අරාබි දර්ශනය

සිංහල විශ්වකෝෂය වෙතින්
19:45, 12 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉස්ලාම් ධර්මය ලොව පහළ වීමට පෙර අරාබිවරුන්ගේ ඥ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉස්ලාම් ධර්මය ලොව පහළ වීමට පෙර අරාබිවරුන්ගේ ඥානකෝෂය වූයේ එදිනෙදා ජීවිතයේ විවිධ අත්දැකීම් අනුව ව්‍යවභාරයට ආ ප්‍රස්තාවපිරුළු හා ආප්තෝපදේශ රාශියකි. ඉන් සමහරක් පද්‍යයට නඟා ඇත. ඒවා තනි තනි කරුණු පිරික්සීමෙන් කරන ලද නිරීක්ෂණ විනා සර්වසාධාරණ සාමාන්‍ය නිගමන හෙවත් සාමාන්‍යයන් කෙරේ සිත් මෙහෙය වනසුලු දෑ නොවීය. ඉස්ලාම් ධර්මය මගින් අරාබි වර්ගයාට ලැබුණේ දෙවියන් විසින් එළිදරවු කරන ලද ශ්‍රැතිඥානයයි. එය ඔවුන්ට පිළිගැන්වීම සඳහා අවශ්‍ය වූයේ කරුණු වැටහෙන සාමාන්‍ය දැනීම හා බුද්ධියේ ප්‍රබෝධයක් පමණි; ප්‍රාතිහාර්ය පෙන්වීමෙන් ඇතිකරන මුළාවක් නොව චින්තන ශක්තියේ උත්තේජනයකි. මේ නිසා තම අලුත් ආගමෙහි ඇදහිලි හා වත්පිළිවෙත් පිළිගත් මුල් ඉස්ලාම් භක්තිකයෝ තමන් එසේ කිරීමෙන් ඥාන හා කුශල මාර්ගයන් අනුගමනය කරතැයි දැඩි ලෙස විශ්වාස කළෝය. කෙසේ වුව ද වැඩිකල් ගත වන්නට පෙර අසල ප්‍රදේශ යටත් කර ගැනීමෙහි යෙදුණු ඔවුහු ඉන්දු පර්සියානු චින්තන සම්ප්‍රදායයන් හා ග්‍රීක චින්තන පරම්පරාවන් සම්මිශ්‍රව පැවති දේශයන්හි විසූ මොනොෆිසයිට් හා නෙස්ටෝරියානු ක්‍රිස්තුභක්තිකයන් හා පර්සියානුන් වැනි අන්‍යාගම්වලට අයත් උසස් සභ්‍යත්වයන්ගෙන් හෙබි ජනතාවන් හා ආශ්‍රයට පැමිණියහ. එවක සිටි තාර්කිකයන්ගේ හා දේවධර්මශාස්ත්‍රඥයන්ගේ සූක්ෂ්ම විභාගයන්ට නොදෙවෙනි වන පරිදි ස්වකීය ලබ්ධිය ද තර්කානුකූල ව දාර්ශනික ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම අවශ්‍ය විය. මේ බාහිර පෙලඹවීම හැර තමන්ගේ දේශපාලන හා සමාජ සංස්ථාවන් ඇතුළත ම පැන නැඟි යම් යම් නොසන්සුන්කම් නිසා ද ස්වකීය ලබ්ධිය පිළිබඳ වූ ඇතැම් ප්‍රශ්න යළිත් වහා සලකා බැලීමට මුස්ලිම්වරුන්ට සිදුවිය. අරාබි දාර්ශනික චින්තනය ආරම්භ වූයේ පූර්වනියමය, නිදහස් කැමැත්ත (ස්වච්ඡන්දතාව), දේවත්වයේ ඒකත්ව ත්‍රිත්ව භේදය යන මේ කරුණු ආශ්‍රයෙනි. එහෙත් යටකී කාර්යයට බැසීම සඳහා ස්වකීය විරුද්ධවාදීන්ගේ ශක්තියේ ප්‍රභවස්ථානය වශයෙන් තමන් සැලකූ ග්‍රීක දර්ශනය පිළිබඳ නිපුණත්වයක් ලබා ගැනීම මුස්ලිම්වරුන්ට මුලින් ම අවශ්‍ය විය. නවවැනි දසවැනි ශතවර්ෂයන්හි දී කාලිප්වරුන්ගේ හා බැග්ඩෑඩ්හි නායකයන්ගේ ද අනුග්‍රහය ලත් සිරියානු ක්‍රිස්තියානීන්ගේ පරිශ්‍රමයන් කරණ කොට ගෙන ග්‍රීක දර්ශනයේ ශ්‍රේෂ්ඨ කෘති රාශියක් ම අරාබි භාෂාවට නඟන ලදී. මුල් කාලයේ සිටි මුස්ලිම් චින්තකයන්ගේ කෘතීන්හි නවප්ලේටෝනික නවපෛතගෝරියානු, ස්ටොයික හා හ'මෙටික ලේඛනවලට බෙහෙවින් ණයගැති බවක් පෙනෙන නමුත් අන්තිමේ දී මේ සෑම දර්ශනයකට වඩා ඇරිස්ටෝටල්ගේ දර්ශනය ඒවා කෙරෙහි බලපා ඇති බව පැහැදිලිය.

එහෙත් ඇරිස්ටෝටල්ගේ දර්ශනය පැහැදිලි කරගැනීම නවප්ලේටෝනික ව්‍යාඛ්‍යානයන්ට අනුව ම කරන ලදි. වැරදි ලෙස ඇරිස්ටෝටල් කෙරෙහි කර්තෘත්වය ආරෝපණය කරන ලද ග්‍රන්ථ කීපයක් ද විය. ප්ලෝටිනස්ගේ "එනීයැඞ්ස්" ග්‍රන්ථයේ කොටස් කීපයක් ආශ්‍රයෙන් ලියන ලද්දා වූ ඇරිස්ටෝටල්ගේ දේවධර්මශාස්ත්‍රය නමැති ග්‍රන්ථය ඉන් එකකි. එය ඉස්ලාම් චින්තනයන් කෙරෙහි අතිශයින් බලපෑවේය. නෙස්ටෝරියානු ඉගැන්වීම් එතරම් ගැඹුරු නුවූ බැවින් අරාබි පඬිවරුන් පහසුවෙන් ඒවායේ කෙළ පැමිණි නමුත් නවප්ලේටෝනික ඉගැන්වීම්වලින් ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් තෝරා බේරා ගැනීමේ කාර්යය ඔවුන්ගේ ශක්තිය ඉක්මවා ගිය සේයි.

විචාර බුද්ධිය ශ්‍රැතිය හා ගැටිය නොහැකි යයි මුස්ලිම්වරුන් තුළ පැවති විශ්වාසය ග්‍රීක දර්ශනය දුටු පමණින්ම වඩාත් තහවුරු විය. ග්‍රීක දර්ශනයෙහි ප්‍රත්‍යක්ෂව පෙනුණු ඒකදේව වාදයෙන් මුස්ලිම්වරු කොතෙක් පිනාගියාහු දැයි කියත හොත් ග්‍රීක දර්ශනයෙහි විස්තර විභාග ගැන කිසිදු විචාරයක් නොකොට ම ඔවුහු එය සිය දර්ශනයට ඇතුළත් කොට ගත්හ. දර්ශනයෙහිත් ආගමෙහිත් භාෂා ව්‍යවහාරය (ව්‍යවහාරෝක්තිය) අතින් සමාන්තර ස්වරූපයක් ඇති කිරීමට දරන ලද පරිශ්‍රමයෙන් මෙය හොඳින් ම පැහැදිලි වෙයි. පරිමණ්ඩල සිද්ධාන්තය (the theory of the Spheres) දර්ශනයෙන් උපුටා ගෙන ආගමට ඇතුළත් කර තිබීම නිදසුනකි. ඔවුන් බුද්ධිමතුන් "දේවදූතයන්" හැටියට පිළිගෙන ඇත; බුද්ධිප්‍රභාව ශ්‍රැතිය (එළිදරව් කිරීම) හා සමකර ඇත. එතෙකුදු වුවත් ඔවුන්ට පෙනී ගිය සමීකරණ සියල්ල නිමවූවායින් පසු ද තර්කණ බුද්ධිය හා ශ්‍රැතිය අතර ඇති වෙනස හැටියට දැක්විය යුතු සෑහෙන තරම් කරුණු අවශිෂ්ට වූ බව සියුම් ලෙස සමාලෝචනය කිරීමේ දී පෙනී ගියේය. මේ පරතරය පිරවීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතුරෙන් අරාබීන් ද ඊටත් වඩා පර්සියානුන් සහ තුර්කීන් ද සිය චින්තන ශක්තිය මෙහෙයවා බිහි කළ දර්ශනය අරාබි දර්ශනය යන විශේෂ නමින් හැඳින්වීම යුක්ති සහගතය. "අරාබි" යන විශේෂණ පදය මීට ලැබී ඇත්තේ මෙම දර්ශනය අරාබි භාෂාවෙන් ප්‍රකාශිත වී ඇති නිසාත් යම් යම් ඓතිහාසික කරුණු නිසාත් වේ.

දර්ශනය හා ගැටීම කරණකොටගෙන මුස්ලිම්වරු විචාර සම්ප්‍රදාය දෙකකට බෙදුණාහ. ශ්‍රැතියට මුල් තැන දුන් සම්ප්‍රදාය පළමුවැන්නය. ඊට අයත් පිරිස ශ්‍රැතියත් තර්කණ බුද්ධියත් එකක් ම බව ඔප්පු කිරීමේ දී නිදහස් ලෙසත් යුක්ති සහගත හා ස්වාභාවික යයි ඔවුනට වැටහුණු ලෙසත් ඉස්ලාමික ඉගැන්වීම් ව්‍යවස්ථාපනය කිරීමෙහි තත්පර වූහ. ශ්‍රැතියේ නිවැරදි බව දැක්වූ මේ අය මුටාසිල්වරු යන නාමයෙන් හඳුන්වනු ලැබූහ. ස්වාභාවික ආගම යන සංකල්පය ඔස්සේ බොහෝ දුර ගිය ඔවුහු චිරාගත ආගමික සම්ප්‍රදායට පටහැණි වන තත්වයකට එළඹුණාහ. මහත් ගර්වයකින් දැපුණු ඔවුහු අවසානයේ දී සිය නායක මාමුන් කාලිප්වරයාගේ (813–833) අනුග්‍රහය ඇතිව ස්වකීය "බුද්ධිවිෂයක වූ ඉස්ලාම් ධර්මය" කඩුවේ බලයෙන් සාමාන්‍ය ජනතාවට පිළිගැන්වීමට පවා පෙලඹුණාහ. මේ වෑයම නිසා ඔවුහු ස්වකීය පරමාර්ථය සමඟ විනාශ වී ගියහ. එහෙත් ලේ වැගිරීම ඇතිවීමට පෙරාතුව ම ඔවුන් විසින් ඉස්ලාම් චින්තන මාර්ගයෙහි නොමැකෙන සටහන් තබන ලද්දේ පමණක් නොව චිරන්තන ඉස්ලාම් ආගමෙහි පැවති අනම්‍යතාව ද සදහට ම නැති කර දමන ලදි.

දෙවනුව, විචාර බුද්ධිය වඩා ප්‍රමුඛස්ථානයෙහිලා ගිණිය යුතු බැව් විශ්වාස කළ නමුත් එය ශ්‍රැතිය හා අවිරුද්ධව පවත්නා බව පෙන්නුම් කරලීමට වෙහෙස ගත් අන්වර්ථ වශයෙන් ම දාර්ශනිකයෝ යයි කිවයුතු වූ පිරිසක් වූහ. ග්‍රීක දර්ශනයේ සත්‍ය අනුවාදයක් ඇති කිරීමේ ව්‍යාපාරයෙහි ප්‍රථම අවධිය අරාබි ජාතික එක ම දාර්ශනිකයා වූ (ක්‍රි.ව. 873 දී මියගිය) අල් කින්දි (බ.) ද 950 දී නැසීගිය තුර්කි ජාතික අල් ෆරාබි (බ.) ද යන මොවුන්ගෙන් නිමාවිය. ක්‍රි.ව. 1037 දී කලුරිය කළ අවිසෙනා (බ.) විසින් ඉගැන්වීම් පද්ධතියක් සකස් කරනු ලැබීමෙන් දෙවන අවධිය නිමාවිය. මේ මුස්ලිම් දාර්ශනිකයන්ට සලකා බලන්නට සිදු වූ ප්‍රශ්න සුළුපටු කරුණු පිළිබඳව නොවීය. ඉන් සමහරක් නම් ද්‍රව්‍යයෙහි සදාකාලිකත්වය, පරමාත්මයාණන් (අල්ලා) විසින් සියල්ල මැවූ පිළිවෙළ, සාමාන්‍යය හා විශේෂය සම්බන්ධයෙන් උන්වහන්සේගේ සර්වබලධාරීභාවය හා සර්වඥ භාවය, ආත්මයෙහි අමරණීයත්වය, මළවුන්ගෙන් නැගිටීම අනාගතවක්තෘත්වයේ අවශ්‍යතාව, එහි ස්වභාවය හා පිළිගත හැකිබව යන මේ කරුණු හාත්පසින් සලකා බැලීම යනාදියයි. චිරන්තන ඉස්ලාම් භක්තිය අනුව ශංකාකාරී කොටසක් හැටියට සලකනු ලැබූ දාර්ශනිකයන් ශ්‍රැතිය මුළුමනින් ප්‍රතික්ෂේප නොකළ තාක් ඔවුන්ට විරුද්ධව කිසිවෙක් නැඟී නොසිටියේය. කෙසේ වුව ද සැක කටයුතු අභිප්‍රායකින් ඉස්ලාම් භක්තිය වැලඳගත් (ක්‍රි.ව. 935 දී කලුරිය කළ) යුදෙව් ජාතික ඉබ්න් අල් රාවන්දි අනාගතවක්තෘත්වයට පහර දීම නිසා තදබල විරුද්ධතාවක් පැනනැගිණ.

දර්ශනය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව පෙන්වා එය ප්‍රතික්ෂේප කරමින් ආගම හුවා පෑ (938 දී මියගිය) අෂාරි සහ (1111 දී මියගිය) අල් ඝසාලි (බ.) යන දෙපොළගෙන් එම විරෝධී ව්‍යාපාරය කුළුගැන්විණ. දාර්ශනික ආයුධ භාවිතයෙහි හුරුබුහුටි වූ ඔවුහු සංයම විරහිත තර්කණ බුද්ධියට පටහැණිව එම ආයුධ යොදවා සාමාන්‍ය ජනතාව පමණක් නොව බුද්ධිමත් ලෝකයා ද සතුටු කළහ. එහෙත් දෙවියන් ලෝකය මැවීම හා ඉඳුරා ක්‍රියාකාරීවීමත් කියාපෑම, ස්වාභාවික වූ හේතුඵලවාදය නොපිළිගැනීම යනාදිය ඇතුළත් අෂාරිගේ ආවස්ථිකවාදය (occasionalism) පමණක් මුස්ලිම් ජනයාගේ සිත්වල ප්‍රතිගාමික ලක්ෂණ පහළ කෙළේය. ඇතැමුන් ඉස්ලාම් භක්තිය ඉවත ලා යෙමින් නොයෙක් දුර්මත පහළ කිරීමෙන් සිදු වූ අනර්ථය මැඩලීමෙන් ද, පළිගැනීමේ චේතනාව මුල් කොටගෙන ඝසාලි වැන්නවුන් පක්ෂග්‍රාහීව ක්‍රියාකරන බැව් හෙළිදරවු කිරීමෙන් ද, දර්ශනයෙහි පුනරුත්ථානයක් ඇති කිරීම අවරෝඊස් ඉබ්න් රෂිද් (1126–98 ) විසින් ඉටුකරන ලදි.

අනාගතවක්තෘත්වය ඛණ්ඩනය කිරීමෙහි ලා ඉබ්න් අල් රාවන්දි තමා ඉන්දියානු මත උපයෝගි කරගන්නා බැව් ප්‍රකාශ කිරීම විශේෂයෙන් සඳහන් කළයුත්තකි. බස්රා නගරයෙහි විසූ ජාරීර් හාසිම් අල් අස්දි තෙමේ විභින්න ජාතික අබ්බාසිද් සමාජයෙහි බෙහෙවින් ම "සමනිය්‍ය" හෙවත් බෞද්ධ මත දැරූවෙකි. හෙතෙම තම සමාජයෙන් ඉවත් නොවී සිට ම එකල විසූ බුද්ධිමතුන් සිය නිවසට කැඳවා බෞද්ධ දර්ශනය ගැන සාකච්ඡා පැවැත්වීය. එහෙත් අනීශ්වරවාදය හෝ අඥෙයවාදය ඉස්ලාම් භක්තියට පමණක් නොව ග්‍රීක දර්ශනයට ද පැහැදිලි ලෙස ම පටහැණි වූ දෘෂ්ටියක් විය. එය අද්භුත දාර්ශනික චින්තනයක් ලෙස සැලකිණ. ග්‍රීක දර්ශනයෙහි ද නොදක්නා අනාගතවක්තෘත්වය කෙරෙහි එල්ල කරන ලද පහර ධෛර්යසම්පන්න ලෙස වළක්වා ආරක්ෂාව සලසන ලද්දේ තම නායකයන් වූ ඉමාම්වරුන් ක්‍රියා කරන්නේ දෙවියන් මඟ පෙන්වන පරිදි යයි ඇදහූ පාතිමා ෂීයා නිකායිකයන් විසිනි. බෞද්ධ මතවලට වඩා හින්දු මතවලට මුස්ලිම් දර්ශනක්ෂේත්‍රය තුළට ලේසියෙන් ප්‍රවිෂ්ට විය හැකිවූයේ එහි පවත්නා ඒකේශ්වරවාදය නිසායි. අචාලිත චාලකයාණ කෙනෙක් ඇතැයි ස්ථිරව පවසන ඇරිස්ටෝටල්ගේ දර්ශනයෙහි සදාකාලික පදාර්ථයන් ද ඒ චාලකයාණන් සමඟ ම ද්වෛතවාදයක ස්වරූපයෙන් පවත්නා බව ඉදිරිපත් කොට ඇත්තේය. හින්දු ධර්මයෙහි එන එකේශ්වරවාදය කෙරෙහි මුස්ලිම් චින්තකයින්ගේ සිත් තදින් ම ඇදී ගියේ මේ කරුණ සම්බන්ධයෙනි. තව ද දෙවියන් ඇති බව මූලික සත්‍යයක් බවට පත් වූ පසු දෙවියන් හා ශුද්ධසමාශ්‍රය හෙවත් ශුද්ධසහභාගිත්වය ඇති කරගැනීම කෙරෙහි බලවත් උනන්දුවක් හටගති. ඇත්ත වශයෙන් කියතොත් ඉස්ලාම් ධර්මය අනුව දෙවියන් හා සමාශ්‍රය ලබාගත හැක්කේ යමකුගේ ලෞකික ජීවිත කාලය මුළුල්ලෙහි දී ම එළඹ සිටි සිහියෙන් යුතුව දේව කැමැත්ත මෙනෙහි කිරීමෙන් පමණකි. එහෙත් නවප්ලේටෝනිකවාදයේ බලපෑම නිසා මුස්ලිම්වරුන් (එවකටත්) කර්මමාර්ගය වෙනුවට භාවනා මාර්ග සෙවීමෙහි යෙදී සිටිය දී දිව්‍යාත්මයෙන් නිකුත් වීම හා නැවත එහි පිවිසීම පිළිබඳ සංකල්ප ඔවුන් හමුවට පත්විය. හැඳිනගත නොහැකි පමණට වෙස්වළාගත් සර්වදේවවාදය මුස්ලිම් දර්ශනය තුළට රහසේ ම වැදගත්තේය. එතෙකුදු වුවත්, අවතාර වශයෙන් දෙවියන්ගේ ප්‍රාදුර්භාවය හා පුනරුත්පත්තිය ආදි හින්දු ධර්මයේ අනිකුත් විශේෂ ලක්ෂණයන් නොවැදගන්නා සේ පරිස්සමින් වගබලාගන්නා ලදි. දෙවියන් හා එක්වීම් සංඛ්‍යාත සංකල්පය සම්බන්ධයෙන් වුව ද ඇති වූ සීමා උල්ලංඝනයේ ප්‍රතිඵලයක් වශයෙන් (922 දී ජීවිතක්ෂයට පමුණුවන ලද) හුසේන් මන්සූර් අල් හලාජ් ආදි අයට එරෙහිව බලවත් විරෝධයක් පැන නැඟිණ. දෙවියන් හා සමාශ්‍රය ලැබීම්වස් භාවනාක්‍රම ව්‍යවහාරයට පැමිණීමෙන් පසු සූෆිවාදීන් විසින් ක්‍රිස්තියානි තාපසයන්ගෙනුත්, හින්දූන්ගේ ආත්මක්ලමථය ගර්හිත කොට සැලකූ නමුත් ඔවුන්ගෙනුත්, මුස්ලිම් ජනයාගේ සිත්ගත් උසස් ගුණාංගයක් වූ නෛෂ්ක්‍රම්‍යය පුරුදු කළ බෞද්ධ සංඝයාගෙනුත් තවුස් පිළිවෙත් හා පූජක සංස්ථාන ලබාගන්නා ලදි. සතුන් සංසාර චක්‍රයෙහි ඔබිනොබ යෑම පිළිබඳ වූ හෝ සවිඤ්ඤාණක සතුන් කෙරෙහි හුදෙක් කරුණාව දැක්විම පිළිබඳ වූ හෝ අදහස් හා වෙළී පැවැති නිරාමිෂ භෝජනය (ශාකභක්ෂණය) පවා ඒ අදහස්වලින් වෙන්කොටගෙන ඊට වඩා උසස් පරමාර්ථයක් හා සම්බන්ධ කරන ලද බව ද මෙහි ලා සැලකිය යුත්තකි. වසු පැටියාගේ ආහාරය උදෙසා වූ කිරි පානය කිරීමෙන් හා ගසෙහි බෝවීම උදෙසා හටගැනෙන ගෙඩි භුක්ති විඳීමෙන් ස්වභාවධර්මයේ නියාම ධර්මතාවන්ට බාධා කරනවා නොවේ දැයි සිතීමට ඉබන් තුෆායිල්ගේ කෘතියෙහි එන වීරයා වූ හයි යක්සාන් පෙලඹුණේ මේ නිසාය. දේශපාලනය පසුබිම් කොට ඇති ගුප්ත ධර්ම පිළිගත් රහස් සමාජයන්හි ද දර්ශනය ප්‍රගුණ කිරීම ඇරඹිණ. ඉන් එකක් වූ "පාරිශුද්ධියේ සහෝදරයෝ" නමැති රහස් සමාජය සෑම මාර්ගයකින් ම එකතු කරගත හැකි වූ ද පැහැදිලි ලෙස ම පෛතගෝරියානු විමර්ශනයන් දෙසට නැඹුරු වූ ද සංකීර්ණ දාර්ශනික මතයන් එකතු කොට සපයන ලද්දා වූ ද දර්ශන සංග්‍රහයන් නිසා ප්‍රසිද්ධියට පත්විය.

අවසාන වශයෙන්, ඉතිහාසය පිළිබඳ දර්ශනයෙහි ආදිපිතෘ හැටියට සලකනු ලබන ඉබන් ඛාල්දූන් විසින් ඓතිහාසික සත්‍ය හා ඒවායේ සමීප හේතූන් නිශ්චය කෙරෙමින් ද මනුෂ්‍ය සමාජයේ සංවර්ධනය පිළිබඳ වූ නියාම කවරේදැයි නිගමනය කෙරෙමින් ද මනුෂ්‍ය සංහතිය විෂයෙහි දර්ශනය ප්‍රයෝජන කොට ගන්නා ලදි.

සාමූහික වශයෙන් සලකා බලන කල්හි තර්කණ බුද්ධියේ මාර්ගයෙන් ශ්‍රැතිය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමේ අමුතු මාර්ගයක් බිහිකිරීම නිසා අරාබි දර්ශනය විශේෂයෙන් වැදගත්ය. නවප්ලේටෝනිකවාදී මතවලින් වැසීගිය ඇරිස්ටෝටල් දර්ශනය මුස්ලිම් භක්තිකයන්ට ලැබුණේ අහම්බෙනි.

එහෙත් ඔවුන් විසින් පසුකාලයෙහි අනලස්ව වෙහෙස ගෙන ඇති කරන ලද සංකලනය මුස්ලිම්වරුන්ටම උරුම වූවක් හැටියට පැහැදිලි ලෙස ම ශේෂව පවතී. විචාරපූර්වක තර්කණ බුද්ධියෙන් අන්තර්ඥානයට තැනක් ලැබෙන්නට සැලැස්සීම වඩාත් වැදගත් වූවකි. දර්ශනය හා නොගැටී සැසඳෙන අයුරු මුස්ලිම්වරුන් ආගම ගළපා ගැනීම ආදර්ශයට ගත් ඉස්ලාම් ලෝකයේ බටහිර ප්‍රදේශයේ වෙසෙන යුදෙව්වරු මුස්ලිම් දාර්ශනිකයන් හා බටහිර ක්‍රිස්තියානීන් අතර අදහස් හුවමාරු කරගැනීමට මධ්‍යස්ථයන් ලෙසින් කටයුතු කළහ. තෝමස් ඇක්වයිනාස්ගේ කෘතීන්හි විශිෂ්ට තැනක් ගන්නා අවිසෙනා, ඝසාලි, අවරෝඊස් ආදීන්ගේ බලපෑම නිසා, ක්‍රිස්තියානි යුරෝපයෙහි කලක් අභාවයට ගොස් තිබුණු ග්‍රීක ඉගැන්වීම් නැවතත් සොයාගැනීමට මඟ පෑදිණ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරාබි_දර්ශනය&oldid=3035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි