. මෙතුමාගේ අතින් මහායාන බෞද්ධ ග්රන්ථ 77ක් ම චීන භාෂාවට පරිවර්තනය වුණු බව ඉහත සඳහන් කළ ලිපියෙහි ම සඳහන් වේ. අමෝඝවජ්ර තෙරුන්ගෙන් සිදු වූ සේවයට ගරු කිරීමක් වශයෙන් චීන අධිරාජයා විසින් එතුමාට ප්රඥානිධි හා ත්‍රිපිටක භදන්ත යන උපාධි දෙක පිරිනමන ලද බව ද කියති.
(සංස්කරණය:1963)