අඹන්වලරාළ

සිංහල විශ්වකෝෂය වෙතින්
09:35, 7 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දෙවැනි රාජසිංහ (1635-1687) රජුගේ කාලයෙහි සිටි උඩරට ජ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දෙවැනි රාජසිංහ (1635-1687) රජුගේ කාලයෙහි සිටි උඩරට ජනප්‍රධානයෙකි. මොහු කිවියකු හැටියට ද ප්‍රසිද්ධව සිටි බව කියනු ලැබේ. 1664 දී නිලඹේ නුවර දී රජුට විරුද්ධව හටගත් කැරැල්ලේ නායකයා ද මෙතෙමේය.

රාජසිංහ රජුගේ දරුණු ක්‍රියාමාර්ගය නිසා තදින් ම කිපුණු වැසියෝ ඔහු මරා දැමීමට නොයෙක් විට තැත් කළහ. මහනුවර ඇසළ පෙරහර තහනම් කිරීම රජු කෙරෙහි මහජනයාගේ අප්‍රසාදය වැඩි වීමට හේතු විය. 1664 දී උදා වූ වල්ගා තරුවක් දැක කලබල වූ වැසියන් රජු මරා එතුමාගේ පුත්‍රයාට (විමලධර්මසූර්‍ය්‍ය කුමරුන්හට) රාජ්‍යය පවරා දීමට තීරණය කර ගත්හයි රොබට් නොක්ස් සඳහන් කරයි. අඹන්වලරාළ ප්‍රධාන තවත් නායකයන් කීප දෙනෙකුන් ද නුවර ආරාමයක නායක තෙර නමක් ද මේ කුමන්ත්‍රණයෙහි පුරෝගාමී වූ බව කියනු ලැබේ. මේ සියලුදෙන ලේ නෑයන් බව සඳහන් වේ. එසේ ම මෙය රට පුරා පැතිර ගිය පෙරළියක් නොව ප්‍රධානීන් කීප දෙනකුන් විසින් රාජසභාව ඇතුළත ම ඇති කරන ලද කැරැල්ලක් පමණි. කැරැල්ල ඇරඹූ නායකයන්ගේ මුඛ්‍ය අදහස වූයේ කුමරුන්ට ඔටුනු පලඳවා ඔහු රූකඩ රජකු හැටියට තබාගෙන රජයේ බලතල අල්ලා ගැනීමයි.

ස්වභාවයෙන් ම රෞද්‍ර ගතිගුණවලින් යුත් රාජසිංහ රජතුමා, ඕලන්දක්කාරයන්ගේ වංචාවන් නිසාත් ඔවුන්ගෙන් පළිගැනීමට නොහැකි වීම නිසාත් මේ කාලයෙහි බලවත් සේ කෝපයට පත්ව සිටියේය. ඔහුගේ කායික ශක්තිය මෙන් ම මානසික ශක්තිය ද බෙහෙවින් හීන වූ හෙයින් හේ තම විවේකස්ථානය හා ආරක්ෂාස්ථානය වූ නිලඹේ නගරයට වාසය පිණිස ගියේය.

දිනෙක මධ්‍යම රාත්‍රියෙහි අඹන්වලරාළ හා තවත් දිශාපතීන් කීප දෙනකුන් ඇතුළත් දාමරිකයන් සමූහයක් නිලඹේ මාලිගාවට වැද මුර සෙබළුන් ද රජු ද මැරීමට තැත්කළහ. එහෙත් පහන් වන තුරුත් සතුරු පිරිසට රජුට ළං වන්නට බැරි විය. රජ තෙමේ පිරිවර සමඟ හඟුරන්කෙත අසල වූ ගලඋඩ නම් ගමට පලා ගියේය. රජු මැරීමේ අදහස ව්‍යර්ථ වූ පසු කැරලිකරුවෝ මහනුවර මාළිගයෙහි මව සමඟ සිටි කුඩා කුමරුන් සිංහාසනාරූඪ කරනු වස් එහි ගියහ. ‍පසළොස් විය නොඉක්මවා සිටි කුමරා මේ පුවත අසා භීතියට පත් වූයේය. රජුගේ සොහොයුරිය කුමරු සමඟ ගලඋඩට ගියෙන් කලහකරුවෝ, තම අදහස් මුදුන් පමුණුවාගත නොහැකි බව දැන මහත් කැළඹිල්ලට පත් වූහ. ඉක්බිති ඔවුහු රාජසිංහ රජු විසින් සිර කරනු ලැබ සිටි යුරෝපීයයන් තමන්ගේ පැත්ත ගනිතැයි ද එය තම ව්‍යාපාරයට මහත් රුකුලකැයි ද සිතා ඒ යුරෝපීයයන්ගේ සිත් ඇද ගන්නා අදහසින් ඔවුනට මුදල් හා වස්තු ආදිය බෙදා දුන්හ; නිදහස දෙන බටව ප්‍රතිඥා ද දුන්හ. එහෙත් යුරෝපීයයන්ගේ සහාය නොලැබී ගියෙන් කලහකරුවෝ හොඳට ම අධෛර්‍ය්‍යයට පත් වූහ. ඔවුනොවුන් ම ඇන කොටා ගන්නට වූයෙන් ඇතැමෙක් තම සගයන් අතින් ම මරු මුවට පත් වූහ. රජතුමා ද විරුද්ධවාදීන් හැකි තරම් මරා, අඹන්වලරාළ අල්ලා, දරුණු වධ හිංසා පමුණුවා මරනු වස් ලන්දේසීන් වෙත යැවීය.

සිදු වූයේ අනෙකකි. ලන්දේසීහු ඔහු ඉතා කරුණාවෙන් පිළිගෙන සැලකිලි දැක්වූහ. උඩරට තොරතුරු දැන ගැනීමට මං සොය සොයා සිටි ලන්දේසීන්ට අඹන්වලරාළ පැමිණීම දේවවර ප්‍රසාදයෙන් වූවක් බඳු විය. උපායෙහි ශූර අඹන්වල රාළ ඔවුන් රවටා නොයෙක් සංග්‍රහ ලැබීය.

කවියකු වශයෙන් අඹන්වලරාළ විසින් කරන ලද ව්‍යක්ත ප්‍රබන්ධ රාශියෙකි. ලන්දේසීන් යටතේ සිටි සූරිය මුත්තය්යා නම් නිලධරයකු තමන්ට ආශීර්වාද වශයෙන් බඳනා ලද කවි පන්තියක් අසා පැහැදී අඹන්වලරාළට රන්පගෝදි පන්සියයක් තෑගි කළ බව කියති. මොහුගේ කවි අතර සිරිඟර රසයෙන් අනූන කවි ද විනෝද කවි හා තේරවිලි කවි ද විය.

අඹන්වලරාළ නොයෙක් අවස්ථාවන්හි විවිධ කරුණු අරභයා කියන ලද කවි රැසක් තවමත් නොනැසී පවතී.

ස්ත්‍රියක වරලස පීරා බඳිනු බලා සිට කී කවියක් මෙසේයි:

පළ කළ පතළ කළ කත මගට යන ක ල

පළ දළ පතළ එන තන රත මඬල බ ල

තල මල සඟළ වත වදනත උර පළ ල

බල දළ ලකළ වමතට ගවසන වර ල


තේරවිලි කවක් මෙසේයි:


පිලිකන්නේ ගොරවන්නේ ගෙට එන් ට

ගෙයි ඉන්නෝ රැක ඉන්නේ බැට දෙන් ට

මළ මිනිහා දියලන්නේ පණ ගන් ට

නොදොඩන්නේ බොරු බැරි නම් තෝරන් ට


ඕලන්දකාරයන් විසින් දෙන ලද කොල්ලුපිටියේ ඉඩමක පදිංචි වී පොල් වැවීමට පටන් ගත් අඹන්වලරාළ සිය අවසාන කාලය ගත කෙළේ වැවිලිකරුවකු හැටියටය. මෙතෙමේ කොල්ලුපිටියේ දී ම අවසන් හුස්ම හෙළීය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඹන්වලරාළ&oldid=2282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි