ඇංස්ට්‍රොම් ඒකකය

සිංහල විශ්වකෝෂය වෙතින්
14:36, 19 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Angstrom Unit). ආලෝකයේ තරංග ආයාමය මැනීම පිණිස භෞතික විද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Angstrom Unit). ආලෝකයේ තරංග ආයාමය මැනීම පිණිස භෞතික විද්‍යාඥයන් භාවිත කරන දිග ප්‍රමාණයකි. වර්ණාවලි (බ.) පිළිබඳ විශිෂ්ට විද්‍යාඥයකු වූ ස්වීඩ් ජාතික ඇංස්ට්‍රොම්ගේ නාමයෙන් එය හැඳින් වේ.

ඇංස්ට්‍රොම් ඒකකය මයික්‍රෝනයකින් (බ.) දස දහසෙන් පංගුවකි. මයික්‍රෝනය මීටරයකින් දස ලක්ෂයෙන් පංගුවකි. එහෙයින් ඇංස්ට්‍රොම් ඒක කය මීටරයකින් 10-10 ලෙස ද දැක්විය හැකිය. සෝඩියම් (බ.) (කහ) ආලෝකයේ තරංග ආයාමය ඇංස්ට්‍රොම් ඒකක (A) 5,890ක් පමණ වේ.

යටකී ඒකකය නිරපේක්ෂ ඇංස්ට්‍රොම් ඒකකයයි. වායුගෝලීය පීඩනයට අනුව වර්ණාවලීක්ෂ තරංග ආයාම වෙනස් වන හෙයින් ඒ හේතුවෙන් ඇති වන අපහසුකම් වැළැක්වීම පිණිස අන්තර් ජාතික ඇංස්ට්‍රොම් ඒකකය (I.A.) ලෙස වෙනත් ඒකක යක් නියම කරගෙන තිබේ. සෙන්ටිග්‍රේඩ් අංශක 15ක උෂ්ණත්වයක් හා රසදිය මිමී. 760ක පීඩනයක් පවතින විට වියළි වාතය තුළ කැඩ්මියම්වල (බ.) රතු රේඛාවට අනුරූප වන තරංග ආයාමය මේ ඒකකයෙන් නිවැරදි ලෙස ප්‍රකාශ කළ හොත් 6438-4696කි. මේ ඒකක දෙක සමාන වන්නේ රික්තයක දී පමණකි. ඇස්ට්‍රොම් හා මයික්‍රෝන යන ඒකක දෙක ද්‍රව පටල ආදියෙහි ගනකම වැනි කුඩා ආයාම ප්‍රකාශ කිරීම සඳහා ද භාවිත කරනු ලැබේ.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇංස්ට්‍රොම්_ඒකකය&oldid=2972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි