අයියනායක
(අයියනාර්). ලංකාවෙහි අදහනු ලබන දෙවිවරුන් අතුරින් උතුරු දෙසට අරක් ගත් දෙවියා අයියනායක නමින් හැඳින්වෙයි. දැදුරු ඔයෙන් එගොඩ යාපනය දක්වා වූ "වැව් බැඳි රට" නමින් දන්නා වැව් තිබෙන පෙදෙස ඔහුගේ අණසක පවත්නා ප්‍රදේශය වේ. නියඟ වළක්වා ගොවිතැන් සශ්‍රීක කිරීමත් රෝග පීඩා හා වන සතුන්ගෙන් සිදුවන උවදුරු දුරු කිරීමත් ඔහුගෙන් බලාපොරොත්තු වනු ලැබේ. ඔහුගේ බලය පවත්නා වන පෙදෙස්හි ගමන් කරන්නෝ මඟ අසල ගසෙකින් අතු කැබෙල්ලක් කඩා ඔහු සිහි කොට එල්ලා යති. එසේ නොකළහොත් අකරතැබ්බයකට මූණපාන්නට වේය යනු ඔවුන්ගේ විශ්වාසයයි. වනයෙහි මංමුළා වූ විට ද ඔහුගේ පිහිට පතනු ලැබේ.
ලක්දිව අයියනායක ඇදහීම කවර කලෙක ආරම්භ වී ද යනු අවිනිශ්චිතය. අනුරාධපුරයේ ජේතවනාරාම දාගැබට නුදුරු එක් වාසල්කඩකට අයත් ගල් කුලුනක ඇතකු, අසකු හා තවත් කුඩා සතකු සහිත වාහනයක ආරූඪව සිටින ආකාරයෙන් කැටයම් කර තිබෙන රූපය අයියනායක නිරූපණය කරන්නකැයි සලකනු ලැබේ. මේ කැටයම් තුන්වන හෝ සතරවන සියවසට අයත් බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. කතරගම සන්නසෙහි "අයියනාරායන්" යනුවෙන් ද, කෝකිල සන්දේශයෙහි "අයියන්" යනුවෙන් ද ඔහු සඳහන් වී ඇත්තේය. කිහිරැලි, සමන් බොක්සල්, විභීෂණ යන දෙවියන් හා සමඟ අයියනායක ගැනුණු බව කතරගම සන්නසින් පෙනේ. මාවටුපුර අසල වූ අයියනායක කෝවිලක් ගැන කෝකිල සන්දේශයෙන් කියැවෙයි. ලංකාවේ මුල් ජනතාව සේ සලකනු ලබන වැද්දෝ ද අයියනායක අදහති. එහි ආරම්භය ඉතා ඈත කාලයක සිදුවී ද නොහොත් වැද්දන් ද්‍රවිඩ ජනයා හා ආශ්‍රයට පැමිණීමෙන් පසු සිදුවී ද යනු ඉඳුරා කිව නොහැකිය. බුවනෙකබාහු නම් රජකු දවස ආර්යවංශික කුමාරවරුන් සමඟ අයියනායක ලක්දිවට පැමිණි බව "වන්නි පුවත" නම් පොතේ සඳහන් වෙයි.
අයියනායකගේ උත්පත්තිය පිළිබඳ කථා පුවත් කිහිපයක් වෙයි. ක්ෂීරසමුද්ර මථනයෙන් පසු විෂ්ණු දෙවියන් මෝහිනියගේ වේශය ගෙන නික්ම ගිය බවත් ඒ දුටු ශිව දෙවියන් ඇය පසු පස්සේ යන්නට වූ බවත් ඔවුන් දෙදෙනාගේ රමණය හේතුකොට ගෙන විෂ්ණු දෙවියන්ගේ දකුණතින් අයියනායක පහළ වූ බවත් එහෙයින් ඔහුට "කයියනාර්" (හස්තයෙන් උපන්නා) යන ද්‍රවිඩ නාමයක් ද වන බවත් එක් කථා පුවතෙකින් කියැවේ. ඊශ්වර දැහැන උගත් භස්මාසුරයා ඊශ්වර දෙවියන් නසනු පිණිස ඔවුන් පසු පස්සේ එළවා යනු දුටු විෂ්ණු දෙවියන් මෝහිනී වේශය ගෙන මඟ අසල උඤ්චිල්ලාවක් පදින්නට වූ බවත්, ඇයගේ රූපශෝභාවෙන් වශීකෘත වූ භස්මාසුරයා ඇය කරා එළඹි කල්හි තමා අත්නොහරින බවට (ඔහුගේ) හිසේ අත තබා දිවුරුවහොත් තමා භාර්යාව වීමට කැමැති බව ඈ ප්‍රකාශ කෙළෙන් ඔහු එසේ කොට පිලිස්සී අළු වී ගිය බවත්, අනතුරුව එහි පැමිණි ඊශ්වර දෙවියන් මෝහිනිය දැකීමෙන් කාමාසක්තව ඇය වැලඳ ගැනීම හේතුකොටගෙන මෝහිනිය දරුවකු ප්‍රසූත කළ බවත්, විෂ්ණු ඊශ්වර දෙදෙනාගේ පුත්‍රයා හෙයින් "හරිහරපුත්ර" නමින් හැඳින්වෙන ඔහු අයියනායක බවත් තවත් කථාවෙක දැක්වෙයි. ශිව හා මෝහිනී වේශධාරී විෂ්ණු යන දෙදෙනාගේ සංවාසයෙන් ඔහුගේ උත්පත්තිය සිදුවූ බව ස්කන්ද පුරාණයේ (47 ශ්ලෝකයෙහි) ද සඳහන් වෙයි. අයියනායක පිළිබඳ කථා පුවත මෙරට කපුරාළවරුන් දක්වන්නේ මෙසේය:- පෙර එක් රුසියෙක් ඊශ්වර දැහැන ගෙන උමයංගනාව අල්ලා ගැනීමට ගියේය. එබව දත් උමයංගනාව බියෙන් දුවන්නට වූවාය. රුසියා ඇය ලුහුබඳින්නට වන. සිදුවන්නට යන විපතින් උමයංගනාව මුදා ලන්නට සිතූ විෂ්ණු සුන්දරතම ස්ත්‍රී වේශයක් ගෙන ඒ දෙදෙනාට මැදව සිට මඟ අසල උඤ්චිලි පදින්නට විය. ඇය දැකීමෙන් හටගත් ආලයෙන් තදින් බැඳීගිය රුසියා එහි රැඳී ගති. ඒ ආලය කරණකොටගෙන ම ඇයගේ දකුණු අතින් කුමරෙක් ද බිහි විය. හේ අයියනායක නම් වී. ඔහුගේ උත්පත්තිය සිදුවූයේ "මල්වරා" නම් දේශයකය. ඔහු තරුණ වියට පත් වූ පසු එක් දිනෙක විෂ්ණු ඔහු කැඳවා සිංහල දේශයෙහි වැව්බැඳි රාජ්‍යයට ගොස් එහි ගොවිතැන් බත් දියුණු කරමින් රටත් රටවැසියාත් හොඳින් ආරක්ෂා කරමින් සිටින්නැයි කීය. ඒ කීම පිළිගත් අයියනායක ගල් නැවක් සාදවා ගෙන යහළුවන් සතර දෙනකුන් ද සමඟ යාත්‍රා කොට යාපා පටුනට ගොඩ බැස රටෙහි සැරිසරමින් දුර්භික්ෂභය, රෝගභය වළක්වා රට සශ්‍රීක කිරීමෙහි නිරත වූයේය. මින්නේරිය ඇතුළු මුළු වන්නි ප්‍රදේශයෙහි බලය පතුරා ගෙන වදුරු වසංගත වැද්ද සිද්ද නොවනු දී ගවමහිෂාදීන් ද වැසියන් ද මැනැවින් රැක බලා සැලැසූ යහපත නිසා ඔහු මළ පසු ද ඔහුට පුද පෙරහර පවත්වන ලදි.
උතුරු මැද පළාත් වැස්සෝ වන්නියා බණ්ඩාර හෙවත් වන්නිදෙවියා යන නමින් අයියනායක හඳුන්වති. ඔහුගේ ශරීරය කාලවර්ණ යයි ද වාහනය සුදු ඇතෙකැයි ද කියනු ලැබේ. අයියනායකගේ දේවාභරණය වශයෙන් ඇත්තේ "රන් බොංඩිවැල" ය. ඔහු උදෙසා පවත්වන පුද පූජා අතුරෙහි අවුරුදු පහකට වරක් කරනු ලබන "මුට්ටි තැබීම" නම් පූජාව ප්‍රධාන තැන ගනී. පත්තිනි, කතරගම යන දෙවිදේවතාවන් ද සම්බන්ධ කොට ගෙන එය කරනු ලැබේ. දඹුලු රජමහ විහාරයෙහි ද හිඟුරක්ගොඩ අසල දිවුලන්ගල්ල නම් ස්ථානයේ ද අයියනායකට කැප කළ දේවාල වෙයි. දේවාලවල පවත්වන නානුමුර මංගල්ලයේ දී අයියනායකට ආරාධනා කරනු පිණිස කියනු ලබන 'අයියනායක කෝල්මුර" නම් කවිපන්තියක් ද වේ.
පුත්තලම් දිස්ත්‍රික්කයේ කුමාර වන්නි පත්තුවට අයත් වේලාසිය නමැති ස්ථානය ද අයියනායකගේ වාසස්ථානයක් තුබුණු තැන වශයෙන් සැලැකෙයි. වන්නි ප්‍රදේශවාසීහු අවුරුදු පතා මේ ස්ථානයෙහි පෙරහැරක් පවත්වති. වසංගත ආදී දරුණු රෝග උපද්‍රවයන් පැමිණි විට ද මේ පෙරහැර පවත්වනු ලැබේ. මේ පෙරහැරට සහභාගි වන්නෝ සහල් පොල් ආදී දෑ ගෙන ගොස් ලුණු නැති කිරිබතක් උයා දෙවියන්ට අඩුක්කු (ආහාර) පුදා පසුව ඉතිරි ආහාර තුමූ ම අනුභව කරති. එදින රැය එහි ම ගත කරන ඔවුන් ගම් පෙදෙස් බලා නික්මෙන්නේ පසුවදායි. එහි අයියනායක වාසභවන තුබුණු තැන එළිමහන් වැලිතලාවෙක බුලත් වැලක් සහ උක් පඳුරක් ද පූජාසනයක් වශයෙන් පාවිච්චි කරනු ලබන කුඩා ගල් තල්ලක් ද වෙයි.
දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයා විසින් "අයියනාර්" යයි හඳුන්වනු ලබන අයියනායක ඔවුන්ගේ ග්රාමාරක්ෂක දෙවියෙකි. ගොවි ජනයාත්, ඔවුන්ගේ කෙත්වතුත්, ගවමහීෂාදීනුත් ආරක්ෂා කිරීම ඔහුගෙන් කෙරෙන සේවයයි. ගමක් පාසාම වාගේ ඔහු වැඳීම පිණිස පිහිටුවන ලද කෝවිලක් ඇත්තේය. කිසි තැනෙක ඒ කෝවිල වනාහි සාලංකාර වූ මන්දිරයකි. එහි දෙවියාගේ රූපය ද ඉතා අලංකාරවත් ලෙස පිහිටුවා තිබේ. කිසි තැනෙක දුප්පත් පැලකි. එහි රූපය ද බොහෝ දුප්පත්ය. තවත් කිසි තැනෙක කෝවිල වූකලි ගසක් යට සෙවණකි. දේවරූපය නම් එහි සිටුවන ලද සාමාන්‍ය ගලකි. මේ කෝවිල් අසල මැටියෙන් ඇඹු කුදුමහත් අශ්වරූප තැන්පත් කොට ඇත්තේය. රාත්‍රි යාමයෙහි භූතයන් පලවාහැර ගම රැකවල් ලනු පිණිස මේ අශ්වරූප මත නැඟී පූර්ණි, පුෂ්කලා යන භාර්යාවන් දෙදෙනා දෙපස සිටුවා ගෙන අයියනාර් ගම වටා යතැයි විශ්වාස කරනු ලැබේ.
මනුෂ්යරූපාකාරයෙන් නිරූපණය කරනු ලබන අයියනාර් පැහැයෙන් අරුණුවන්ය. තෙලිඟු ජනයා "වෙන්කටසු" නමින් හඳුන්වන්නේ ද අයියනාර් මැයි. දකුණු ඉන්දියාවේ අන් හැම ග්රාමාරක්ෂක දෙවියකු සඳහා ම බිලිපූජා පවත්වන නමුත් අයියනාර් වෙනුවෙන් එසේ නොකිරීමෙන් ඔහු උසස් ගුණාංගවලින් යුත් දෙවියකු බව පෙනී යයි. අයියනාර් පිරිවරා ගත් "වීරන්" නම් භට සමූහයක් ද වෙති. අයියනාර් උදෙසා පවත්වන පූජාවන්හි දී ඔහුට බත් පලතුරු සුවඳ දුම් ආදිය ද "වීරන්" භටයන්ට බිලිපුද වශයෙන් බැටළු කුකුළු ආදි සතුන් ද පිදීම සිරිතයි.
චුද්දලෝර් දිස්ත්‍රික්කයේ වණ්ඩිපලියම් පෙදෙස් වැස්සෝ හැම අවුරුද්දක ම අප්‍රේල් හෝ මැයි මාසයේ දී අයියනාර් මංගල්ලයක් පවත්වති. මේ වාර්ෂික උත්සවයේ දි අබතෙල් දෙහිඇඹුල් කිරි ආදියෙන් අයියනාර් ප්‍රතිමාව ධෝවනය කොට, එහි නළලේ පොල්කිරි හා හඳුන්සුනු තවරා ඉණෙහි පිරිසුදු කඩක් දවටනු ලැබේ. අනතුරුව ගම් වැස්සෝ බත් කිරිබත් කෙසෙල් පොල් බුලත් පුවක් පැණි හකුරු ආදි පූජා ද්‍රව්‍ය රැගෙන අවුත් දෙවියන් අබියෙස තබති. පූසාරි (කපුරාළ) තෙමේ සුවඳ දුම් අල්ලා පූජා ඔප්පු කොට රැස්ව සිටි ජනයා අතර ඒ පූජා ද්‍රව්‍ය බෙදා දෙයි. ඉන් පසු අයියනාර් පිළිමය ඉදිරියෙන් තිරයක් ඇද "වීරන්" භටයන්ට බිලිපූජා පවත්වනු ලැබේ. තන්ජෝර් දිස්ත්‍රික්කයේ ෂියාලි පෙදෙසෙහි ද මේ අයියනාර් මංගල්ලය වසක් පාසා පැවැත්වේ. අන් සියලු ද්‍රවිඩ ප්‍රදේශයන්හි දී ම අයියනාර්ට උසස් තැනක් ලැබී ඇති නමුත් ත්රිවිනොපොලියේ මහාකාලිකුඩියෙහි ඔහු මහාකාලියගේ යටත් සේවක සුළු දෙවියකු වශයෙන් සලකනු ලබන බව පෙනේ.
ලාංකික ද්‍රවිඩයන්ගේ "කුසවේර්" හෙවත් කුඹල් ජනයා අතර පවත්නා අයියනාර් ඇදහීම ද හාත්පසින් ම දකුණු ඉන්දියානු ලක්ෂණයන්ගෙන් සමන්විතය. අශ්වයා අයියනාර්ගේ සලකුණ වශයෙන් සලකන ඔවුන්ගේ ගම්වල පාරවල් අයිනේත් වෙල් මැදත් මැටියෙන් තැනූ අශ්වරූප තබා ඇත්තේය. යාපනයේ වන්නි පෙදෙසෙහි වෙල්ලාල (ගොවි) කුල ජනයාගේ අයියනාර් කෝවිලක් ද අරාලි පෙදෙසෙහි කරෙයියර් (මසුන් මරන) කුල ජනයාගේ අයියනාර් කෝවිලක් ද චුන්නාකම් පෙදෙසෙහි පහත් යයි සම්මත කුලවල ජනයාගේ අයියනාර් කෝවිලක් ද වෙයි. චුන්නාකම් කෝවිලේ මාර්තු-අප්‍රේල් අතර කාලයේ පවත්වනු ලබන මංගල්ලයේ දී එළුවන් දහස් ගණනින් මරා බිලි දීම විශේෂ ලක්ෂණයකි.
(සංස්කරණය:1963)