අයවැය ලේඛනය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:52, 7 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නම් ඉදිරි මුදල් වර්ෂය පිළිබඳව ආණ්ඩුව පාර්ලිම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නම් ඉදිරි මුදල් වර්ෂය පිළිබඳව ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනා අන්තර්ගත ප්‍රකාශනයයි. එම අවුරුද්දේ දී ආණ්ඩුවට අවශ්‍ය වන ආදායම ලබා ගන්නා මාර්ග ද ඒ ප්‍රකාශනයෙහි දැක්වේ. වැයට සරිලන අයක් දැක්වෙන විට ඊට "සමබර අයවැය ලේඛනයකැ" යි කියති; වැය අයට වඩා වැඩි නම් "අයවැය ඌනතාවක් ඇතැ"යි කියනු ලැබේ.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අවුරුද්දක් පාසා සිදුවන කාර්යයකි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ඇති හැම රටක ම "අයවැය ලේඛන දිනය" ඉතා ම වැදගත් දිනයක් හැටියට සැලකේ. එදාට මුදල් ඇමතිවරයා අගමැතිතුමන් පවා මුළු ගන්වමින් කැපී පෙනෙයි. වර්ෂයක් පාසා අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ සිද්ධිය පාර්ලිමේන්තු ක්‍රමයේ මූලික පදනමය. එංගලන්තයේ හා වෙනත් බොහෝ රටවල අයවැය ලේඛනය නීතිගත වන්නේ විසර්ජන පනතක් (Appropriation Act) වශයෙන් නැතහොත් විසර්ජන පනතක් හා මූල්‍ය පනතක් (Finance Bill) වශයෙනි.

අවුරුද්දක් පාසා අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතු වීම පාර්ලිමේන්තුව ප්‍රතිෂ්ඨිත වී ඇති පදනමයි. "දුක්ගැනවිලිවලට සහනයක් ලැබෙන තෙක් (මුදල්) සැපයීමක් නොකරමු" යන උද්ඝෝෂනය නිසා එංගලන්තයේ පාර්ලිමේන්තුව නිතිපතා කැඳවීම ඒකාන්තයෙන් කෙරෙන්නක් බවට පත් වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු සංස්ථාව විකාසයට පත් වූ බවත් කීම මෙහිලා ප්‍රමාණවත්ය. යථාර්ථයෙන් ම, පාර්ලිමේන්තුවේ පැවැත්ම යුක්ති යුක්ත බවට පමුණුවාලන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් සම්මත කළ යුතු වාර්ෂික අයවැය ලේඛනය යයි නොබා කිව හැකිය.

මුල් කාලයෙහි, අවුරුද්දක් පාසා පාර්ලිමේන්තුව රැස්විය යුතු වූයේ අයබදු පැනවීම සඳහා වුව ද පසු කාලවල දී වැය සම්මත කිරීම වඩාත් වැදගත් කාර්‍ය්‍යය හැටියට සැලකීම සිරිත විය. ආදායම් බද්ද, භාණ්ඩාගාරික බදු හෙවත් පිස්කල් බදු, ලාභ බද්ද ආදි බදු යෝජනා විශේෂ පනත්වල අන්තර්ගත කොට ඇති හෙයින් ද එබැවින් පාර්ලිමේන්තුව ඒවා පිළිබඳව වෙනසක් කරන තෙක් එම ආදායම් එකතු කිරීම නොකඩවා කෙරීගෙන යන හෙයින් ද පාර්ලිමේන්තුව රැස්නුවූවත් ආණ්ඩුවකට පාලනය පවත්වාගෙන යා හැකිය. පාර්ලිමේන්තුව යටත්පිරිසෙයින් අවුරුද්දකට එක් වරක් වත් රැස්වීම අවශ්‍ය ම වන්නේ පඩිනඩි ගෙවීම ඇතුළු රජයේ විවිධ සේවා සඳහා මුදල් වෙන් කරවා ගත යුතු නිසාය. වැය යෝජනා සම්මත කරනු ලබන්නේ නියම වශයෙන් ම අවුරුද්දකට පමණි.

යුද සේවාවලට ද සිවිල් හා පාලන සේවා ආදියට ද අවශ්‍ය මුදල් ඊළඟ මුදල් වර්ෂය ආරම්භ වන්නට පෙර පාර්ලිමේන්තුව මගින් යථා පරිදි සම්මත නුවුවහොත් රජයේ කාර්‍ය්‍ය ඇනහිටීමට පිළිවන ආණ්ඩුව අයබදු එකතු කරගෙන සිටියත්, පාර්ලිමේන්තුව ඒ ඒ සේවාව සඳහා වියදම් කළ යුතු මුදල සම්මතයක් (vote) පාසාත් ශීර්ෂයක් පාසාත් අංකයක් පාසාත් නියම වශයෙන් වෙන් කොට නැත් නම්, ආණ්ඩුවට එක ම සතයක් වත් නීත්‍යනුකූල ව වියදම් කළ නොහැකිය. ආණ්ඩුවක් මෙල්ල කර සිය වස‍ඟෙහි තබා ගැනීමට පාර්ලිමේන්තුවට පිහිට වන්නේ මෙසේ වැය මුදල් වෙන්කිීම මිස ආදායම් මාර්ග සපයා දීම නොවේ. හැම රටක ම අයවැය ලේඛනය සාමාන්‍යයෙන් අවුරුද්දක කාල සීමාවකට පිළියෙල වන්නකි. මේ සිරිත අනුගමනය නොකරන එක ම රට ස්පාඤ්ඤය යයි කිව හැකිය. එහි අයවැය ලේඛනය අවුරුද්දකට වලංගුය. අවුරුද්ද තුළ දී ඇතැම් විට පහළ විය හැකි හදිසි අවශ්‍යතාවන් හෝ විශේෂ අවශ්‍යතාවන් සඳහා අතුරු අයවැය ලේඛන ඇතිවිය හැකිය. එසේ වුව ද, වාර්ෂික අයවැය ලේඛනය දොළොස් මසකට සීමා විය යුතු බව කිසි සේත් නොවෙනස් වේ. මේ තත්වය, ඒ ඒ රටවල ඒකවර්ෂාධික කාලයක් තුළ ක්‍රියාවේ යෙදවීමටනියම කරගෙන තිබෙන පස් අවුරුදු, සාවුරුදු හෝ දස අවුරුදු යෝජනා ක්‍රම වැනි සංවර්ධන වැඩ සටහන් නිසා වෙනස් වී නැත. මෙකී සංවර්ධන වැඩ සටහන් පිළිබඳ වූ සැලැස්ම සම්මතයක් වශයෙන් වෙනස් වන්නට ඉඩ නොහරින අතර ම ඒ වැඩ සටහන් අයවැය ලේඛනයේ දී වාර්ෂික පරීක්ෂණයකට භාජන වෙයි. එක එක අවුරුද්දෙහි වියදම් වෙතැයි බලාපො‍රොත්තු වන මුදල ඒ අවුරුද්දේ අයවැය ලේඛනයට අඩංගු වෙයි. සැලැස්ම සඳහා මුලින් නියම කරගන්නා ලද මුළු වියදම සැලැස්මට ගතවන කාලයේ අවසානය වන විට වියදම් කිරීමට අරමුණු කරගත් මුදල හැටියට වෙනක් නැතුව එසේ ම තිබෙන්නට හරිනු ලැබේ.

මුදල් වර්ෂය: අයවැය වර්ෂය හෙවත් මුදල් වර්ෂය ලිත් අවුරුද්දෙන් පටන් ගෙන ලිත් අවුරුද්ද අවසානයේ දී අවසන් විය යුතු යයි නියමයක් නොමැතියි. ඇතැම් රටවල මුදල් වර්ෂය ජනවාරි පළමුවන දා ඇරඹි දෙසැම්බර් 31 වන දා අවසන් වෙයි. සමහර රටවල මුදල් වර්ෂය අප්‍රේල් පළමු වන දා ඇරඹී මාර්තු 31 වන දා අවසන් වෙයි. ලංකාවේ මුදල් වර්ෂය ඔක්තෝබර් පළමුවන දා ආරම්භ වී සැප්තැම්බර් 30 වන දා අවසාන වන්නේය. මෙසේ රටින් රට මුදල් වර්ෂය එක එක දාට ආරම්භ වීමට තර්කානුකූල කිසිම හේතුවක් නැත* ලිත් අවුරුද්ද ආරම්භ වී තුන් මසක් ගත වූ තැනේ දී රටේ වෙළහෙළඳාම, බැංකු කටයුතු හා අනිකුත් ව්‍යාපාර පිළිබඳව වඩාත්

• සමහර රටවල මුදල් වර්ෂය පහත දැක්වේ.

ජනවාරි 1 වන දා පටන් දෙසැම්බර් 31 වන දින තෙක්:-

ඇල්බේනියාව, අවුස්ත්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, බල්ගේරියාව, චෙකොස්ලෝවේකියාව, පින්ලන්තය, ප්‍රංසය,අයිස්ලන්තය, ඉන්දුනීසියාව, ලක්සම්බ'ග්, මොනාකෝ, නෙදර්ලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, සිරියාව, සෝවියට් රුසියාව, වියෙට්නාමය, යුගෝස්ලාවියාව.

අප්‍රේල් 1 වන දා පටන් මාර්තු 31 වන දා තෙක්:- ඩෙන්මාර්කය, ජර්මනයි (සමූහාණ්ඩු), මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව, අයර්ලන්තය, ඊශ්‍රායෙලය, ජපානය, පකිස්ථානය.

ජූලි 1 වන දා පටන් ජුනි 31 වන දා තෙක්:- ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, මිසරය, ඉතාලිය, ලාඕස්, නෝර්වේ, පිලිපීන් දූපත්, සුඩානය, ස්වීඩනය.

ඔක්තෝබර් 1 වන දා පටන් සැප්තැම්බර් 30 වන දා තෙක්:- බුරුමය, ලංකාව

මාර්තු 1 වන දා පටන් පෙබරවාරි අවසානය තෙක්:- තුර්කිය.

විස්තර දැනගන්ට ලැබෙනවා ඇතැයි ද එබැවින් ඒ කාලය වන විට රටේ මුදල් තත්වය පිළිබඳ වඩාත් නිවැරදි විස්තරයක් කිරීමට එංගලන්තයේ මුදල් ඇමතිවරයාට හැකි වෙනවා ඇතැයි ද මුල දී කල්පනා කරන ලද නමුත්, ඒ මතය මුළාවක් බව ඔප්පු වී ඇත. මක්නිසාද යත්, රටේ ව්‍යාපාර ද අලුත් මුදල් වර්ෂයට ගැළපෙන පරිදි හැඩ ගැසී එම වර්ෂයට අනුරූප වන පරිදි එක් එක් ව්‍යාපාරයනට අදාළ තොරතුරු ද සම්පාදනය කර ගන්නා බැවිනි. මුදල් හා වෙනවත් කරුණු පිළිබඳ සංඛ්‍යාලේඛන වටහා ගැනීම අතිනුත් අනිකුත් රටවල් සමඟ ඒවා සංසන්දනය කිරීම අතිනුත් තරමක අවුලක් ඇති කරනු විනා, ලිත් වර්ෂයෙන් පිට පැනීමෙන් ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නොපෙනේ.

මුදල් වර්ෂය හා ලිත් වර්ෂය එකිනෙකට වෙනස් වීමට තවත් හේතුවක් නම් මුදල් වර්ෂය ආරම්භ වන්නට කලින් අයවැය ලේඛනය සම්මත කරවා ගන්නට බැරි වුවහොත් තාවකාලික අයවැය ලේඛනයක් හෙවත් අක්ගැනුම ශීර්‍ෂයක් සම්මත කරවා ගැනීම අවශ්‍ය බැවින්, එබඳු අවස්ථාවකට ඉඩ නොතැබීමට තිබුණු ආශාවයි. එහෙත් තාවකාලික අයවැය ලේඛන ඉදිරිපත් කරන්නට සිදුවීමෙන් වැළකී සිටීමට හැම විට ම පුළුවන් කමක් තිබී නැත. මුදල් වර්ෂයේ ආරම්භයට පසු මහජන මන්ත්‍රී මණ්ඩලයට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයෙහි සිරිතක් වී තිබේ.

1960 දී පිට පිට ම මහමැතිවරණ දෙකක් පැවැත්වුණු බැවින් ලංකාවෙහි පාර්ලිමේන්තු ඉතිහාසයේ දී හා හා පුරා කියා, තාවකාලික අයවැය ලේඛන දෙකක් සම්මත කරන්නට සිදුවිය. තාවකාලික අයවැය ලේඛනයක් සම්මත කරවා ගැනීම සඳහා හැම රටක ම පාහේ විධිවිධාන යොදා ඇතත්, බොහෝ රටවල් කලට වේලාවට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන්, එබඳු තාවකාලික අයවැය ලේඛන සම්මත කරවා ගැනීමේ අවශ්‍යතාව මඟ හරවා ගනී. එහෙත් ඇල්බේනියාව, බල්ගේරියාව, ජර්මනිය (සමූහාණ්ඩුව), මොනාකෝ, නෙදර්ලන්තය, පකිස්ථානය, පෝලන්තය, එක්සත් අරාබි සමූහාණ්ඩුව, සෝවියට් රුසියාව හා වියෙට්නාමය ආදි ඇතැම් රටවල පාර්ලිමේන්තුව නොවිමසා ම අවශ්‍ය වැය මුදල් සපයා දීමට විධායකයට බලය ඇත්තේය. එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ලංකාව, ඩෙන්මාර්කය, පින්ලන්තය, ප්‍රංසය, මහා බ්‍රිතාන්‍යය, අයිස්ලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, ඊශ්‍රායෙලය, ඉතාලිය, ජපානය, ලක්සම්බ'ග්, නෝර්වේ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය හා යුගෝස්ලාවියාව ආදි රටවල, අයවැය ලේඛනය පාර්ලිමේන්තුව මගින් සම්මත කරවා ගැනීම අවශ්‍යමය.

අයවැය ලේඛනය සම්පාදනය කිරීම: අයවැය සකස් කිරීමේ දී හැම රටක් ම එක ම පිළිවෙළක් අනුගමනය නොකරයි. ඒ ඒ රටවල් ඔවුනොවුන්ගේ ඓතිහාසික විකාසයට අනුරූප වන පරිදි ස්වීය ක්‍රමයක් යොදා ගෙන තිබේ. හැම රටක ම අයවැය ලේඛනය සම්පාදනය කරන ක්‍රමය ගැන විස්තර තොරතුරු නොදක්වා ඒ ඒ ක්‍රම දළ වශයෙන් වර්ග කොට, එක් එක් වර්ගයෙහි විශේෂ ලක්ෂණ පමණක් පහත සඳහන් කරමු. යම් රටකට අභ්‍යන්තරයෙන් විශේෂ යයි කිවයුතු ලක්ෂණ ඇත් නම්, ඒවා ද දක්වනු ලැබේ.

අයවැය ලේඛන ක්‍රමය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අභ්‍යන්තර සංයුතියට අනුරූප වේ යයි කීම සාමාන්‍යයෙන් නිවැරදිය. වගකීම සහිත අමාත්‍ය මණ්ඩලයකින් යුත් ඇන්ග්ලෝ-සැක්සන් පාර්ලිමේන්තු ක්‍රමයෙහි අයවැය ලේඛනය සකස් කරන පිළිවෙළ වගකීම් රහිත අමාත්‍ය මණ්ඩලයකින් යුත් එක්සත් ජනපදයේ ක්‍රමයට වඩා වෙනස් වීම මේ බවට නිදසුනකි. තව ද යුරෝපා මහාද්වීපයෙහි බොහෝ රටවල අනුගමනය කරන ප්‍රංස ක්‍රමයෙහි ඊට ම විශේෂ වූ ඇතැම් ලක්ෂණ ඇත. සෝවියට් ක්‍රමයෙහි අන් කිසි ම රටක නැති ලක්ෂණ දක්නට ලැබේ.

දැන් මේ විවිධ ක්‍රම පුළුල් වශයෙන් පරීක්ෂා කර බලමු. ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩල රටවල් අනුගමනය කරන්නේ එංගලන්තයේ ක්‍රමයයි. මේ ක්‍රමයෙහි දී අයවැය ලේඛනය සකස් කිරීම ඇරඹෙන්නේ මුදල් වර්ධය පටන් ගැනීමට මාස ගණනකට කලින්ය. ඉදිරි මුදල් වර්ෂය සඳහා තම තමන් ඉදිරිපත් කරන අයවැය යෝජනා අසවල් දිනට කලින් ඉදිරිපත් කළ යුතු යයි ඒ ඒ දෙපාර්තමේන්තුවලට නියම කොට භෘණ්ඩාගාරය චක්‍රලේඛනයක් යවයි. රට මුදල් අතින් අමාරු තත්වයක සිටී නම්, අරපිරිමැස්ම අවශ්‍ය බවට නියමිත උපදෙස් ද දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් අනුගමනය කළ යුතු යයි මුදල් ඇමතිවරයා නිකුත් කරන වෙනත් නියෝග ද යට කී චක්‍රලේඛනයේ ම අඩංගු වේ. එක එක දෙපාර්තමේන්තුව තම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට, තමන් ක්‍රියාවේ යොදවන්ට අදහස් කරන වැඩ පිළිවෙළට ගැළපෙන පරිදි ඊළඟ අවුරුද්ද සඳහා තමන් ඉදිරිපත් කරන වැය යෝජනා සකස් කරයි. එක එක දෙපාර්තමේන්තුවේ වැය යෝජනා නියමිත දිනට හෝ ඊට කලින් හෝ භාණ්ඩාගාරය අතට පත්වේ. ඉන් පසු භාණ්ඩාගාරය ඒවායින් යම් තැන් කැපිය හැකි නම් නැතහොත් අඩු කළ හැකි නම් ඒවා කපා හෝ අඩු කොට මුදල් පිරිමසා ගන්නා අදහසින්, හැම වැය යෝජනාවක් ම සියුම් ලෙස පරීක්ෂා කරයි. මේ කටයුත්තේ දී දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්චා කරනු ලැබේ.

මේ අවස්ථාවේ දී දෙපාර්තමේන්තු ප්‍රධානීන් තමන්ට සැබැවින් ම වුවමනා තරමට වඩා මුදල් ඉල්ලා සිටීම ද පසුව භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ බල කිරීම පිට ඒ මුදල් ප්‍රමාණය තරමක් අඩු කිරීමට කැමැති වීම ද සාමාන්‍යයෙන් කෙරෙන දෙයකි.

යම්හෙයකින් ඉදිරිපත් කොට ඇති අයවැය යෝජනා පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා භාණ්ඩාගාරය අතර මතභේද පැන නැඟුණොත්, දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයා හා මුදල් ඇමතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමෙන් ඒ මතභේද විසඳා ගත හැකිය. ඔවුන්ගේ සාකච්ඡාවන්ගෙනුත් තේරුම් බේරුම් කර ගත නොහැකි මතභේද විස‍ඳෙනුයේ කැබිනට් මණ්ඩලයේ දී ය.

දෙපාර්තමේන්තුවල සියලු ම යෝජනා කපා කොටා අලුතින් සකස් කළ පසු, භාණ්ඩාගාරය එම යෝජනා එකලස් කොට මුදල් ඇමතිවරයා වෙත ඉදිරිපත් කරයි. ඒ සමඟ ම එවකට පවත්නා අයබදු අනුව රටේ ආදායම පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබේ. මේතාක් විස්තර කරන ලද්දේ අයවැය ලේඛනයේ හෙවත්, වඩාත් නිවැරදි ලෙස කියතොත්, ඉදිරි මුදල් වර්ෂය පිළිබඳ විසර්ජන කෙටුම්පතේ මුල් අවස්ථා කීපයකි. ප්‍රථමයෙන් ම කැබිනට් මණ්ඩලය මේ යෝජිත කෙටුම්පත පදනම් කොට සාකච්ඡා පවත්වා ආණ්ඩුවේ සාමාන්‍ය ක්‍රියා මාර්ගය සකස් කරනු සිරිති. මේ පුළුල් ප්‍රතිපත්තිය අනුව ඇතැම් කාර්ය කලාප සම්බන්ධයෙන් කෙටුම්පතේ සීමාසහිත හෝ මූලික වෙනස්කම් ඇති කරන්නට හෝ එය වඩාත් පුළුල් කරන්නට හෝ සිදුවිය හැකිය. මෙසේ කෙටුම්පත වෙනස් කරනු ලබන්නේ මුළු කැබිනට් මණ්ඩලය තුළ හෝ නැතහොත් අගමැති, මුදල් ඇමති, ප්‍රස්තුත කාරණය හා සම්බන්ධ ඇමති යන මේ තිදෙනා අතර කෙරෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. එක් එක් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ට රිසියෙන පිළිවෙතක් අනුගමනය කරයි.

ආදායම් ඇස්තමේන්තු: එක් එක් අමාත්‍යාංශයේ වැය යෝජනා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත වුණු පසු ඊළඟට එවකට පවත්නා තීරු ගාස්තු ආදායම් බදු සුරාබදු යනාදිය අනුව ආදායම් ඇස්තමේන්තු ගැන සාකච්ඡා කරනු ලැබේ. වැය යෝජනා හා ආදායම අතර ඇති පරතරය පුරවා ගත යුතු වන්නේඅලුතින් බදු පැනවීමෙනි. පුද්ගලයන් හා පෞද්ගලික ව්‍යාපාර සමාගම් සාමාන්‍යයෙන් කරන්නේ තමන්ට ලැබෙන ආදායම ගැන පළමුකොට සලකා බලා, ඒ අනුව වැය නියම කරගැනීමයි. එහෙත් වත්කමේ පමණ දැන වියදම් කළ යුතුය යන උපදේශය ජාතික මුදල් කටයුතුවල දී ගරු කරුන නොලැබේ. මෙහි දී සාමාන්‍ය සිරිත වනුයේ වත්කමට සීමාවක් නැතැයි සිතාගැනීම හෝ ඒ සීමාව ‍ොකතෙක් දැයි කලින් නියම කර නොගැනීමයි. එසේ වුව ද, සීමාවක් නැතිව වියදම් කිරීමට අවසරයක් නොලැබේ; වියදම් කළ හැක්කේ කොතෙක් ද යන්න ගැන සාමාන්‍ය හැඟීමක් අමාත්‍යාංශවල වැය යෝජනා සාකච්ඡා කිරීමේ දී හැම විට ම බලපාන්නේය.

ආදායම හා වියදම අතර පවත්නා පරතරය පිරවීම සඳහා විධි විධාන යොදා ගැනීමට ඉඳුරාම වග බලා ගත යුතු පුද්ගලයා මුදල් ඇමතිවරයාය. එම විධි විධාන කවරේද යනු ඔහු ඉතා පරිස්සමින් රැක ගන්නා රහසකි. අයවැය රහස් පිටවීම වැළැක්වීමට යෙදිය හැකි හැම උපක්‍රමයක් ම යොදනු ලැබේ. අලුත් බදු කවරේද යන්න හෝ එසේ නැතහොත් බදු අය නොකරන්නේ කවර දේවලින් ද යන්න හෝ කල්තියා දැන ගන්ට ලැබුණොත්, නොයෙක් පිළිවෙළේ ජාවාරම් ඇති වී, රහස් දැනගත් ටික දෙනාට හිටිහැටියේ ලක්ෂ ගණන් හම්බ කරගන්ට හැකි වෙනවා ඇත. එබැවින් මුදල් ඇමතිවරයා අන්තිම මොහොත වන තෙක් අමාත්‍ය මන්ඩලයේ සිය සගයන්ට පවා ඒ රහස් හෙළි නොකරයි. මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා විසින් අගමැති තුමන් විමසිය යුතු යයි නියමයක් නැති නමුත්, ඔහු අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගන්ට මැළි නොවෙයි. සච්චාරිත්‍රයක් හැටියට ද සම්ප්‍රදායක් හැටියට ද මුදල් ඇමතිවරයා අග්‍රාණ්ඩුකාරතුමාට අයවැය යෝජනා දැන්වීම පිණිස ඔහු හමුවෙන්ට යයි. ඊළඟට මහා බැංකුවේ ප්‍රධානීන් හමුවෙන්ට යෑම ද චාරිත්‍රය වේ. අයවැය ලේඛන කථාවට පැයක් පමණ කලින්, අලුත් බදු මොනවාදැයි සෙසු ඇමතිවරුන්ට දැන්වීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමක් පවත්වනු ලැබේ. මෙසේ අලුත් බදු පිළිබඳ රහස දන්නෝ ඉතා ම ස්වල්ප දෙනෙකි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත විසර්ජන පනත ඉදිරිපත් කිරීමට ස්ථිර වශයෙන් නියමිත දිනයක් නැත. අසාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ අලුත් වාරය ආරම්භ වන්නේ මැයි නැතහොත් ජුනි මාසයේය. ස්තුතියෝජනා විවාදය ‍අවසන් වී නොබෝ දිනකින්, විසර්ජන කෙටුම්පත නියෝජිත මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ. මේ කෙටුම්පත, වෙනත් ඕනෑ ම කෙටුම්පතක් මෙන් ම, පළමු වරට කියවනු ලැබේ. සංවිධායක ලිපිකරු තැන මාතෘකාව කියවූ විට, කෙටුම්පත පළමු වරට කියවන ලදැයි ගෙන "හෙට දින" සලකා බැලීමට යයි එය වෙන්කොට තබනු ලැබේ.

කෙටුම්පත කොටස් දෙකකින් යුක්තය. එනම්: (1) පරිශිෂ්ටවල සඳහන් පරිදි වෙන් කරන ලද මුළු මුදල දැක්වෙන වගන්ති සහිත නියම කෙටුම්පත හා (2) එක එක අමාත්‍යාංශය යටතේ සම්මතයෙන් සම්මතයට හා ශීර්ෂයෙන් ශීර්ෂයට ඇස්තමේන්තු දැක්වෙන සේ වෙන වෙන ම මුද්‍රණය කළ පරිශිෂ්ට විස්තර ද යනුවෙනි. විසර්ජන කෙටුම්පතේ හරබර සියල්ල ගොනු වී ඇත්තේ මේ දෙවැනි ව කී ඇස්තමේන්තු අඩංගු විශාල සංග්‍රහයෙහිය.

"වර්ෂයේ ඇස්තමේන්තු" සංග්‍රහය වූකලී පිටු 1000කට අධික විශාල ලේඛනයකි. එවකට පවත්නා බදු අනුව ලබන අවුරුද්දේ බලාපොරොත්තු වන ආදායම ද පසුගිය අවුරුදුවල දී ලැබුණු ආදායම ද දැක්වෙන සංසන්දන චක්‍ර ද එහි අන්තර්ගතය. මේ කරුණු පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමට භාජන නොවන නමුත්, ඒවායේ අන්තර්ගත තොරතුරු රටේ මුදල් තත්වය ගැන සමස්ත වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමටත් පසුගිය අවුරුදුවල ආදායම හා වියදම ප්‍රස්තුත මුදල් වර්ෂය සම්බන්ධයෙන් යෝජනා කර තිබෙන මුදල් ප්‍රමාණය සමග සංසන්දනය කර බැලීමටත් කැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වේ.

වැය යෝජනා එක් එක් අමාත්‍යාංශය යටතේ බෙදා වෙන වෙන ම දක්වනු ලැබේ. එක් එක් අමාත්‍යාංශයේ ඇස්තමේන්තු, ශීර්ෂවලට වෙන් කොට ඒ එක එක ශීර්ෂය සම්මතවලටත් උප ශීර්ෂවලට හා අංකවලටත් බෙදනු ලැබේ. අමාත්‍යාංශයක් යටතේ ඇති එක් එක් දෙපාර්තමේන්තුවේ සිටින සේවක මණ්ඩලය ද එක් එක් නිලධාරියාට හෝ සේවකයාට නියමිත පඩි ක්‍රමය ද අංක යටතේ දැක්වේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පොදු වැඩ දෙපාර්තමේන්තුව වැනි සමහර දෙපාර්තමේන්තුවල ඇස්තමේන්තු පළාත් වශයෙන් වෙන් කිරීමෙන් තවත් බෙදීමක් වේ.

1960-61 මුදල් වර්ෂයට පෙර, ඇස්තමේන්තුවල කොටස් දෙකක් තිබුණේය. සාමාන්‍ය ආදායමෙන් කෙරෙන වියදම් එක් කොටසකි; ණය අරමුදල්වලින් කෙරෙන වියදම් අනික් කොටසයි. ණය අරමුදල්වලින් සැපයෙන මූලධන හැම වැඩ දෙපාර්තමේන්තුවක ම නැති බැවින්, ණය අරමුදලින් කෙරෙන වියදම සම්මතවලට බෙදා එක් එක් සම්මතය උපශීර්ෂවලට හා අංකවලට බෙදන ලදි. මේ හැරෙන්ට, 1937 ණය ක්‍රමයේ තත්වය දැක්වෙන උපලේඛනයක් ද ඇස්තමේන්තුවලට එක් කරන ලදි. ණය බෙදා හරින ලද පිළිවෙළ ගැන විස්තර ද වැය නොවී ඉතිරිව තිබෙන කොටස ද තවමත් පවත්නා විභාජන සම්බන්ධයෙන් කෙරී තිබෙන වැඩ ප්‍රමාණය ද උපලේඛනයෙහි දක්වන ලදි. මේ උපලේඛනය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට භාජන නොවීය.

1960-61 ඇස්තමේන්තුවල ස්වරූපය ඇතැම් කරුණු අතින් වෙනස් කරන ලදි. අමාත්‍යාංශයක එක් එක් දෙපාර්තමේන්තුව ශීර්ෂයක් හැටියට සලකා, එක් එක් ශීර්ෂය පහත දැක්වෙන පරිදි සම්මත හතකට බෙදන ලද්දේය:- (1) කාර්ය මණ්ඩලයේ පෞද්ගලික පඩිනඩි හා අනිකුත් දීමනා (2) පාලන ගාස්තු - පුනරාවර්තන වියදම (3) පාලන ගාස්තු - මූලධන වියදම (4) දෙපාර්තමේන්තුව විසින් සපයන සේවා-පුනරාවර්තන වියදම (5) දෙපාර්තමේන්තුව විසින් සපයන සේවා-මූලධන වියදම (6) ආර්ථික සංවර්ධන-පුනරාවර්තන වියදම (7) ආර්ථික සංවර්ධනය-මූලධන වියදම යනුවෙනි. කලින් මෙන් ම, එක් එක් සම්මතය උපශීර්ෂවලට හා අංකවලට බෙදන ලද්දේය. කලින් ඇස්තමේන්තුවල ණය අරමුදල් සඳහා වෙන් කරනලද කොටසක් තිබුණේය. ඒ කොටස අත්හැර ඒ වෙනුවට අත්තිකාරම් ගිණුම් කටයුතු දක්වන ලදි. මේවා එක් එක් අමාත්‍යාංශය යටතේ වෙන් කොට අංකවලට බෙදන ලද්දේය. ඡන්ද විමසීමට භාජන නොවූ උපලේඛන තුනක් ඇස්තමේන්තුවල තිබුණේය. 1937 ණය යෝජනා ක්‍රමය (ඉහත ඡේදය බලන්න.) 1 වන උපලේඛනයෙහි දක්වන ලදි. 2 වන උපලේඛනයෙහි දැක්වුණේ ලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමේ හා වියදමේ සම්පිණ්ඩනයයි. 1959-60 මුදල් වර්ෂයේ දී ඇස්තමේන්තු කරන ලද වැය හා 1960-61 මුදල් වර්ෂයේ ඇස්තමේන්තු කෙරෙන වැය පිළිබඳ සංසන්දනාත්මක ප්‍රකාශයක් 2 වන උපලේඛනයෙහි අන්තර්ගත විය.

එක් අතකින් බලන විට, ඇස්තමේන්තුවල අලුත් ස්වරූපය පරණ පිළිවෙළට වඩා හොඳය. පරණ පිළිවෙළට වෙනස් විශේෂ ක්‍රමයක් යෙදීමට හේතුව හැම විට ම පැහැදිලි නොවූව ද, මේ අලුත් පිළිවෙළ නිසා ආණ්ඩුවේ ඒ ඒ කාර්යයන් පිළිබඳ පුළුල් වශයෙන් වර්ග කිරීමක් ඇතිකර ගත හැකි විය. ණය අරමුදල්වලින් නැතහොත් සාමාන්‍ය වැය ඇස්තමේන්තුවල ඉතිරිවන අතිරේක මුදල්වලින් මූල ධන වියදමට මුදල් සැපයීම ඇබ්බැහි වන තැනට කරුණු යෙදී තිබුණු බැවින්, මූලධන වියදම හා පුනරාවර්තන වියදම විශේෂ කොට දැක්වීම කළ යුතු ම වූ කාර්යයකි. වෙනත් අතකින් සලකා බලන විට, ඇස්තමේන්තුවල අලුත් පිළිවෙළ පරණ පිළිවෙළට වඩා හොඳ යයි කිව නොහැකිය. අලුත් පිළිවෙළින් එක එක අමාත්‍යාංශය යටතේ කෙරෙන වියදම පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම දුෂ්කර විය. මේ ඇස්තමේන්තු එම සංග්‍රහයේ තැනින් තැන විසිරී තිබුණු බැවින්, සම්පූර්ණ ඇස්තමේන්තුව කොපමණ දැයි බලා ගැනීම සඳහා ඒ ඒ තැන් පෙරළා බැලීමට සිදු විය. එහෙත් එක් එක් ශීර්ෂය යටතේ එන සම්මත නැවත සකස් කිරීමෙන් යට කී අඩුපාඩු හරිගස්සා ගත හැකි වේ.

1961-62 මුදල් වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පහත දැක්වේ.

වියදම් රු. දසලක්ෂ

1. කිසිම අමාත්‍යාංශයක් යටතේ නොවන අග්‍රාණ්ඩුකාරතුමා ද ශ්‍රේෂ්ඨාධිකරණය ආදිය ද 8.8

2. රාජ්‍යාරක්ෂක සහ විදේශ කටයුතු භාර අමාත්‍යාංශය 129.3

3. මුදල් අමාත්‍යාංශය 201.1

4. අධිකරණ අමාත්‍යාංශය 13.7

5. කර්මාන්ත, ස්වදේශ කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය 97.5

6. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 137.4

7. කම්කරු සහ ජනසතු සේවා අමාත්‍යාංශය 33.7

8. සෞඛ්‍ය අමාත්‍යාංශය 144.2

9. අධ්‍යාපන සහ ගුවන් විදුලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 288.1

10. වාණිජ, වෙළඳ, ආහාර සහ නැව් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 224.4

11. ප්‍රවාහණ සහ වැඩ පිළිබඳ අමාත්‍යාංශය 211.6

12. පළාත් පාලන සහ නිවාස පිළිබඳ අමාත්‍යාංශය 41.2

1,55.0

මූලධන වියදම් - කලින් ණය අරමුදල් වියදම් යටතේ ඇතුළු කරන ලද සම්මත 3, 5 හා 7 තේ මුළු ගණන

1. ………………………………………………….

2. රාජ්‍යාරක්ෂක සහ විදේශ කටයුතු භාර අමාත්‍යාංශය 19.0

3. මුදල් අමාත්‍යාංශය 24.2

4. අධිකරණ අමාත්‍යාංශය 0.3

5. කර්මාන්ත, ස්වදේශ කටයුතු ආදි අමාත්‍යාංශය 53.2

6. කෘෂිකර්ම ඉඩම් ආදි අමාත්‍යාංශය 197.8

7. කම්කරු සහ ජනසතු සේවා අමාත්‍යාංශය 9.6

8. සෞඛ්‍ය අමාත්‍යාංශය 16.2

9. අධ්‍යාපන සහ ගුවන් විදුලි කටයුතු අමාත්‍යාංශය 25.1

10. වාණිජ, වෙළඳ, ආහාර ආදි අමාත්‍යාංශය 2.8

11. ප්‍රවාහණ සහ වැඩ පිළිබඳ අමාත්‍යාංශය 61.6

12. පළාත් පාලන සහ නිවාස අමාත්‍යාංශය 19.4

13.

මුළු මූලධන වියදම් 429.2

මුළු වියදම 1,960.2

ආදායම් රු. දසලක්ෂ

1. රේගු 688.7

2. නැව්තොට, වරාය, වාප්පු, ගුදම් සහ අනිකුත් ගාස්තු 27.3

3. සුරාබදු සහ ලුණු (තේ බද්ද ඇතුළු වෙයි) 219.8

4. ආදායම් බද්ද, බූදල් බද්ද මුද්දර ගාස්තු ආදිය 299.5

5. බලපත්‍ර සහ අභ්‍යන්තර ආදායම 35.3

6. උසාවි හෝ කාර්යාල ගාස්තු හා විශේෂ සේවාවන් සඳහා ගෙවීම් 95.1

7. සෞඛ්‍ය සේවා 4.0

8. වැය මුදල් ආපසු ගෙවීම 18.3

9. තැපැල් හා විදුලි සන්දේශ සේවා 49.7

10. පොලී සහ වාර්ෂික මුදල් යනාදිය 23.9

11. විවිධ අය 35.5

12. ඉඩකඩම් ආදායම් 4.5

13. ඉඩකඩම් විකිණීම 2.0

14. ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ ආදායම 7.1

15. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම 85.0

16. විදුලි දෙපාර්තමේන්තුවේ ආදායම 38.1

1,63.8

ආදායම 1,633.8

ඌනතාව 326.4

1960.2

යට දැක්වුණු ඇස්තමේන්තු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිය යුතු කරුණු දෙකක් වේ. ඇස්තමේන්තු හැම අතින් ම සම්පූර්ණ බව එක් කරුණකි. ඒවායින් මුදල් වෙන් කොට ඇත්තේ දළ වියදම සඳහා මිස ශුද්ධ වියදම සඳහා නොවන බව අනික් කරුණයි. ඒවා හාත්පසින් සම්පූර්ණයි කියන්නේ රජයේ සියලු ම කටයුතු ඒවායේ අන්තර්ගත වන බැවිනි. ආණ්ඩුවෙන් කිසි ම වියදමක් නොවෙතැයි බලාපොරොත්තු වන තන්හි දී පවා ඇස්තමේන්තුවල නිසි ශීර්ෂය යටතේ නිසි සම්මතයෙහි අංකයක් අන්තර්ගත විය යුතුය.

ඒකාබද්ධ අරමුදලෙහි ආදායම් තැන්පත් කිරීම: එංගලන්තයෙහි මෙන් "ආධාර විසර්ජන ක්‍රමයක්" (Appropriation in Aid) ලංකාවෙහි නොපවතී. පරණ බඩුබාහිරාදිය විකිණීමෙන් හෝ අතරවාරේ කරන යම් යම් සේවාවන්ගෙන් හෝ ලැබෙන ආදායමක් වියදමට හිලවු කිරීමට බලයක් ලංකාණ්ඩුවේ දෙපාර්තමේන්තුවලට නැත. ඉතා ම සුළු ආදායමක් වුවත් වියදම් නොකොට, ඒකාබද්ධ අරමුදලෙහි තැන්පත් කළ යුතුය. එසේ ම වියදම් සඳහා අවශ්‍ය හැම මුදලක් ම ලබාගත යුත්තේ ඒකාබද්ධ අරමුදලෙනි. මේ ක්‍රමය නිසා පාර්ලිමේන්තුවට වියදම් කෙරෙහි වඩාත් දැඩි පාලනයක් පවත්වා ගන්ට හැකි වෙනු පමණක් නොව, ආණ්ඩුවේ කටයුතු පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ඇති කර ගැනීමට ද හැකි වන්නේය. එබඳු ක්‍රමයක් නොතිබෙන්ට, දෙපාර්තමේන්තුවක පාලනයෙන් ඉවත් වී ඇතැයි තර්ක කළ හැකිය. මක්නිසාද යත්, ඒ කටයුතු කොටසට වියදම ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොවන බැවිනි.

එක් කලෙක ඉතා අගය කොට සලකන ලද මේ ප්‍රතිපත්තියට මෑත කාලයේ දී තරමක හානියක් සිදු වී ඇත. ඊට හේතුව රජය වෙළඳ ව්‍යාපාරවලට බැසීමය. ලංකාණ්ඩුව විසින් මෑත දී සංයුක්ත මණ්ඩල ගණනක් ම පිහිටුවා තිබේ. මේවාට මුදල් සැපයෙන්නේ රජයේ ආදායමෙන් වුව ද, එදිනෙදා පාලනයේ දී ඒවා ක්‍රියා කරන්නේ ස්වාධීන මණ්ඩල හැටියටය. මේ මණ්ඩල සියල්ලක් ම ඒවා බාර ඇමතිවරයා වෙතින් ප්‍රතිපත්තිය පිළිබඳව නිකුත් කෙරෙන නියෝගවලට අවනවතය. සාමාන්‍ය වශයෙන් මිස ඒවා භාණ්ඩාගාරය විසින් ආණ්ඩුවේ වෙනත් දෙපාර්තමේන්තු කෙරෙහි ක්‍රියාවේ යොදවන රෙගුලාසිවලට අවනත නොවේ. සංයුක්ත මණ්ඩලවල වැය ඇස්තමේන්තු සාමාන්‍ය අයවැය ලේඛනයට ඇතුළත් නොවේ. ඒ ඒ මණ්ඩලය පවත්නා බවට ලකුණක් වශයෙන් සංකේතාත්මක සම්මතයක් (token vote) පමණක් අයවැය ලේඛනයෙහි අන්තර්ගත විය හැකිය. මේ වනාහි පාර්ලිමේන්තුව මගින් ඒවා කෙරෙහි පාලනයක් පැවැත්වීමට මෙන් ම මණ්ඩලයේ වෙළඳ ව්‍යාපාරවල දී යම් අලාභයක් සිදුවී ඇත් නම් ඒ පාඩුව පියවීමට රජයේ ආදායමෙන් මුදල් වෙන් කරවා ගැනීමට ද මාර්ගයක් වන්නේය. සංයුක්ත මණ්ඩලයකට ලාභ ලැබී ඇත් නම්, ඒවා ඒකාබද්ධ අරමුදලෙහි තැන්පත් කොට ඒ මඟින් රජයේ ආදායමට එකතු කරනු නොලැබේ. මූලධනය සඳහා ආණ්ඩුවෙන් ලැබුණු ණයට ‍පොළී හැටියට ලාභයෙන් කොටසක් ද ගෙවිය යුතු බදු ද ගෙවීමෙන් පසු ඉතුරු වන මුදල සංයුක්ත මණ්ඩලයට අභිමමත පරිදි එහි වැඩ කටයුතු පුළුල් කිරීමට හා දියුණු කිරීමට යෙදිය හැකිය.

දෙවැනි කියවීම: විසර්ජන කෙටුම්පත දෙවැනි වරට කියවීම ආරම්භ වන්නේ මුදල් ඇමතිවරයාගේ කථාවෙනි. මෙය "අයවැය ලේඛන" කථාවයි. මෙය ඉතා පරිස්සමින් සකස් කොට ලියා කියවන කථාවකි. කථාවක් ලියා ගෙන කියවීම ස්ථාවර නියෝග අනුව තහනම් නමුත් මේ අවස්ථාවේ දී මුදල් ඇමතිවරයා තම කථාව කියවීම හාත්පසින් ම සුදුසුය යනු පිළිගත් සම්ප්‍රදාය වේ. අයවැය ලේඛන කථාව රටේ ආර්ථික තත්ත්වය හා මුදල් තත්ත්වය පිළිබඳ සමාලෝචනයකි. පසුගිය අවුරුදු හා සසඳා බලන විට ලැබූ අවුරුද්දේ දී උපයන ලද ආදායම ගැන තරමක් සම්පූර්ණ විස්තර, රටේ වෙළහෙළඳාම් කටයුතු, මතු අවුරුදුවල දී වෙළහෙළඳාම් හා ව්‍යාපාර පිළිබඳ බලාපොරොත්තු, රජය ස්වකීය විවිධ කාර්යාංශයන්ගෙන් සාර්ථක කරගෙන තිබෙන කටයුතු, ලබන අවුරුද්දේ රජය කරන්ට බලාපොරොත්තු වන දේවල් යන මේ සියල්ලක් ම අයවැය කථාවෙහි අන්තර්ගත වේ. කථාවේ උත්කර්ෂ අවස්ථාව වනුයේ අලුත් බදු යෝජනා කියැවෙන අවස්ථාවයි. තේ පානය සඳහා යෙදෙන විවේක කාලයෙන් පසු - එනම් වෙළඳ ව්‍යාපාරික ආයතනයන්හි ඒ දවසේ ගනුදෙනු නිමැවුණු පසු-අලුත් බදු යෝජනා ප්‍රකාශ කිරීම නොයෙක් මුදල් ඇමතිවරයන් අනුගමනය කොට ඇති යහපත් සිරිතකි. මෙය එංගලන්තයෙහි පවතින සම්ප්‍රදායක් අනුගමනය කිරීමකි. මේ සිරිතෙහි අරමුණ නම් ව්‍යාපාරික සමාගම් තම තමන්ගේ ගනුදෙනු කටයුතු කරගෙන යද්දී ම මුදල් ඇමතිවරයා අලුත් බදු යෝජනා ප්‍රකාශ කළොත් ඒ සමාගම්වලට ජාවාරම් මඟින් අයුතු ඵල ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වන බැවින්, එවැනි ජාවාරම්වලට ඉඩ නොතැබීමයි. මුදල් ඇමතිවරයාගේ අයවැය ලේඛන කථාවෙන් පසු, වෙනත් කටයුත්තකට නොබැස, සභා රැස්වීම කල්දැමීම සිරිතය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අයවැය ලේඛනය පරීක්ෂා කොට විසර්ජන කෙටුම්පත දෙවැනිවර කියවීමේ දී තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්ට අවස්ථාව ලබා දෙනු පිණිස සති දෙකක් පමණ කල් දෙනු ලැබේ. විසර්ජන කෙටුම්පතේ දෙවැනි කියවීමේ විවාදය ආරම්භ කරනු ලබන්නේ සාමාන්‍යයෙන් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු විසිනි. ඔහුගේ කථාව මුදල් ඇමතිවරයාගේ අයවැය යෝජනා පිළිබඳ සාමාන්‍ය විවේචනයක ස්වරූපය ගනී. මේ විවාදයට මන්ත්‍රීන් බොහෝ දෙනකු සහභාගි වීම සිරිතක් වී ඇත. මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ දී සිය අදහස් ප්‍රකාශ කළ යුත්තේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්න ගැන පමණක් යයි අපේක්ෂා කෙරෙන නමුදු, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සෙසු මන්ත්‍රීන් බොහෝ දෙනෙක් තම තමන්ගේ පළාත්වල අඩුපාඩු ආදි සුළු සුළු ප්‍රශ්න ගැන පමණ ඉක්මවා කථා කිරීම සිරිතක් කොට ගෙන සිටිත්.

සත්වැනි දින විවාදය අවසානයේ දී කෙටුම්පතේ දෙවන කියවීම සම්බන්ධයෙන් ඡන්දය විමසනු ලැබේ. මෙහි දී ඡන්දය දෙනු ලබන්නේ මුළුමනින් ම පක්ෂ ක්‍රමය මුල්කොටගෙනය. ආණ්ඩු පක්ෂය කෙරෙහි විශ්වාසය ඇත් ද නැත් ද යන වග විස‍ඳෙන්නේ ද මේ දෙවන කියවීමේ දී ඡන්දය දෙනු ලබන ආකාරයෙනි. දෙවැනි කියවීම් ප්‍රතික්ෂේප වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. කාරක සභා අවස්ථාව ආරම්භ වන්නේ දෙවැනි කියවීමෙන් දින කීපයක් ගත වූ පසුය. මන්ත්‍රීන් සංශෝධන ඉදිරිපත් කරන විට ස්ථාවර අණපනත් අනුව කල් දිය යුතු බැවින්, මේ දින කීපය වෙන් කොට ඇත්තේ ඒ සඳහාය. සම්මතයක වැය ශීර්ෂයක් වැඩි කිරීමට ඉදිරිපත් කෙරෙන කිසි ම සංශෝධනයකට අවසර නොදෙනු ලැබේ. හැම සංශෝධනයක ම ඒ ඒ වැය ශීර්ෂය යටතෙහි එන සම්මතයේ උපශීර්ෂය හෝ අංකය සඳහන් විය යුතුය. පෞද්ගලික පඩිනඩි සම්බන්ධයෙන් නම්, සංශෝධනයෙහි සඳහන් විය යුත්තේ කාරණයට සම්බන්ධ නිලධාරියාගේ නිලයට වෙන්කර තිබෙන මුළු විභාජනයයි. කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කෙරෙන සංශෝධනවලින් විභාජනයක් මුළුමනින් ම ලොප් කිරීමට අපේක්ෂා කෙරෙන්නේ කලාතුරකිනි. ඒවායින් අදහස් කෙරෙන්නේ සංකේතයක් වශයෙන් එක්තරා කොටසක් කැපිය යුතු යයි යෝජනා කොට එම යෝජනාව මඟින් විවාදයක් ඇති කිරීමයි.

කාරක සභා අවස්ථාවේ ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා කාරක සභා අවස්ථාව සඳහා එක් එක් අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කොට තිබෙන පැය ගණන දැක්වෙන කාලසටහනක් මන්ත්‍රීන් අතට පත් කරයි. එහෙත් ඒ කාලසටහන අකුරට ම පිළිපදින්ට හැකි වන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන්, විවාදය දිග්ගැස්සී ගොස්, කාල සටහනේ මුලින් සඳහන් අමාත්‍යාංශ පමණක් වාදවිවාදයට එල්ල වී, අනිකුත් ඒවා කොහෙත් ම පාහේ වාදවිවාදයකට භාජන නොවේ. 157 දෙනකුගෙන් යුක්ත ව්‍යවස්ථාදායක මණ්ඩලයක මන්ත්‍රීවරුන් විශාල සමූහයක් විවාදයට සහභාගි වන්ට ඉටා ගත්තොත්, එයින් වන්නේ වෙන් කර තිබෙන කාලය අමාත්‍යාංශ ස්වල්පයකට පමණක් ගතවීමයි. මෑතක සිට විසර්ජන කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ වාදය සතුටුදායක නොවන අතට හැරී ඇති බව ප්‍රත්‍යක්ෂ වී තිබේ. 1961-1962 වැය ඇස්තමේන්තු සලකා බැලීමේ ද, අමාත්‍යාංශ හයකට නොඅඩු වූ ගණනක වැය ශීර්ෂ කිසි ම සාකච්ඡාවකට භාජන නොකර ම එක පිට එක සම්මත කරන ලදි. මේ නිසා, අයවැය ලේඛනයෙන් බාගයකට වැඩි කොටසක් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සෝදිසියට භාජන නොවීය. මෙ‍සේ වීම අමාත්‍යවරුන්ගේවත් ඔවුන්ගේ දෙපාර්තමේන්තුවලත් යහපත පිණිස නොවේ.

මුදල් නාස්ති වී යෑම වළක්වා අරපිරිමැස්ම උදෙසා විධිවිධාන යොදන අදහසින් වියදම් සෝදිසි කර බැලීම ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් රටට ඉටුවිය යුතු ප්‍රධාන වගකීමකි. ව්‍යවස්ථාදායක මණ්ඩලය යටකී පරිදි ඒ වගකීමට පිටුපා තිබේ. මෙහි බරපතළකම වඩාත් කැපී පෙනෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවේ ඇස්තමේන්තු කාරක සභාවට සමාන සංස්ථාවක් ලංකා පාර්ලිමේන්තුවේ නැති බව සිහිකරන විටය.

තුන්වැනි කියවීම: පරිශිෂ්ටගත සියලු ම ඇස්තමේන්තු පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු, විසර්ජන කෙටුම්පතේ ඒ ඒ වගන්ති ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ඉක්බිති සංශෝධිත කෙටුම්පත සභාවට ඔප්පු කරනු ලැබේ. අනතුරුව වහා ම කෙටුම්පතේ තුන්වැනි කියවීම වේ. දැන් ඉතින් කෙටුම්පත උත්තර මන්ත්‍රී මණ්ඩලයට යැවීමට කාලයයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් මුදල් පනතක් ලැබුණු දින සිට මාසයක් ඇතුළත එය සම්මත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ උත්තර මන්ත්‍රී මණ්ඩලය බැඳී සිටී. උත්තර මන්ත්‍රී මණ්ඩලය ඒ මාසය ඇතුළත එබඳු පනතක් සම්මත් නොකළත් එය නීතිගත වන්නේය. එබැවින් මින් අදහස් කෙරෙන්නේ කල්තියා තාවකාලිකව සම්මත කරවාගත් මුදල් ප්‍රමාණයක් නැති නම් සෑම අවුරුද්දක ම ඔක්තෝබර මස 01 වෙනිදාට නීතිගත වියයුතු විසර්ජන පනත සැප්තැම්බර් 1 වෙනිදාට පෙර උත්තර මන්ත්‍රී සභාවට පත් විය යුතු බවයි. නොඑසේ නම් ඉදිරි මුදල් වර්ෂයේ ආරම්භයට පෙර කෙටුම්පත සම්මත කරන්ට නුපුළුවනැයි කියමින් ආණ්ඩුව අමාරු අඩියකට පත් කරන්ට හැකිකමක් උත්තර මන්ත්‍රී මණ්ඩලයට තිබේ.

උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභානායකයා අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කොට, දෙවැනි කියවීමේ දී කථාවක් කරයි. හැම මුදල් කෙටුම් පතක දී මෙන් ම, විසර්ජන කෙටුම්පතේ දී ද සෙනේට් සභාවෙහි ඇති වන්නේ එක් විවාදයක් පමණි. කෙටුම්පත ඉදිරිපත් කිරීම පළමුවන කියවීම හැටියට සලකා, දෙවැනි කියවීමේ දී වන විවාදයට දිනයක් නියම කරනු ලැබේ. දෙවැනි කියවීමේ දී සභානායකයා කරන කථාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී මුදල් ඇමතිවරයා කරන අයවැය ලේඛන කථාවට සමානය.

දෙවැනි කියවීමේ දී උත්තර මන්ත්‍රී මණ්ඩලයේ විවාදය කැරෙනුයේ පුළුල් වූත් අවිශේෂ වූත් ස්වරූපයකිනි. ඡන්ද කොට්ඨාසවලට ලැදි බැඳිකම් නමැති අවහිරකම්වලින් මිදුණු උත්තර මන්ත්‍රීවරුන් පෙලඹෙන්නේ විසර්ජන කෙටුම්පතින් විය හැකි ආර්ථික ප්‍රතිඵල හා අයවැය ඵලාඵල අනුව පමණක් එය සලකා බැලීමටය. දෙවැනි කියවීම අවසන් වූ විට කාරක සභා අවස්ථාවක් නැත. කෙටුම්පත සංශෝධනය කිරීමට බලයක් උත්තර මන්ත්‍රී මණ්ඩලයට නැති බැවිනි. දෙවැනි කියවීම අවසාන වූ වහා ම තුන්වැනි කියවීම යෝජනා කොට, ඡන්ද වශයෙන් බෙදීමක් පවා නැතිව, කෙටුම්පත සම්මත කරනු ලැබේ.

විසර්ජන කෙටුම්පත උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වූ පසු, අවසානයේ දී එය මුද්‍රණය කරන ලදුව අග්‍රාණ්ඩුකාරතුමාගේ අනුමතිය ලබයි. ඔක්තෝබර් මස 1 වන දා පටන් එය විසර්ජන පනත වශයෙන් නීතිගත වේ.

1961-1962 අයවැය ලේඛනයේ පටන් මුදල් ඇමතිවරයා අලුත් පිළිවෙතක් ආරම්භ කොට තිබේ. එනම් වර්ෂය‍ේ බදු යෝජනා සියල්ල ම සංග්‍රහ කොට තනි මූල්‍ය පනතක් හැටියට ඉදිරිපත් කිරීමයි. මෙය තරමක් දුරට බ්‍රිතාන්‍ය පිළිවෙල අනුගමනය කිරීමකි. ඇත්තෙන් ම මේ අලුත් පිළිවෙත පරණ පිළිවෙළට වඩා හොඳය. මක්නිසාද යත්, නීතිගත කිරීම සඳහා කලින් වෙන වෙන ම ඉදිරිපත් කරන ලද බදු යෝජනා දැන් එක ම සංග්‍රහයක් හැටියට ඉදිරිපත් කිරීමෙන් ඒවා සියල්ල ම සමස්ත වශයෙන් සලකා බැලිය හැකි බැවිනි.

මේ ක්‍රමය බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න පසුව සලකා බලනු ඇත. ලංකා බැංකුව ජනසතු කිරීමේ යෝජනාව මූල්‍ය පනතේ කොටසක් හැටියට ඈඳාලීමෙන් මේ අලුත් ක්‍රමය පළුදු විය. ජනසතු කිරීම පිළිබඳ කොටසෙහි ක්ෂණිකව රජයට මුහුණපාන්නට වන මුදල් ප්‍රශ්නයක් ගැබ් වි නොතිබිණි. මේ හේතුවෙන් මෙම මූල්‍ය පනත මුදල් පනතක් හැටියට සහතික නොකිරිමට කථානායකතුමාට සිදු විය. ඒ ඇත්ත වශයෙන් ම ඉතාමත් අස්වාභාවික තත්වයකි.

මූල්‍ය කෙටුම්පත සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන්නේ විසර්ජන කෙටුම්පතේ දී අනුගමනය කෙරෙන පිළිවෙළමයි. වෙනසකට ඇත්තේ විවාදය සඳහා කාල සටහන් නැති බවත් ඒ සඳහා දින ගණනක් වෙන් කොට නොතිබීම නිසා විවාදයට කාල සීමාවක් නොමැතිකමත් පමණි. එහෙත් විසර්ජන කෙටුම්පතේ විවාදයේ දී අයවැය ලේඛන යේ මුදල් ‍පිළිබඳ කරුණු බො‍හොමයක් කලින් ම සැලකිල්ලට භාජන වී ඇති නිසා, මේ විවාදය පමණට වඩා දිග්ගැස්සෙන්නේ නැත. මූල්‍ය කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වුණු පසු උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙත යවනු ලැබ, එහි දී සාමාන්‍ය කෙටුම්පතක් සලකා බලන අන්දමට සැලකිල්ලට භාජන වේ. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ස්ථාවර නියෝග අනුව, මූල්‍ය කෙටුම්පත මුළු සභාවෙන් යුත් කාරක සභාවකට ඉදිරිපත් කළ යුතුය. මූල්‍ය කෙටුම්පත මුදල් පනතක් හැටියට සහතික කොට තිබේ නම්, එය සංශෝධනය කිරීමට බලයක් උත්තර මන්ත්‍රී මණ්ඩලයට නැත.

ඕඩිටර් ජනරාල්ගේ සෝදිසිය: නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අයවැය ලේඛනය කෙරෙහි දක්වන සැලකිල්ල විසර්ජන පනත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නතර නොකොට, රජයේ වැය කටයුතු සම්බන්ධයෙන් තව දුරටත් සෝදසියෙන් සිටී. අග්‍රාණ්ඩුකාරයා විසින් පත් කරන ලද නිලධාරියකු වන ඕඩිටර් ජනරාල් තැන ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ඒ ඒ කාර්යසඳහා නම නියම කොට වෙන් කරන ලද මුදල් එම මණ්ඩලයේ තීරණවලට අනුකූලව ම ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවට වගකීමට බැඳී සිටී. කලින් පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා නොගෙන ආණ්ඩුවේ කිසිම දෙපාර්තමේන්තුවකට පාර්ලිමෙන්තුවෙන් මුදල් වෙන් කොට නැති වැය අංක සඳහා මුදල් වියදම් කිරිමට බලයක් නැත. එක ම ශීර්ෂය යටතේ දැක්වෙන එක උපශීර්ෂයකින් ඉතුරු මුදලක් එම ශීර්ෂය යටතේ වූ වෙනත් උපශීර්ෂයකට හැරවීමේ බලය දෙපාර්තමේන්තුවකට ඇති නමුත්, කිසි ම දෙපාර්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව එක ශීර්ෂයකින් වෙනත් ශීර්ෂයකට මුදල් හැරවීමට නුපුළුවන. භාණ්ඩාගාරයේ කැමැත්ත ඇතුව දෙපාර්තමේන්තුවකට "වියමන්ට්" (virement) ක්‍රමය අනුගමනය කළ හැකිය. අක්‍රමිකතාව වළක්වන ‍අදහසින් සියලු ම වියදම් පරීක්ෂා කර බැලීම ඔඩිටර් ජනරාල් තැනගේ කාර්යය වේ. ඔඩිටර් ජනරාල් ගැන තමාට දන්වා එවන්නැයි කියන තොරතුරු සැපයීමටත් ඔහු නඟන ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් දෙපාර්තමේන්තුවල සියලු ම නිලධාරීහු බැඳී සිටිති. නිලධාරියකු හෝ නිලධාරීන් හෝ අක්‍රමික ලෙස මුදල් වියදම් කර තිබේ නම් ඔඩිටර් ජනරාල් විසින් ඒ බව දක්වමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අවුරුදු පතා වාර්තාවක් ඔප්පු කළ යුතුය. සැබැවින් ම මෙය ඔහුගෙන් ඉටුවන අගනා සේවයකි. එහෙත් දෙයාකාරයක අඩුලුහුඬුකම් මේ ක්‍රමයෙහි දක්නට ලැබේ. ඔඩිටර් ජනරාල්ට මැදහත් වීමට ඉඩ ලැබෙන්නේ වියදම කෙරුණායින් පසුව මිස ඊට කලින් නොවේ. කලින් මැදහත් වී මුදල් නාස්තිය වළක්වන්ට වත් යම්කිසි දෙපාර්තමේන්තුවක් මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්තිය කෙරෙහි බලපාන්නට වත් ඔහුට ඉඩක් නැත. දෙවැනි දුර්වලකම නම් ඔඩිටර් ජනරාල්ගේ වාර්තාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත පැමිණීමට යටත් පිරිසෙයින් වර්ෂ දෙකක් පමණ කාලයක් ගතවීමයි. මේ කාලය වන විට නියෝජිත මන්ත්‍රී සභාවේත් මහජනයාගේත් උනන්දුව හීන වී ඇත.

ඔඩිටර් ජනරාල්ගේ වාර්තාව මුද්‍රණය කොට රජයේ ගණන් හිලවු කාරක සභාව නමැති කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබේ. මේ කාරක සභාවේ විශේෂ කාර්යය වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවා අනුමත නොවූ වියදම් හෝ අක්‍රමික වියදම් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් නිදහසට කරුණු අසමින් ඔඩිටර් ජනරාල් තැනගේ වාර්තාව සලකා බැලීමයි. ඔහුගේ වාර්තාව පරීක්ෂාකර බැලීමෙන් පසු කාරක සභාව ඔඩිටර් ජනරාල්ගේ වාර්තාව සමඟ තමන්ගේ ම වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. පාර්ලිමේන්තුව කිසි ම කලක මේ වාර්තාව විවාදයට භාජන කොට නැතත් ඒ ඒ මන්ත්‍රීවරුන් එහි සඳහන් කරුණු පාර්ලිමේන්තු විවාදවල දී ප්‍රයෝජනයට ගෙන තිබේ. යථොක්ත වාර්තා ලැබෙන්නේ පමාවී වුව ද ඒවා හේතුකොට ගෙන යහපතක් සිදු වී ඇති බැව් ද නාස්තිකාර හා අයථා වියදම් බොහොමයක් වළක්වා ගෙන තිබෙන බව ද කිව යුතුය.

ඒකාබද්ධ රාජ්‍යයේ අය වැය ලේඛනය

ඒකාබද්ධ රාජ්‍යයේ මුදල් වර්ෂය ආරම්භ වන්නේ අප්‍රේල් මස 1 වැනිදාය. එහෙත් මුදල් ඇමතිවරයා තම අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ මෙම දිනයට පසුවය. එහෙයින් වැය අක්ගැනුම් ශීර්‍ෂයක් (Vote on Account) ඉදිරිපත් කිරීම එංගලන්තයෙහි අනිවාර්යයෙන් ම සිදුවන්නකි.

එක් එක් වර්ෂය සඳහා අයවැය ලේඛනය සම්පාදනය කිරීම ඉහත අවුරුද්දේ ඔක්තෝබර් මාසය තරම් කල් තියා ආරම්භ වේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ලංකාවේ අයවැය ලේඛන සම්පාදනය කරන ක්‍රමයට බෙහෙවින් සමාන පිළිවෙළකටය. අයවැය ලේඛනය සකස් කිරීමේ දී ප්‍රමුඛස්ථානය ගන්නේ භාණ්ඩාගාරයයි.

පාර්ලිමේන්තුවේ දී කෙරෙන සාකච්ඡාව ලංකාවේ අනුගමනය කරනු ලබන කාර්ය පටිපාටියට වෙනස් ය. පළමු වතාවේ දී වැය ශීර්ෂ වත්, අයබදු යෝජනා වත්, කෙටුම්පත් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු නොලැබේ. එක් එක් සභා වාරයක ආරම්භයේ දී මුළු මන්ත්‍රී මණ්ඩලයෙන් ම සමන්විත කාරක සභා දෙකක් පිහිටුවනු ලැබේ. මේ සභා දෙක නම් සැපයුම් කාරක සභාව හා ක්‍රමෝපක්‍රම කාරක සභාවය.

සැපයුම් කාරක සභාව ඉදිරිපිට තබා ඇති යෝජනා පදනම් කොටගෙන එම කාරක සභාවේ දී වැය යෝජනා හෙවත් ඇස්තමේන්තු ගැන සාකච්ඡා කරනු ලැබේ. මෙම සාකච්ඡාව අයවැය ලේඛනයඉ දිරිපත් කරන දිනයට පෙර ද පසුව ද පැවැත්වේ. ඒ ඒ දිනයේ දී කුමන සැපයුම් සේවාවක් ගැන සාකච්ඡා කළ යුතු ද යන්න විරුද්ධ පක්ෂයේ අභිමතය අනුව ම තීරණය කර ගනු ලැබේ. දින නියම කරගනු ලබන්නේ ආණ්ඩු පක්ෂයේ හා විරුදධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් වැඩ පිළිවෙළ සකස් කර ගන්නා පරිදිය.

නියම අයවැය ලේඛන දිනය වූකලී මුදල් අමාත්‍යවරයා ක්‍රමෝපක්‍රම කාරක සභාව වෙත යෝජනා පන්තියක් වශයෙන් අයබදු යෝජනා ඉදිරිපත් කරන දිනයයි. ලංකාවේ මෙන් ම, කාරක සභා දෙකේ ම සාකච්ඡා නියමිත දින ගණනකට, එනම් දින 20කට සීමා වේ.

ක්‍රමෝපක්‍රම කාරක සභාවේ දී අයබදු යෝජනා පිළිගැනුණු පසු එම යෝජනා මන්ත්‍රී මණ්ඩලයට රපෝර්තු කොට මූල්‍ය කෙටුම්පතක (Finance Bill) අන්තර්ගත කරනු ලැබේ. මෙම කෙටුම්පත සභාසම්මත වූ කල එය වර්ෂයේ මූල්‍ය පනත ලෙස ගැනේ. එසේ ම, වැය යෝජනා (ඇස්තමේන්තු) සංහෘත අරමුදල් කෙටුම්පත්වල කාර්ය පටිපාටිය ම අනුගමනය කරනු ලැබේ. එහි බලතල නියෝජිත මන්ත්‍රී මන්ිඩලයේ බලතලවලට කොයි ලෙසකින්වත් අඩු නොවන බැවිනි.

එංගලන්තයේ හා ලංකාවේ පාර්ලිමේන්තු මෙන් ම ප්‍රංස පාර්ලි‌‌මේන්තුව ද ඒ ඒ දෙපාර්තුමේන්තු වලින් කෙරෙන වියදම් නියමානුකූල දැයි යන්න පිළිබඳව සොයා බැලීමට වෙහෙසෙයි. 1922 සිට මුදල් අමාත්‍යංශය සෑම දෙපාර්තුමේන්තුවකට ම "පාලකයන්" පත්කොට ඇත. මොවුන්ට අයත් කාර්යය වනුයේ වියදම් සම්බන්ධව නිරන්තරයෙන් ම සෝදිසියෙන් සිටීමය. ඔව්හු මුදල් අමාත්‍යවරයාට ද දෙපාර්තුමේන්තුව භාර ඇමතිවරයාට ද මුදල් කාරක සභාවට ද කලින් කල වාර්තා ඉදිරිපත් කරති. තව ද සෑම දෙපාර්තමේන්තුවක ම ගණන් හිලවු, ගිණුම් මණ්ඩලය වෙත යවනු ලැබේ. මෙම මණ්ඩලය වගකිව යුත්තේ ප්‍රංස පාර්ලිමේන්තුවට නොව සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාටය. පරීක්ෂා කරන ලද වාර්තා, ලංකාවේ හා එංගලන්තයේ මෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කාරක සභාවක් ඉදිරිපිට තබා අන්තිමේදී ප්‍රංස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු නොලැබේ.

ඇමෙරිකා එක්සත්ජනපදයේ අයවැය ලේඛනය. ඇමෙරිකා එක්සත්ජනපදයේ විධායක මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිවයුතු නොවන නිසා ද එහෙයින් පාර්ලිමේන්තුව මගින් අස් කළ නොහැකි නිසාද වෙනත් රටවල මුදල් අමාත්‍යවරයා හා සමාන භාණ්ඩාගාරයේ ප්‍රධානියා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි. ඇත්ත වශයෙන් මභාණ්ඩගාරය අයවැය ලේඛනය සම්පාදනය කිරීමෙහි පවා නොයෙදෙයි.

වර්ෂ 1921 අයවැය ලේඛන හා ගණකාධිකරණ පනත අනුව අයවැය ලේඛන කාර්යාලය (Budget Bureau) නමින් විශේෂ කාර්ය මණ්ඩලයක් පිහිටුවා තිබේ. එය භාණ්ඩාගාරය යටතේ පවතින්නක් නොව කෙළින් ම ජනාධිපතිවරයා යටතේ පවතින්නකි. විවිධ දෙපාර්තමේන්තුවල වියදම් ඇස්තමේන්තු සෑම අවුරුද්දකම ජූලි මාසය අවසන්වන්ට පෙර අයවැය ලේඛන කාර්යාලය වෙත යැවිය යුතුය. එහි දී කෙරෙන ප්‍රථමික පරීක්ෂණයට හා සකස් කිරීම්වලට අනතුරුව, සැප්තැම්බර් 15 වැනිදා වන විට එම සංශෝධිත ඇස්තමේන්තු අයවැය ලේඛන කාර්යාල වෙත තිබිය යුතුය. සෑම දෙපාර්තමේන්තුවකම ඇස්තමේන්තු ඒ ඒ දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා විසින් වෙන් කරන ලද මුළු මුදලට අනුකූල විය යුතුය.

භාණ්ඩාගාරය ද වලංගුව පවතින අයබදු අනුව අපේක්ෂිත ආදායම පිළිබඳ කරුණු සියල්ල ම කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. භාණ්ඩාගාරය විසින් අවශ්‍ය යයි සලකනු ලබන තවත් ආදායම් ප්‍රමාණයක් ඇතොත් එය ලබාගැනීම සඳහා සලකා බැලිය යුතු යෝජනා ද මේ සමඟ ඉදිරිපත් කළ යුතුය. මේ කරුණු නිසා, භාණ්ඩාගාරය අය වැය ලේඛන කාර්යාලය හා කිට්ටු සහයෝගිතාවෙන් වැඩ කරන නමුදු කාර්යාලය පාලනය කිරීමේ බලයක් ඊට නැත්තේය.

1921 අය වැය හා ගිණුම් (ගණකාධිකරණ) පනත (Bughet and Accounts Act) අනුව ජනාධිපතිවරයා සෑම නියමිත සභාවාරයක ම මුල් දින කොන්ග්‍රස් සභාවට අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතුය. වියදම් ඇස්තමේන්තු ද ආදායම් යෝජනා වෙතොත් ඒවා ද ගත වූ මුදල් වර්ෂයේත් ලබා ඇති මුදල් වර්ෂයේත් වියදම් හා අය ද, රටේ මුදල් තත්වය හාත්පසින් දැන හැඳිනගැනීම සඳහා ව්‍යවස්ථාදායක අංශයට පිටුවහල් වන වෙනත් විවිධ මුදල් ප්‍රකාශයන් ද යන මේ දෑ සාරාංශ වශයෙනුත් විස්තර වශයෙනුත් යථෝක්ත අයවැය ලේඛනයෙහි අඩංගු විය යුතුයි. ජනාධිපතිවරයාගේ මෙම වාර්ෂික අයවැය සංදේශය කොටස් දෙකකින් යුක්තය: (1) නියම අයවැය ලේඛනය හා සාමාන්‍ය මුදල් ප්‍රකාශන: (2) වියදම් පිළිබඳ සවිස්තර ඇස්තමේන්තු යනුවෙනි.

ජනාධිපතිවරයාගේ අයවැය ලේඛනය කොන්ග්‍රස් සභාවේ දී වහා සාකච්ඡාවට භාජන නොවේ.වියදම් පිළිබඳ ඇස්තමේන්තු විසර්ජනය පිළිබඳ ස්ථාවර කාරක සභාව වෙත ඉදිරිපත් වේ; ආදායම් පිළිබඳ යෝජනා ක්‍රමෝපක්‍රම තම කාරක සභාව වෙත යයි.

විසර්ජනය පිළිබඳ මුළු ස්ථාවර කාරක සභාව ම ජනාධිපතිවරයාගේ වියදම් යෝජනා සාකච්ඡා නොකරයි. කාරක සභාව අනුකාරක සභා කීපයකට බෙදේ. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සැදි එක් එක් අනුකාරක සභාව එක දෙපාර්තමේන්තුවක් හෝ දෙපාර්තමේන්තු සමූහයක් සලකා බලයි. අනුකාරක සභාවල සාකච්ඡා ඇරඹෙන විට ඇස්තමේන්තු කෙටුම්පත් බවට පෙරළී ඇත. ඇස්තමේන්තු කෙටුම්පත් බවටපෙරළීම වනාහි ඒ ඒ කාරක සභාවල නිලධාරීන් විසින් ඉටු කරනු ලබන්නකි. ඇත්ත වශයෙන් මෙම අනුකාරක සභා, ඒ ඒ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් සුපරීක්ෂයකාරි තියුණු විමසීමකට භාජන කරමින්, නිරීක්ෂක මණ්ඩල මෙන් ක්‍රියා කරයි. අනුකාරක සභාවල කටයුතු අවසානයෙහි දී විසර්ජන කෙටුම්පත් විසර්ජනය පිළිබඳ මුළු කාරක සභාව වෙත වාර්තා කරනු ලැබේ. මෙහි දී විවාදය සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් පමණි. මේ ආකාරයෙන් අනු කාරක සභා යම්කිසි සංඛ්‍යාවක් ඇද්ද එපමණ ම විසර්ජන කෙටුම්පත් සංඛ්‍යාවක් ද වෙයි. යුද්ධ දෙපාර්තුමේන්තුවට එක් විසර්ජන කෙටුම්පතක් ද නාවික දෙපාර්තමේන්තුවට තව එකක් ද භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුවට තවත් එකක් ද අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට තවත් එකක් ද කම්කරු දෙපාර්තමේන්තුවට තවත් එකක් ද යනාදි වශයෙන් කෙටුම්පත් ගණනාවක් වේ. සමුහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි, අතිරේක ඇස්තමේන්තු ද විසර්ජන කාරක සභාවලට යවනු ලැබේ. ඒවා විසර්ජන කෙටුම්පත්වලට අනුරූප වන දෙපාර්තමේන්තුවේ නැතහොත් දෙපාර්තමේන්තු සමූහයේ ඌනතා කෙටුම්පත් (Deficiency Bills) වශයෙන් හැඩගැසී කාරක සභාවලින් එළිබිහි වනු ඇත.

වැය අක්ගැනුම්ශීර්ෂ නීතියෙන් තහනම් කොට නැති නමුත්, 1842න් පසු එක්සත් ජනපදයේ එවැනි වැය ශීර්ෂ ඉදිරිපත් කොට නොමැත. මුදල් වර්ෂය ජූලි 1 වැනිදාට මාරු කරන ලද්දේ එම වර්ෂයේ දීය.

ආදායම් යෝජනා පිළිබඳව ක්‍රමෝපක්‍රම කාරක සභාවේ දී කෙරෙන සාකච්ඡාව විසර්ජන කාරක සභාවේ සාකච්ඡාවලටත් වඩා සවිස්තරය, සම්පුර්ණය. යෝජිත ටැරිෆ් ගාස්තු කෙටුම්පත් සම්බන්ධයෙන් මන්ත්‍රී හමුවී කථාබස් කොට ඔවුන් තම පක්ෂයට නම්මා ගැනීම සඳහා නිතර නිතර බොහෝ වැර වෑයම් කරනු ලැබේ.

විසර්ජන කාරක සභාව විසින් සලකා බලනු ලැබූ විසර්ජන කෙටුම්පත් මන්ත්‍රී මණ්ඩලයට වාර්තා කරනු ලැබේ. මන්ත්‍රී මණ්ඩලයේ දී මෙම කෙටුම්පත් එංගලන්තයේ කෙරෙන පරිදි පුර්ණ මණ්ඩල කාරක සභාව (Committee of the whole House) ඉදිරිපත් කරනු ලැබේ. මෙහි සාකච්ඡාව මණ්ඩලයේ කුදු මහත් පක්ෂ වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රධාන කථිකයන් අතර සම්මුතියෙන් සීමා කරගනු ලබන්නකි. ක්‍රමෝපක්‍රම කාරක සභාවෙන් එන ආදායම් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡාව ද එම කාර්යපටිපාටිය ම අනුගමනය කරයි. පුර්ණ මණ්ඩල කාරක සභාවේ පරීක්ෂාව අවසන් වූ කල, විසර්ජන කෙටුම්පත් හෝ ආදායම් කෙටුම්පත මන්ත්‍රී මණ්ඩලයට වාර්තා කරනු ලැබේ. තුන්වැනි වරට කියවීමෙන් පසු අවසාන ඡන්දය විමසනු ලැබේ.

විසර්ජන කෙටුම්පත මන්ත්‍රී මණ්ඩලයේ පිළිගැනීමෙන් පසු සෙනේට් සභාව වෙත යවනු ලැබේ. එහි දී අනුගමනය කරනු ලබන කාර්ය පටිපාටිය ද මන්ත්‍රී මණ්ඩලයේ දී අනුගමනය කරනු ලබන පිළිවෙලට බෙහෙවින් සමානය. එහෙත් එංගලන්තයේ ද තවත් බොහෝ රටවල ද මෙන් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනේට් සභාවට මුදල් කෙටුම්පත් සම්බන්ධයෙන් නියෝජිත මණ්ඩලයට හිමි බලතල සියල්ලක් ඇත. එම සභාවට අභිමත පරිදි මුදල් කෙටුම්පත් සංශෝධනය කළහැකිය; නොයෙක් වර එසේ කොට ද ඇත. මණ්ඩල දෙක අතර මතභේදයක් පැන නැඟී අවස්ථාවල මණ්ඩල දෙකේම ඒකාබද්ධ සම්මේලන කාරක සභා (Join Conference Committees) මගින් එය බේරුම් කරගෙන තිබේ. මෙම කාරක සභාවල මණ්ඩල දෙකෙන් නියෝජිතයන් එක සමාන සංඛ්‍යාවක් බැගින් වීම සිරිතකි.

1921 අයවැය සහ ගණකාධිකරණ පනතේ 301 වැනි ඡේදය අනුව, මහා පාලකයකු යටතේ මහා ගණකාධිකරණ කාර්යාලයක් පිහිටුවන ලදි. මහා පාලක තැන (Controller General) අවුරුදු 15ක කාලපරිච්ඡේදයකට ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුය. එහෙත් ඔහු කෙලින්ම කොන්ග්‍රස් සභාවට වගකිව යුතුය. තැපැල් දෙපාර්තමේන්තුව හැර, අනික් සෑම දෙපාර්තමේන්තුවක ම සියලුම ගණන් හිලවු ඔහු පරීක්ෂා කරයි. තැපැල් දෙපාර්තුමේන්තුව සඳහා වෙන ම ගණන් හිලවු කාර්යාලයක් තිබේ. එංගලන්තයේ හා ලංකාවේ පවත්නා ගණන් හිලවු කාරක සභාව වෙනුවට එක්සත් ජනපදයේ ඇත්තේ වියදම් පිළිබඳ කාරක සභාවයි. මෙම කාරක සභාව මහා පාලක තැනගේ වාර්තාව සලකා බලනු පමණක් නොව, පාලන වියදම අඩුකර ගන්නා මං තුමූ ම සොයා බැලීමෙහි ද යෙදෙත්. මේ සම්බන්ධයෙන් වඩාත් වැදගත් මණ්ඩලය වනුයේ, දෙපාර්තමේන්තුවල සියලුම වියදම් සම්බන්ධයෙන් නිරන්තර ගණන් පරීක්ෂකයකු ලෙස ක්රිගයා කරන අයවැය ලේඛන කාර්යාලයයි. මහා පාලකතැන අයවැය ලේඛන කාර්යාලය සමඟ ද කොන්ග්රිස් සභාවේ මණ්ඩල දෙකේම විසර්ජන කාරක සභා සමග ද කිට්ටු සම්බන්ධයෙන් කටයුතු කරයි.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයෙහි අපට දක්නට ලැබෙන්නේ අප විසින් මුලින් සලකා බලන ලද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවලට වඩා වෙනස් වර්ගයක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. පරමෝත්තර සෝවියට් මණ්ඩලය (Supreme Soviet) අන් රටවල පාර්ලිමේන්තුවට සමාන මණ්ඩලයයි. එහෙත් එය රැස්වෙන්නේ අවුරුද්දකට දෙවරක් පමණකි. එහි ඉතා ම වැදගත් සභාවාරය නම් ඇමති මන්ත්‍රණ සභාව (Council of Ministers) වෙනුවෙන් මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයට කන් දී එය අනුමත කිරීමට කැඳවනු ලබන සභාවාරයයි.

මුදල් වර්ෂය ආරම්භ වන්නේ ජනවාරි 1 වැනි දාය. අයවැය ලේඛනය සකස් කරනු ලබන්නේ ඇමති මන්ත්‍රණ සභාව විසිනි. අනතුරුව එය අයවැය ලේඛන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබේ. මෙම සභාව එය සවිස්තර ලෙස පරීක්ෂා කර බලයි. කලින් අවුරුද්දේ නොවැම්බර් මාසය වන විට අයවැය ලේඛනය, පරමෝත්තර සෝවියට් මණ්ඩලයේ අනුමැතිය සඳහා එම මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ. අයවැය ලේඛනය අනුමත කිරීම් ප්‍රමාදයක් ඇත් නම්, ඇමති මන්ත්‍රණ සභාව විසින් සූදානම් කරන ලද ඇස්තමේන්තු පදනම් කොට ඒ ඒ අමාත්‍යාංශවලට ණය මුදල් වෙන්කර දෙනු ලැබේ. අයවැය ලේඛනය සම්බන්ධයෙන් සාමූහික ලෙස වගකීම පිළිබඳ සංකල්පය වත් අයවැය ලේඛනය ප්‍රතික්ෂේප කරන ලදුව එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව අස්වෙතැයි බලාපොරොත්තු වීමට ඉඩක් වත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ නොපවතී. ඇත්ත වශයෙන් ම සෝවියට් රුසියාවේ අයවැය ලේඛනය හුදෙක් ආණ්ඩුවේ ආදායම් හා වියදම් සම්බන්ධ දෙයක් පමණක් නොවේ. සෑම ව්‍යාපාරයක් ම ජනසතු කොට ඇති නිසා, අයවැය ලේඛනය රාජ්‍යයේ ආර්ථික ක්‍රමය සමස්තයක් වශයෙන් පිළිබිඹු කරයි. අයවැය ලේඛනය විවිධ දෙපාර්තමේන්තු වෙන වෙන ම ගෙන ඒ එකක් එකක් හා සම්බන්ධ වැය යෝජනා නොදක්වන බවක් මින් නිගමනය නොකළ යුතුය. ඉන් අදහස් වන්නේ සම්පූර්ණ අයවැය ලේඛනයෙන් රාජ්‍යයේ ආර්ථික ක්‍රමය සමස්තයක් වශයෙන් දැක්වෙන බවය.

එහෙයින් සතියකට හෝ දින දහයකට සීමා වූ පරමෝත්තර සෝවියට් මණ්ඩලයේ සභාවාරයට අයවැය ලේඛනයේ යෝජනා විස්තර ලෙස සාකච්ඡාවට භාජන කළ නොහැක. කළ හැක්කේ, දළ වශයෙන් කරුණු සලකා බැලෙන සාමාන්‍ය සාකච්ඡාවක් පමණි. එය ද කථා කීපයකට සීමා වෙයි.

ඒ ඒ පස් අවුරුදු ක්‍රම නිසා අයවැය ලේඛනයේ වාර්ෂිකත්වයට හානි වී නැත. අයවැය ලේඛනයේ අඩංගු වන්නේ පස් අවුරුදු ක්‍රමය තුළ වසක් පාසා කිරීමට ඇති කටයුතුය. මුලින් සලකා බැලූ රටවල අයවැය ලේඛනයේ ඒ සා ප්‍රධාන කාරණයක් ලෙස සැලකෙන අයබදු ප්‍රතිපත්තිය සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ එබඳු ප්‍රමුඛස්ථානයක ලා නොගැනේ. සැලසුම් කරන ලද ආර්ථික ක්‍රමයක් ඇති රටකට උචිත පරිදි එහි අයවැය ලේඛනය සංවර්ධනය ම මුඛ්‍ය ලක්ෂණය කොට පිළියෙල වූවකි.

සංගමයේ සෝවියට් සභාව විසින් කෙටුම්පත අනුමත කරනු ලැබූ පසු, අයවැය ලේඛනය උත්තර මන්ත්‍රී මණ්ඩලයට හෙවත් ජාතීන්ගේ මණ්ඩලයට (Chamber of Nationalities) යවනු ලැබේ. අයවැය ලේඛනය සම්බන්ධයෙන් මෙම මණ්ඩලයට ද සංගමයේ සෝවියට් සභාවට සමාන අයිතිවාසිකමක් ඇත. මෙහි දී මුල් මණ්ඩලයේ දී අනුගමනය කරන කාර්යපටිපාටිය ම අනුගමනය කරනු ලැබේ. මණ්ඩල දෙක අතර මේ වන තෙක් අයවැය ලේඛනය සම්බන්ධයෙන් විසඳිය නොහැකි අර්බුද පැන නැඟී නැති නමුත්, කිසියම් මතභේදයක් වෙතොත්, එය විසඳීම සඳහා සමාන නියෝජනයෙන් යුත් කොමිසන් සභාවක් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන යොදා තිබේ. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පවත්නා තනි පක්ෂ ක්‍රමයත් එරට කොමියුනිස්ට් පක්ෂය සතු සර්වව්‍යාපී තත්වයත් එබඳු මතභේද පැන නොනඟින බවට වගබලා ගනී.

කර්තෘ:ඇන්.ඇම්.පෙරේරා

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයවැය_ලේඛනය&oldid=2305" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි