ඇක්වයිනාස් (අක්විනාස්), සාන්ත තෝමස්
(ක්‍රි.ව. 1225–1274). ඉතාලියේ ඇක්විනෝ නගරය අසල ස්ථානයක උපන් මෙතුමා ස්කොලාස්ටික (පණ්ඩිතවාදී) දාර්ශනිකයන් අතුරෙහි ශ්‍රෙෂ්ඨතමයා ලෙස ද අද්විතීය දේවධර්මඥයකු ලෙස ද සැලකේ.
නේපල්ස් විශ්වවිද්‍යාලයේ දී අධ්‍යාපනය ලත් ඇක්වයිනාස් 1244 දී ඩොමිනිකන් නිකායට ඇතුළු විය. ඉක්බිති දේවධර්මය හැදෑරීමට පැරිසියට ගිය හෙතෙම, මවගේ කීම පරිදි සහෝදරයන් දෙදෙනා විසින් පැහැර ගෙනයනු ලැබ පියාගේ බලකොටු මන්දිරයෙහි සිර කොට තබන ලදි. එහි දී පවුලේ උදවිය විසින් දරන ලද නැතක් පරිශ්‍රමවලිනුත් තෝමස් ලෞකික ජීවිතයට හරවා ගැනීමට නොහැකි විය. අන්තිමේ දී මව විසින් ම ඔහුට බේරී යෑමට මග සලස්සන ලදි.
1245 දී පැරිසියේ දී ඩොමිනිකන් නිකායික මහා ඇල්බට් (Albertus Magnus) නම් ඇරිස්ටෝටලියානුවාදී ආචාර්යවරයා යටතේ දේව ධර්මය උගත් තෝමස්, මහා ඇල්බට් කොලෝන් නගරය කරා මාරු කර හරිනු ලැබූ කල්හි ඔහු පසු පස ගොස් 1252 දක්වා ම ඔහුගෙන් උගත්තේය.
ඉක්බිති ඔහු පැරිසියට පැමිණ සත් අවුරුදු කලක් දේව ධර්මය ඉගැන්වීමෙහි යෙදී සිට පෙරළා සියරටට ගොස් රෝමය ඇතුළු නගර කිහිපයක ම පාප්තුමා විසින් වරින් වර පවත්වන ලද "ස්ටේඩියම්" නම් ආයතනයන්හි දේව ධර්මය උගන්වමින් නව අවුරුද්දක් ඉතාලියේ විසීය. මෙවක (1268) පැරිස් විශ්වවිද්‍යාලයෙහි ඇති වූ අවරෝඊස්වාදී විප්ලවයන් බිඳහළීම සඳහා ඇක්වයිනාස් යළි එහි කැඳවනු ලැබීය. 1272 දී නේපල්ස් විශ්වවිද්‍යාලය ප්‍රතිසංවිධානය කිරීම පිණිස යළිත් ඉතාලියට ගිය මෙතුමා 1274 දී ග්රැගරි X පාප්තුමා විසින් ලියොන්හි ධර්මාධිකරණයට ආරාධිතව ඉතාලිය හරහා කොටළුවකු පිට යමින් සිටිය දී අසනීප වී එකුපනස් වියේ දී ස්වර්ගස්ථ විය.
මොළොක් තෙපුල් ඇති, සල්ලාපයෙහි ප්‍රිය වූ, නිරතුරු ප්‍රීති ප්‍රමෝදයෙන් පසු වූ, ක්ෂාන්තියෙන් පිරි, දයාදාක්ෂිණ්‍යයෙන් හා සානුකම්ප හදකින් යුත් වූ, ශ්‍රද්ධාභක්තියෙන් අනූන වූ එතුමා හැම විවේක මොහොතක් ම ගෙවුයේ යාච්ඤාවෙන් හෝ ගැඹුරු ආගමික හා දාර්ශනික චින්තනයන්හි නිමග්නවය. 1323 දී එතුමා කතෝලික සාන්තුවරයකු හැටියට ප්‍රකාශ කරනු ලැබීය.
සාන්ත තෝමස් ඇක්වයිනාස් දේවධර්මය හා දර්ශනය, අධ්‍යාත්ම විද්‍යාව, ආචාර ධර්මය හා රාජ්‍ය තන්ත්‍රය ගැන මහත් සැලකිල්ලක් දැක්විය.
කර්තෘ:කාර්යාලය
දේවධර්මය හා දර්ශනය:
දේවධර්මඥයකු මෙන් ම දාර්ශනිකයකු ද වූ ඇක්වයිනාස් දේව ධර්මයත් දර්ශනයත් එකිනෙක හා සමීපාශ්‍රයට පත්ව පැවති කල්හි පවා එම විනයනද්වය එකිනෙකින් වෙසෙසාම හැඳින්විය. ඔහුගේ ක්‍රමය වූයේ නියම ක්‍රිස්තියානි පණ්ඩිතවාදීන්ගේ (ස්කොලාස්ටිකවරුන්ගේ) ක්‍රමය මය. එනම් උද්ගාමී තර්කණය සේ ම නිගාමි තර්කණය ද අනුභූතිය සේම සිද්ධීන් ද ශුද්ධ ලියවිලිවල අධිකාරය සේම ආගමික නායකයන්ගේත් කලින් සිටි චින්තකයන්ගේත් ප්‍රකාශන ද වහල් කොට ගැනීමයි. එතුමා ඇරිස්ටෝටල් හා ශුද්ධ අගෝස්තීනු ආදී ග්‍රීක හා රෝම දාර්ශනිකයන්ගේත් ක්‍රිස්තියානි සභාවේ පිතෘන්ගේත් ඉගැන්වීම් අතිශයින් උපයෝගී කොට ගත්තේය. අනූන විශ්ලේෂණ ශක්තියකින් හෙබි එතුමා ඊටත් වැඩි තරම් වූ සංශ්ලේෂණ හා නිර්මාණ ශක්තියකින් යුක්ත විය. තවද එතුමා විසින් ඇරිස්ටෝටල් බව්තිස්ම කරන ලදැයි යනුවෙන් අදහස් කැරෙන්නේත් හුදෙක් ඇරිස්ටෝටල්ගේ මත හා ක්‍රිස්තියානි සභාවේ ඉගැන්වීම් නාමමාත්‍ර වශයෙන් මතුපිටින් පමණක් සාමග්‍රීකරණයකට පැමිණ වූ බවක් නොවේ. එතුමාට ඕනෑ කළේ ඇරිස්ටෝටල්ගේ දාර්ශනික තර්කයන් ඒවායේ පත්ලට ම කිමිදී බැලීම විනා, එවක පැවති දේව ධර්ම සැකිල්ලට ගළපා යොදා ගත හැකි කරුණු පමණක් රැස් කර ගැනීම නොවේ.
"එතුමා දෙවියන් වහන්සේ හා ප්‍රේමයෙන් පසු වූ පරිපූර්ණ බුද්ධිවාදියෙක් විය". බුද්ධිවාදයෙන් තෘප්තියට නොපත් එතුමා ආගමික අධිකාරයේ සරණ ඊට ආදේශකයක් වශයෙන් සෑහෙතැයි කිසි සේත් නොසිතීය. "සුම්මා කොන්ත්‍රා ජෙන්ටිලේස්" (Summa Contra Gentiles) නම් ග්‍රන්ථයෙහි ස්වභාව හේතූන් පිළිබඳ ක්ෂේත්‍රය භක්තිය පිළිබඳ ක්ෂේත්‍රයෙන් වෙන් කිරීමෙන් ක්‍රිස්තියානි නොවන්නන්ගේ විරුද්ධවාදී තර්කයන්ට එතුමා පිළිතුරු දෙයි. එතුමාගේ ඉගැන්වීම් අනුව, දර්ශනය එහි නිගමනයන් කරා එළඹෙන්නේ අනුපකෘත විචාර බුද්ධිය මගිනි; දේවධර්මයේ නිගමන වූ කලි ආකස්මික ශ්‍රැතිය හා ආගමික සභාවේ ඉගැන්වීම්වල අධිකාරය මුල් කොට පවත්නේය. එහෙත් මේවා සහායක විෂයෝය. එම විෂයයන්හි සැලකිල්ලට භාජනව ඇත්තේ එක ම කරුණුය; එහෙත් දෙවිධියකිනි. දර්ශනය, ඉන්ද්‍රිය ගෝචර දත්තයන් කෙරෙන් පටන්ගෙන දෙවියන් වහන්සේගේ සත්වය, ඒකත්වය, සාධුත්වය, බුද්ධිය හා දේව අභිප්‍රාය කරා පැමිණේ. දේව ධර්මය, ශ්‍රැතිය හා ආගමික අධිකාරය මගින් දෙවියන් වහන්සේ හුදෙක් ආධ්‍යාත්මික සත්තාවක් - එනම් පුද්ගල ත්‍රිත්වයකින් සමන්විත සත්තාවක් - හැටියට විජානනය කරයි. එකක් අනික විසින් එළඹෙන ලද ඥානය (දැනුම) ගැන සැලකිලිමත් විය යුත්තේය. නිගමන මාර්ගයන්ගේ වෙනස නිසා එකක් අනිකෙන් දූෂිත වේය යන බියක් ඇති නුවුවමනායි. භක්තිය වඩාත් වැදගත් වනුයේ එය මිනිසාට සාමාන්‍යයෙන් හිමි කරගත නොහැකි විධියේ ඥානයක් පිරිනමන හෙයිනි. තවද මෙය විචාර බුද්ධිය පරයා යන්නක් යයි ද කියනු ලැබේ. අනික් අතට, එකක් අනිකට පරස්පර විරෝධී විය හැක්කේ ද නොවේ. සත්‍යයේ එක ම ප්‍රභවයෙන් - එනම් පරම කේවල ඒකත්වය වූ දෙවියන් වහන්සේ කෙරෙන් - ඒ දෙක ම පැනනැඟි හෙයිනි.
මානව විකල්ප (concepts) ඍජු ඥානයට ගෝචර වූ වස්තු සේ නොසලකන ඇක්වයිනාස්, අතිමානය තාත්ත්විකත්වයට ඒවායේ ඇති අනුරූපතාව පැහැදිලි කරන සාධක කවරේ දැයි කිසිවිටෙක නොවිමසයි. සකලවිධ ඥානය ම ඉන්ද්‍රිය අනුභූතිය කෙරෙන් පහළ වේ. මෙහි දී මනසේ උත්තරීතර බලය ක්‍රියාකාරී වී භාවසූවක (abstract) හා සාමාන්‍ය (universal) අදහස් තනයි. ඇක්වයිනාස්ගේ ඥාන විභාගය ඔහුගේ මානසික විද්‍යාව හා ගැළපේ. මෙහි ද්‍රව්‍ය - ආකෘති විශේෂතාව දැඩිවම උපයෝගී කොටගෙන ඇත. ආත්මය ශරීරයේ සාරමය (substantial) ආකෘතියයි. මිනිසත්බව හේතුකොටගෙන ම මිනිසා වූ කලි ශාරීරික වූද වර්ධක වූද සංවේදී වූ ද බුද්ධි ප්‍රේරිත වූ ද සත්තාවකි. ඔහු ශරීරයක් වාසභවනය කොටගත් භූතාත්මයක් නොව එය හා සබැඳි කේවල දැයකි. කාය චිත්ත ඒකත්වය පිළිගැනීමේ දී ආත්මයේ අමරණීයභාවයට විරුද්ධව පැනනඟින තර්ක නිරාකරණය කිරීමට එතුමා වෙහෙස දරා නැත. ඇක්වයිනාස් හට එක් මට්ටමක සිට අනිකකට එතරම් සුකර ලෙස මාරුවීමට පිළිවන්කම සලස්වන එතුමාගේ සුඛනම්‍යතාව පිළිබඳ නිදසුනකි මෙය.
අධ්‍යාත්ම විද්‍යාව:
අධ්‍යාත්ම විද්‍යාව යනුවෙන් එතුමා සැලකුවේ සත්තාව සත්තාව හැටියට සැලකීම පිළිබඳ විද්‍යාවයි. ඇක්වයිනාස්නිබඳව ම තාත්විකවාදියකු වූයෙන් එතුමා භවයට පැමිණ පවත්නා පරිමිත සප්‍රාණ සත්වය ගැන සිත යෙදීය. එසේ ද වුවත් ඇක්වයිනාස් බහුතර වශයෙන් සිත යෙදුයේ සාරය හා සත්වය වශයෙන් දෙකක් නොව එකක් ම වූ පරමෝත්තර සත්තාව ගැනය. පරිමිත සත්වයක හැම අවස්ථාවකම, අපරිපූරිත විභවතාවක් ඇති අතර, හුදු විභවයන්ගෙන් විනිර්මුක්ත වූ සම්පුර්ණයෙන් තථ වූ හෙවත් නිරපේක්ෂ ලෙස පාරප්‍රාප්තියට පත් සත්තාව නම් අනන්ත සත්තාව වූ නිර්මල තථත්වය වූ දෙවියන් වහන්සේ යයි පෙන්වා දෙමින් එතුමා තථ හා විභව අතර ඇරිස්ටෝටල් දක්වන මූලික වෙනස විකසනය කරයි. එබඳු වූ පරිසමාප්තිය හෙවත් සාරය හා තාදාම්‍ය වූ සත් කාර්යය දෙවියන් වහන්සේම පමණි.
දෙවියන් වහන්සේගේ සත්තාව ස්වසාධක වූවක් නොව මානව තර්ක බුද්ධිය මගින් ඔප්පු කළ හැක්කකි: (1) විපරිණාමයේ ගමන - එනම් විභවයෙන් තථ කරා පිවිසෙන ගමන - මගින් (2) කාරණය හා කාර්යය මගින් (3) යදෘච්ඡය හා ආවශ්‍යකය මගින් (4) ද්‍රව්‍යයන්හි පවත්නා පරිපූර්ණතා මට්ටම් මගින් හා (5) විශ්වයේ පවත්නා යථා පිළිවෙළ මගින් ද වේ. හුදු විභවතාවක් හෝ ඌනතාවක් නොමැති, ප්‍රථම කාරණයක් වු ද ස්වයංභූ සත්වයක් වූ ද පරමෝත්තර, පාරප්‍රාප්ත සත්වයක් වූ ද විශ්වයෙහි පවත්නා යථා පිළිවෙළ පිළිබඳ ප්‍රමාණවත් කාරණයක් වූ ද ප්‍රථම අවිචාලක චාලකයෙක් සිටිය යුත්තේ යයි එතුමා නිගමනය කරයි. මනුෂ්‍ය මනසට දෙවියන් වහන්සේගේ ස්වභාවය මුළුමනින් ම තේරුම් ගත නොහැකිය. එහෙත් සත්වයන් තුළ යම් පාරප්‍රාප්තීන් වෙතොත් උන්වහන්සේ තුළ ඒවායේ පරමෝත්තර ප්‍රමාණයක් තිබිය යුතු බව සාදෘශ්‍ය නයින් දක්වාලිය හැකිය. උන්වහන්සේ කවරෙක් ද යන්න දෝෂ ගම්‍ය වූ සියල්ල දෙවියන් වහන්සේ නම් වූ විකල්පයෙන් බැහැර කරන ලුප්තිකරණයෙන් හෙවත් "නැත, නැත" කීම් මගින් (via negationis) අපට කිව හැකිය. එහෙත් හුදු කේවල අගයයන් සම්බන්ධයෙන් සලකා බලන කල අත්‍යාත්මක ලෙස (positively) සිතිය හැකි බව දැක්වීමෙන් යටකී මාර්ගය සාම්ප්‍රදායික නාස්තික දේවධර්මයෙන් ඔබ්බට යයි. දෙවියන්වහන්සේ යහපත් යයි කීම, උන්වහන්සේ නරක යයි කීමට වැඩි වූවක් මතු නොවේ; අප අතර දක්නා සාධුත්වය පිළිබඳ හේතුව ද උන්වහන්සේ යයි කියනුවටත් වැඩි වූවකි. වඩා නිවැරදි ලෙස කියතොත් සාධුත්වය අපගේ නොව උන්වහන්සේගේය; මෙම සාධුත්‍වය විශිෂ්ටතම මාර්‍ගය (via eminentiae) ඔස්සේ එහි උපරිම තත්‍වයට ගෙනයනු ලබන්නකි. මේ අයුරින් දෙවියන්වහන්සේ සර්වබල ධාරීය, සර්වසාධුය, අපරිවර්තනීයය, ශාශ්වතය. දෙවියන් වහන්සේ ශාශ්වත බැවින් ශාශ්වතයේ පටන් උන්වහන්සේට ලෝකය නිර්මාණය කළ හැකිව තිබුණි.
ආචාර ධර්මය:
සුම්මා තියොලොජිකා (Summa Theologica) නම් ග්‍රන්ථයෙහි හා අන් තැන්වලත් ඇක්වයිනාස් තම ආචාර ධර්මය විකසනය කරයි. සදාචාර ක්‍රියා (actus humani) වූ කලි සදාචාරය ඉක්මවා සිටින නිෂ්ඨාවක් කරා එළඹීමට යෝග්‍ය වන පරිද්දෙන් උපාය මාර්ගය සිතාමතා යොදා ගැනීමකි. සිද්ධාන්ත වශයෙන් සදාචාර ධර්ම යයි නිර්‍ණය කරගනු ලබන්නේ යමකු කරන ක්‍රියා හොඳ ද නරක ද උපේක්ෂා සහගත ද යන්න අනුසාරයෙනි; ක්‍රියාත්මක වශයෙන් නම්, "කර්තෘන්ගේ" අධ්‍යාශය හොඳ ද නරක ද යන්න මගිනි. ඒ හා අනුබද්ධ කරුණු (වටපිටාව) ද සැලකීමට භාජන විය යුතුය.
මානව ව්‍යායාමය සන්තුෂ්ටිය අරභයා වේ. තථ්‍ය වශයෙන් සන්තුෂ්ටියේ ප්‍රභවය (beatitudo) දෙවියන් වහන්සේය. එහෙත් උන්වහන්සේ අනාවරණය කොටගනු ලැබුවමනාය. උන්වහන්සේ සොයා ගැනීමට නම්, අප මෙම ආඥාපක උපන්‍යාසය මත පිහිටා යථා පරිදි ක්‍රියා කළ යුතුය. ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන දේව ධාර්මික සද්ගුණත්‍රය ද දූරදර්ශීතාව, යුක්තිය, නිර්හීතභාවය හා මිතාචාරය යනුවෙන් මූලික සද්ගුණ සතරක් ද ඒවාට ප්‍රතිපක්ෂ අසත් ධර්මයන්ද ගැන එතුමා කියයි. ("කළ යුතුය" යන්නෙන් "කළ හැකිය" යනු ගම්‍යමාන බැවින්) ඇක්වයිනාස්ගේ සදාචාර දර්ශනය එතුමාගේ මානසික, විද්‍යාත්මක හා දේවධර්මායත්ත ඉගැන්වීම්වලින් පරිබාහිරව තේරුම් ගත නොහැක්කේය. බුද්ධිවාදියකු වූ එතුමා ඥානයේ ක්‍රියාවක් මගින් සන්තුෂ්ටිය ග්‍රහණය කට හැක්කේ යයි ද එය ලබාගැනීම සම්බන්ධයෙන් දුරදර්ශීතාව අත්‍යන්තයෙන් උපස්තම්භක වේ යයි ද විශ්වාස කරයි. සොම්නස උදෙසා තබා ප්‍රේමය උදෙසා හෝ ප්‍රීති ප්‍රමෝදය උදෙසා හෝ පවා ක්‍රියා කිරීම තත් කාරණයෙහි දාර්ශනික ගැඹුර කරා පිවිසීමක් නොවේය යනු එතුමාගේ පිළිගැනීමයි.
රාජ්‍ය තන්ත්‍රය:
ආචාර ධර්මය පිළිබඳ විමර්ශනයේ දී ඇක්වයිනාස් නීතිය පිළිබඳ විකල්පය ගැන ද විශේෂ අවධාරණයෙන් සඳහන් කරයි. එය වූකලි පාරප්‍රාප්ත ප්‍රජාවක් පාලනය කරන පාලකයා කෙරෙන් සපැමිණෙන ප්‍රායෝගික කර්කබුද්ධියේ නියෝගයකැයි කියන එතුමා දෙවියන්වහන්සේගේ ශාශ්වත නීතියෙන් නොවෙනස් වූ එහි ම සහභාගිත්වයක් වූ පියවි නීතියෙහි තාත්විකත්වය ගැන ද කියයි. එතුමා තම ආචාර ධර්ම සංග්‍රහයන්හි සහ රාජ්‍යය පිළිබඳ සිද්ධාන්තයෙහි දැහැමී රාජ්‍යයකට අත්‍යවශ්‍ය වූ ද ප්‍රජාතන්ත්‍රවාදය පහළ වීමට ආධාරක වූ ද මූලධර්ම ඉදිරිපත් කරයි. මෙලෙසින් එතුමා රටක් පාලනය කිරීම උදෙසා සියලු දෙනා ම සහභාගි විය යුතුය යන්නට පක්ෂව තර්ක කරයි; යථා පිළිවෙළ සහිත සමාජයක අවශ්‍යතාව දක්වාලයි. එක්සත් පාලනයක ඇති ප්‍රයෝජනය දක්වන ඇක්වයිනාස් ප්‍රජාපීඩනය නිම කර ලිය යුතු බව අවධාරණයෙන් කියයි.
කර්තෘ:මර්ලින් පීරිස්
(සංස්කරණය:1967)