අජන්තා (අජන්ටා)

සිංහල විශ්වකෝෂය වෙතින්
16:10, 12 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ වයඹදිග හයිදරාබාද්හි උත්තර අක්ෂාංශ 20 32' හා නැගෙනහිර දේශාංශ 75 48' ආශ්‍රිතව පිහිටි ගමක් ද ඊට නුදුරුව පිහිටි කඳු වැටියක් ද මෙනමින් හැඳින්වේ. අජන්තා කඳු වැටියට සභ්‍යාද්‍රිපර්‍වත යන නාමය ද ව්‍යවහාර වේ. ඩෙකාන් සානුව සෑදී ඇති යමහල් පාෂාණ මෙහි ද ඇති හෙයින්, අජන්තා ප්‍රදේශය සාරවත් ගොවිබිමකි. ලින්සීඩ් හා කපු මෙහි නිපදවන ප්‍රධාන ද්‍රව්‍යයෝ ය. අජන්තා කඳු පෙදෙසෙහි ඉන්දියාරි හෙල් අතර වාගුරා (භාගුර) නම් කඳුර ආශ්‍රිත පටු ගැඹුරු නිම්නයේ පාර්ශ්වයන්හි සෝපානාකර පාෂාණ පන්තිවලින් සෑදී ඇති අජන්තා ගුහා නිසා මේ ග්‍රාමය මහත් ඓතිහාසික ප්‍රසිද්ධියක් උසුලයි.

බොම්බායේ සිට සැතපුම් 300ක් පමණ ඊශාන දිගින් පිහිටි අජන්තා ග්‍රාමයට, අවුරංගාබාද් නුවර සිට දුර සැතපුම් 55කි. මේ මහාමාර්ග පුරාණ අජන්තා නගරය ඔස්සේ වැටී ඇත. අජන්තා ගුහා පිහිටියේ පුරාණ නගර භූමියට සැතපුම් 5ක් පමණ උතුරෙනි.

D-5.jpg

ලෙන්: අජන්තාව විශ්වකිර්තියට පත්වී ඇත්තේ කඳු බෑවුමෙහි පිහිටි බෞද්ධ ලෙන් විහාර හේතු කොටගෙනය. ක්‍රිස්තු පුර්‍ව දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂයෙන් හත්වැනි සියවස දක්වා වූ කාලපරිච්ඡේදයට අයත් මෙම ලෙන්විහාර බෞද්ධ භික්ෂූන් විසින් කොට ලදැයි සලකනු ලැබේ. තනි කෙළින් පිහිටි කඳුබෑවුමෙන් අඩි 250ක් පමණ ඉහළින් නැගෙනහිර සිට බස්නාහිර දෙසට යාර 600ක් පමණ හරියක අර්ධකවාකාර විහිදී ඇති ලෙන් ගණන 30කි. මින් ඇතැම් ලෙන් සම්පූර්ණයෙන් නිමවා නොමැතියි. ලෙන් සියල්ලෙහි ම පාහේ බිත්ති, සීලිම්, කුලුනු ආදිය බුද්ධ චරිතය හා ජාතක කථාවක් නිරූපණය කරන සිතුවම්වලින් කලින් ගහනව පැවැති නමුදු ඉතා සුළු කොටසක් පමණි.

වනගතවීමෙන් ජරාවාසව තිබූ අජන්තා ලෙන් හා බිතුසිතුවම් නැවත සොයාගනු ලැබුයේ 1819 වර්ෂයේ දී මදුරාසි යුද්ධ හමුදාවේ නිලධාරීන් විසිනි. දඩයම් පිණිස වනයෙහි සැරිසරද්දී අහම්බෙන් ඔවුන්ට මෙම ලෙන් මුණ ගැසිනි. 1843 දී මෙම ලෙන් හා සිතුවම් පිළිබඳ ජේම්ස් ෆගසන් විසින් අගනා ලිපියක් සපයා රාජකීය ආසියාතික සංගමයේ දී කියවීමෙන් පසු අජන්තාව කෙරේ වියතුන්ගේ හා කලාරසිකයන්ගේ සැලකිල්ල යොමු විය. පළමුවෙන් ම නැගෙනහිර ඉන්දියානු සමාගමේ මෙහෙයීමෙන් රොබට් ගිල් නමැති යුද්ධ නිලධරයා විසින් සිතුවම් තිහක් පමණ පිටපත් කරන ලදි. 1872 හා 1885 අතර කාලයේ දී බොම්බායේ කලායතනයේ ආචාර්ය ග්‍රිෆිත්ස් විසින් සිය ශිෂ්‍යයන්ගේ ද සහාය ඇතිව අජන්තා බිතුසිතුවම් රාශියක් පිටපත් කැරිණ. ලන්ඩන්හි ක්‍රිස්ටල් මාළිගයේ හා දකුණු කෙන්සිංටන් කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙද්දි මෙම අගනා සිතුවම්වලින් බොහොමයක් ගින්නෙන් විනාශ විය. අවශේෂ සිතුවම් වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ ඉන්දියානු අංශයෙහි ප්‍රදර්ශනය පිණිස තබන ලදි. ක්‍රමයෙන් විශ්වකීර්තියට පත් අජන්තා සිතුවම් සුප්‍රසිද්ධ චිත්‍රශිල්පින් විසින් පිටපත් කරන ලදුව ලෝකයේ නොයෙක් කෞතුකාගාර හා ප්‍රදර්ශනාගාර තුළ සුරක්ෂිතව තැන්පත් කොට තිබේ.

1879 වන විට අජන්තාවේ බිතුසිතුවම් ශේෂව පැවැත්තේ ලෙන් සොළොසක පමණි. මෙම බිතු සිතුවම් ප්‍රසිද්ධියට පත්වීම ද ඒවායේ විනාශයට කරුණු විය. වැසි/සුළංවලින් හා වනසතුන් ලැගීමෙන් පමණක් නොව ඇතැම් නිලධාරීන් විසින් ඒ ඒ කෞතුකාගාරයන්හි තැන්පත් කිරීම සඳහා සිතුවම් කැබලි වෙන්කොට ගැනීම නිසා ද කලා කෘතින් නොහදුනන පුද්ගලයන්ගේ කුරුටු ගෑම් නිසා ද අජන්තා බිතුසිතුවම්වලට ඉමහත් හානි සිදුවිය. 1908 දී හයිදරාබදයේ නිසාම් රජය විසින් අජන්තා ලෙන් ආරක්ෂා කිරිම පිණිස වැඩ පිළිවෙලක් යොදන කාලයේ දී වැදගත් බිතුසිතුවම් විනාශ නොවී පැවැත්තේ අංක 1, 2, 9, 10, 16, 17 යන ලෙන්වල පමණි.

මෙම ලෙන්වල බිත්ති සිලිම් හා කුලුනු බිතුසිතුවමින් පිරි තිබුණේ වුව ද දැනට ශේෂ වී ඇත්තේ සිතුවම් ස්වල්පයකි.

ඉහත සඳහන් ලෙන් සය අතුරෙන් අංක 9 සහ 10 දරන චෛත්‍යශාලා ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පමණ අයත් වේ. දහවැනි ලෙනෙහි දක්නා ලැබෙන ශිලාලිපි දෙකන් හා සිතුවම් ශෛලියෙන් ද එය පැහැදිලි වේ. විෂය ද ශෛලිය ද අතින් මෙම සිතුවම් හා භාර්හුත් හා සාඤ්චි කැටයම් අතර අතිශයින් සමාන බවක් දැක්වෙන හෙයින් මෙම සිතුවම් හා කැටයම් සමකාලින බැව් සැලකිය හැක.

ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයෙහි සිට තුන්වන සියවසේ අවසානය දක්වා කවර හේතුන් නිසා හෝ අජන්තා ලෙන්වල නිර්මාණය තාවකාලිකව ඇන සිටි බව පෙනේ. සිව්වන සියවසේ සිට සත්වන සියවස දක්වා අලංකාර ගල්කැටයමින් හා බිතු සිතුවමින් හෙබි මහායාන ලෙන් නිර්මාණය කරන ලදි. අජන්තා බිතුසිතුවම් වැඩි ප්‍රමාණය නිමවී ඇත්තේ මෙම වකවානුවේ දී ය.

අජන්තා ලෙන් "චෛත්‍යශාලා" හා විහාර යන දෙවර්ගයට අයත් වේ. අංක 9, 10, 19, 26 හා 29 දරන ලෙන් ච්‍යෛශාලාය. සෙසු ඒවා විහාරගණයට ඇතුළත්ය. නිර්මාණය කාලය අනුව මෙම චෛත්‍යශාලා හා විහාර හීනයාන මහයාන යයි සම්ප්‍රදාය දෙකකට බෙදා දැක්වේ. මින් බොහොමයක ශිලාලිපි නොමැති හෙයින් ඒ ඒ ලෙන් කරවු කාල දත හැක්කේ නිර්මාණ සැලැස්ම හා මුර්ති කැටයම් හෛලිය අනුවය.

හීනයාන බෞද්ධ ලෙන් (ක්‍රි.පූ.200 - ක්‍රි.ව.150):-

චෛත්‍යශාලා  : අංක 9, 10

විහාර  : අංක 8, 12, 13

මහයාන බෞදධ ලෙන් (ක්‍රි.ව.450 – 650):-

චෛත්‍යශාලා  : අංක 1, 5, 6, 7, 11, 15, 16

විහාර  : 17 , 18, 20, 21, 21 - 25, 27, 29

අංක 14 හා 28 සම්පුර්ණෙන් නිමවී නැත.

D-6.jpg

චෛත්‍යශාලා: භික්ෂුන්ගේ ධර්මශාලාව වශයෙන් හෝ රැස්වීම් ශාලාව වශයෙන් හෝ ගැනෙන චෛත්‍යශාලාවෙහි පසු භාගය කවාකාර වූ දිගටි ශාලාවකින් යුක්ත වේ. එහි හරි මැද ගලින් නෙළන ලද චෛත්‍යයක් (පුජා ස්තූපයක්) හා ඉදිරිපස ගල්කුලුනු පේළි දෙකක් ද වේ. චෛත්‍යය හාත්පස පිහිටි ගල් කුලුනු හේතුකොටගන කුලුනුවලට බිත්තියට අතර කොටස ප්‍රදක්ෂිණා පථයක ස්වරූපය ගනි. කුලුනුවලින් මැදි වූ ශාලාවේ පියස්ස සාමාන්‍යයෙන් අර්ධකවාකාරය. ප්‍රදක්ෂිණාපථය අඩක් වක් වූ පියස්සකින් යුක්ත වේ. චෛත්‍යශාලාවේ අර්ධකවාකාරය. ප්‍රදක්ෂිණාපථය අඩක් වක් වූ පියස්සකින් යුක්ත වේ. චෛත්‍යශාලාවේ දොරටුව චෛත්‍ය කවුළුවකින් අලංකාර කොට තිබේ. (චෛත්‍ය ශාලාව බ.) 200px}center අජන්තාවේ හීනයාන චෛත්‍යශාලා ගල හාරා නිමවන ලද නමුදු ලීගොඩනැගිලි ක්‍රම අනුකරණය කොට ඇති පියසිවල ලී පරාළ ද යොද තිබිණ. මහයාන ලෙන්හි පිළිබිඹු වනුයේ චෛත්‍යශාලා නිර්මාණයේ පරිණත අවධියකි. ලී ගොඩනැගිලි ක්‍රම අනුකරණය එහි බොහෝ දුරට අඩුවී තිබේ. හීනයාන ලෙන්වල හර්හුත් හා සාංචි කැටයම්වල මෙන් බුද්ධ ප්‍රතිමාව නොදක්නා ලැබේ. එසේ වුවද ප්‍රතිමා වන්දනාව උසස් ලෙස සැලකු මහායානිකයින්ගේ නිර්මාණයේ බුද්ධබෝධිමසත්ව ප්‍රතිමාවත් පිරි පවතිත්.

අජන්තා චෛත්‍යහාලා අතුරෙන් අංක 10 දරන ලෙන (95'x41'x36') පැරණි ම නිර්මාණය ලෙස සලකති. හීනයාන නිර්මාණයක් වූ මෙය භාජා බේද්සා ආදි තන්හි චෛත්‍යශාලා මෙන් චාම් සැලැස්මකින් යුක්තය. ශාලාව තුළ ඇති අට්ටපට්ටම් කුලුනු පාදම් පේකඩ කැටයම් සැරසිලිවලින් තොරය. ශාලාවේ මැදි පියස්සෙහි වට ලී පරාල සවිකොට තිබිණි. මෙය ලියෙන් තැනුණු පියස්සක් අනුකරණය කිරිමක් විනා අවශ්‍ය අංගක් නොවීය. ප්‍රදක්ෂිණාපථයේ පියසිවල ද ලී පරාළ අනුකරණය කොට ගලින් නෙලන ලද පරාළ දක්නා ලැබේ. ශාලාවේ පසුභාගයෙහි පිහිටි විශාල පුජා ස්තූපයේ මුදුන මුල් යුගයේ දී දැවමුවා ඡත්‍රයකින් යුක්ත වූ බව පෙනේ. මෙම ලෙනෙහි බිත්තිවල කොටා ඇති ලිපි ක්‍රිස්තු පුර්ව දෙවැනි සියවසට අයත් සේ සැලකේ. සිතුවම් ද හර්හුත් සාංචි කැටයම්වල ශෛලියට සමාන ය.

හීනයානිකයන්ගේ නිර්මාණයක් වූ අංක 9 දරන අජන්තාවේ අනෙක් චෛත්‍යශාලා බාහිර සැලැස්ම සතරැස්ය. මෙය අවශේෂ චෛත්‍යශාලා වන්හි නොදක්නා අංගයකි. ප්‍රදක්ෂිණාපථයේ පියස්ස පැතලි වීම තවත් විශේෂ ලක්ෂණයකි. චෛත්‍යශාලා දොරටුවේ ඉදිරි පාර්ශ්වය චෛත්‍ය කවුඵ ගරාදි වැටවල් ආදි කැටයම්වලින් විසිතුරු ලෙස සරසා ඇත. ශාලාවේ පාර්ශ්වයන්හි නෙළා ඇති විශාල බුද්ධරූප පස්වන හෝ සවන සියවස පමණේ දී නිමවන ලද බව සැලකේ. මෙය අජන්තාවේ පැරණි ම චෛත්‍යශාලා යනු ප‘ගසන්ගේ අදහසයි. එහෙත් මෙම චෛත්‍යශාලාවේ අංගෝපාංග අන්‍රකමයෙන් දියුණු වයු බවක් පිළිඹිබු කරන හෙයින් මෙය ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසට වඩා පැරණි නොවේය යනු වැඩිදෙනාගේ පිළිගැනීමයි.

හීනයානික හා මහායානික නිර්මාණයන් අතර ශතවර්ෂ කිහිපයක පරතරයක් ඇතත් සාමාන්‍ය සැලැස්ම අතින් එතරම් වෙනසක් නොදක්නා ලැබේ. එසේ වුවද මහායාන ලෙන් අත්‍යලංකරණයෙන් උපලක්ෂිතය. ඒවා බිතුසිතුවම් පමණක් නොව විවිධ ආසන හා මුද්‍රා දැක්වෙන බුද්ධ බෝධිසත්ව ප්‍රතිමාවලින් ද අලංකාර මල්කම් ලියකම් සැරසිලිවලින්ද පරිපුර්ණ ය.

අජන්තාවේ මහායාන චෛත්‍යශාලා අතුරෙන් අංක 19 දරන ලෙස ප්‍රථම නිර්මාණය හැටියට සැලැකිය හැක. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙය විසිතුරු කැටයම් සැරසිලිවලින් යුත් විශිෂ්ට නිර්මාණයකි. ප්‍රදක්ෂිණාපථයේ පියස්ස පැතලිය. මුල් යුගයේ ව්‍යවහාර වූ චාම් කුලුනු වෙනුවට මෙහි දක්නා ලැබෙන්නේ පාදම් හා පේකඩ සහිත වූ දර්ශනිය කැටයමින් යුත් විසිතුරු කුලුනුය. කුලුනු පෙළ මත පිහිටි මැද ශාලාවේ පියස්ස වටා දිවෙන ගල්කැටයම් පේළිය හීනයාන චෛත්‍යශාලාවන්හි නොදක්නා නවාංගයකි.

මෙය සිද්ධ ගාන්ධර්වාදින් විසින් පිරිවරනලද බුද්ධරූප දැක්වෙන කැටයම්වලින් ගහනය. උස් වේදිකාවක් මත පිහිටි පුජා ස්තූපයේ ඉදිරිපස සිටි පිළිමයක් නෙළා තිබේ. මෙය ද හීනයාන ලෙන්හි නොදක්නා ලක්ෂණයකි. සතුපයේ මුදුන් ජත්‍රාවලිය කින් යුක්ත වේ. චෛත්‍යශාලා සැරසිලි දක්නා ලැබේ. මෙහි වූ විශාල ප්‍රස්තරයේ උඩු කොටස තුර්යවාදකයන්ගේ ශාලාව වශයෙන් සැලකේ. මීට පිටිපසින් විශාල චෛත්‍ය කවුළුව පිහිටියේය. චෛත්‍යශාලාව ඉදිරිපිට පෙදෙසෙහි කුඩා මන්දිර සහිත ද්වාරාංගණයක් ද වූ බව පැහැදිලිය.

අංක 26 දරන චෛත්‍යශාලාව ද සාමාන්‍ය සැලැස්ම නිර්මාණ විධි ආදියෙන් දහනවවැනි චෛත්‍යශාලා හා සමාන වේ. එහෙත් මෙහි මුල් නිර්මාණයට වඩා කැටයම් සැරසිලි අධිකය. මෙහි පුජා ස්තූපය ද නොයෙක් කැටයම්වලින් ගහනය. ස්තූපගර්භයේ ඉදිරිපස නෙළා ඇති පඤ්ජරය තුළ ප්‍රලම්බපාද ආසනයෙන් වැඩසිටින පිළිමයක් වේ. චෛත්‍යශාලා වට ඇතුළු වීම සදහා දොරට තුනකි. ඉදිරි පාර්ශ්වයේ පුළුල් ආලින්ද යක් ද ඇත.

විහාර: ලෙන්විහාර නොහොත් සංඝාරාම අරණ්‍යවාසී බෞද්ධ භික්ෂුන්ගේ වාසස්ථාන විය. එක් එක් විහාරයක් සතරැස් ශාලාවක් වටා පිහිටි කුඩා කුටි පෙළකින් සෑදිණි. මුල් යුගයේ දී ශාලාව කුලුනුවලින් තොරවූ නමුත් මහයාන විහාරයන්හි පියස්ස දරා සිටිනා අයුරු පිහිටි ගලින් ම නිමවු කුලුනුපේලි දක්නා ලැබේ. ලෙන්විහාර ද චෛත්‍යශාලා මෙන් ලී ගොඩනැගිලි අනුකරණය දක්නට ඇත්තේ මද වශයෙනි. ක්‍රමයෙන් දියුණු වූ මහායාන සම්ප්‍රදායට අයත් ලෙන් විහාර, මැද ශාලාව කුටි පිළිමගෙය හා ආලින්දය යන අංගෝපාංගයන් ගෙන් සමන්විතය.

අජන්තා විහාර අතුරෙහි අංක 12 දරන ලෙන මුල් අවදියේ ම නිමවන ලද්දකි. දැනට විහාරයේ ඉදිරි පාර්ශ්වය විනාශ වී ඇත. මැද ශාලාව කුලුනුවලින් තොරය. එක් එක් කුටිය තුළ භික්ෂුන්ගේ සුඛවිහරණය සඳහා කළ ශෛලමය ශයවාසනය බැගින් වේ. මෙම විහාරයට සමාන සැලැස්මකින් යුත් අංක 13 දරන විහාරය ද හීනයන නිර්මාණයකි.

මහායාන විහාර පන්තියෙහි පැරණි නිර්මාණය ලෙස සැලකෙන්නේ අංක 11 දරන ලෙන ය. මෙහි මැද ශාලාවේ පසු තීරයේ කුටි පෙළ අතර හරි මැදින් පිහිටි කුටිය පිළිමගෙයක් බවට පරිවර්තනය වී ඇත. මෙහි වූ වැඩසිටි පිළිමය හාත්පස ප්‍රදක්ෂිණාපථයක් ද වේ. විහාරයේ නිර්මාණ කාලය නියම වශයෙන් දත නොහැකි වුවද එය පස්වන සියවසේ බමුල් භාගයට අයත් සේ සලකනු ලැබේ. විහාරයන්හි මැද ශාලාවේ කුලුනුපේලි එක්තරා පිළිවෙලකට ක්‍රමයෙන් හැඩගැසුණු අයුරු අංක 7 සහ 6 දරන ලෙකන්වලින් පැහැදිලි වේ. පළමු වැන්න විශේෂ සැලැස්මකින් යුක්ත ය. මෙහි ඉදිරිපසින් දීර්ඝ ශාලාවක් ද පිටුපසින් අන්තරාල යක් හා පිළිමගෙයක් ද දක්නා ලැබේ. කුටි හා හරස් කාමර මැද ශාලාවේ භූමි මට්ටමට වඩා ඉහළින් පිහිටියේ ය. අංක 6 දරන විහාරය අජන්තාවේ පිහිටි එක ම දෙමහල් විහාර මන්දිරය වේ. මෙහි යටිමාල ශාලාවේ සතරවටින් කුලුනු පෙළක් හා මැදින් කුලුනු සතරක් දක්නා ලැබේ. එහෙත් මීට වෙනස් ස්වරූපයක් ගත් උඩුමහල සමදුරින් පිහිටි කුලුනුපේලි කිහිපයක් යුක්තය. පසු කාලයේ දී නිමවන ලද විහාරවල ද මෙම ක්‍රමය අනුගමනය කොට ඇත. නෙළන ලද බුදුපිළිම විශාල සංඛ්‍යාවක් උඩුමහලෙහි වේ.

අජන්තාවේ අවශේෂ විහාරයන් අතර දර්ශනය බිතුසිතුවමින් හෙබි අංක 16, 17, 1 සහ 2 දරන විහාර ද සැලැකිය යුතු නිර්මාණයෝ වෙති. අංක 16 දරන විහාරයේ වාකාටක හරිසේන රජුගේ නම් සඳහන් ශිලා ලිපියක් ඇති හෙයින් මෙය පස්වන සියවසට පැහැදිලිය. විහාරයේ මැද ශාලාව දිගුපුළුලින් අඩි 65ක් පමණ වේ. ශාලාවේ බුදුපිළිමාදියෙන් විසිතුරු වූ වංක්‍රමණයක් ද වේ. පිළිමගෙයි ප්‍රලම්බපාදය ආසනයෙන් වැඩහිදින පිළිමයක් දක්නට ලැබේ. විහාර ශාලාවට පිවිසීමට දොරටු තුනක් වේ. මේ කාලයට ම අයත් අංක 17 දරන විහාරය ද සමාන සැලැස්මකින් යුක්ත වේ. ශාලාවන් තළ හා ආලින්දයන් හි පිහිටි විසිතුරු කැටයම්වලින් යුත් විවිධ කුලුනු නිසා ඉහත සඳහන් විහාර විශේෂ සැලැකීමට භාජනව තිබේ.

ක්‍රි.ව.600 පමණ කාලපරිච්ඡේදයට අයත් සේ සලකනු ලබන අංක 1 සහ 2 දරන ලෙන් අජන්තා විහාර අතුරෙහි විශිෂ්ටතම නිර්මාණයෝ වෙත්. ආලින්ද, ශාලා අන්තරාල ප්‍රතිමාඝර කුටි ආදි සියලු ම අඞ්ගෝපායන්ගෙන් යුත් මෙම විහාර දෙකේ බිත්ති සිලිම් හා කුලුනු බුද්ධචරිතය ගෙන හැර පාන අගනා මුර්ති කැටයම් හා බිතුසිතුවම් කරණකොට ගෙන අංක 1 දරන විහාරය මුළු භාරතයේ ම විශිෂ්ටතම ලෙන් විහාරය ලෙස සැලකේ. අංක 2 දරන විහාරයෙහි පමණ ඉක්මවා නිමවන ලද කැ‍ටයම් සැරසිලි නිසා එහි කලාත්මක අගය අඩුවී තිබේ.

ඉහත සඳහන් විහාරයන්ට අනතුරුව කරවන ලද විහාර සම්පූර්ණයෙන් නිමවා නැත. මෙයින් අංක 4 සහ 24 දරන ලෙන් විශාල කෘතිහුය. 4 වැනි විහාර ශාලාවෙ එක් පාර්ශ්වයක දිග අඩි 87ක් වේ. කුලුනු 28කින් සැදි මෙය අජන්තා විහාර ශාලාවන් අතර විශාලම නිර්මාණයයි.

අජන්තා කුලුනුවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන "උපධාන" (cushion) මෝස්තරය සහිත පේකඩ වෙනුවට අංක 21 දරන විහාරයේ කුලුනුවල යොදා ඇත්තේ පසු කාලයේදී භාරතීය ගෘහ නිර්මාණ ශිල්පයේ බෙහෙවින් ප්‍රචලිතව පැවති "කලශ හා පර්ණ" මෝස්තරයෙන් සැකසුණු පේකඩ වේ. මෙම සැරසිලි මෝස්තරයේ විකසිත අවස්ථාව අංක 24 දරන විහාර කුලුනුවල දක්නා ලැබේ. බටහිර ඉන්දියාවේ අනෙක් ලෙන් විහාරවලට ද මෙම සැරසිලි මෝස්තරය යොදා ගනු ලැබුයේ අජන්තා වෙනැ යි සලකනු ලැබේ.

අජන්තාවේ හීනයාන ලෙන් විහාර කෙටවීමේ දී ක්‍රිස්තු පූර්ව මුල් සියවස් තුළ බටහිර භාරතයේ ආධිපත්‍යය ඉසිලූ ආන්ධ්‍ර රාජවංශිකයන්ගේ අනුග්‍රහය ලැබුණු බව පෙනේ. ක්‍රි.ව.150 පමණේ සිට අජන්තාවේ ලෙන් කෙටවීම තාවකාලිකව නැවැතිණි. අනතුරුව සතරවන හා පස්වන සියවස්වල දී වාකාටක රාජවංශිකයන්ගේ අනුග්‍රහය ලැබීමෙන් අජන්තාව කලා නිකේතනයක් බවට පත්විය. වාකාටක හා ගුප්ත රාජවංශිකයන් අතර විවාහ සම්බන්ධකම් ද විය. මේ නිසා ගුප්ත කලාවන්ගේ ආභාසය ලැබ අජන්තා කලාවන් පිළිබඳ ස්වර්ණමය යුගයක් උදාවිය. වාකාටකයන්ගෙන් පසු රජ පැමිණි බටහිර චාලුක්‍යයන් හින්දු ලබ්ධිකයන් වුව ද අජන්තාවේ බෞද්ධ කලාවන්ට ඔවුන්ගෙන් හානියන් සිදු නොවීය. ක්‍රි.ව.642 දී නරසිංහවර්මන් නම් වූ පල්ලව රජු අතින් දෙවන පුලකේසින් නමැති චාලුක්‍ය රජු පරාජයට පත්විමෙන් පසු, අජන්තා ගෘහනිර්මාණ සම්ප්‍රදාය ද පරිහානියට පත් වූ බව ඇතැම් ඉතිහාසඥ‍යෝ විශ්වාස කරති.

පැරණි භාරතීය ගෘහනිර්මාණ ශිල්පය, මූර්ති කලාව හා චිත්‍ර කලාව පිළිබඳ කේන්ද්‍රස්ථානයක් වූ අජන්තාවේ කීර්තිය අතිපුරාණයේ සිට ම අනෙක් ආසියාතික රටවල ද ව්‍යාප්ත විය. සුප්‍රසිදධ චීන දේශාටකයකු වූ හියුං සාං අජන්තාවට පැමිණි බවක් ඔහුගේ ගමන් විස්තරයෙහි සඳහන් නොවෙතත්, අජන්තාවේ කලා කෘති ගැන ඔහු අසා තුබුණු බව පැහැදිලි ය. ඇෆ්ඝනිස්ථානය, මධ්‍ය ආසියාව, චීනය, කොරියාව, ජපානය හා ලංකාව ද අජන්තා බෞද්ධ කලාවන්ගේ ආභාසය ලැබූ රටවල් වේ. (ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පය, ඉන්දියානු මූර්ති කලාව, ඉන්දියානු චිත්‍ර කලාව යන ලිපි ද බ.)

පොත්පත්:

Yazdani - Ajanta (Pts. I. IV).

Fergusson and Burgess - Cave temples of India.

Smith, V.A. - A History of Fine Art in India and Ceylon.

Brown, P. - Indian Architecture (Buddhist and Hindu Period).

Ajanta - UNESCO World Art Series.

Encyclopedia of World Art, Vol. I

සංස්කරණය:1961

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අජන්තා_(අජන්ටා)&oldid=2673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි