අනුවර්තනය (Adaptation)
ජීවියකුගේ ජීවන කුමයටත් පරිසරයටත් මැනැවින් ගැළපෙන අයුරු හැඩගැසීම අනුවර්තනය යන නාමයෙන් හැඳින්වේ. ජීවියා අනුවර්තන ලක්ෂණ ලබාගෙන තිබෙන්නේ ස්වාභාවික වර්ණයෙනි. ස්වාභාවික තත්වයන්ට යෝග්‍ය ලෙස හැඩ නොගැසුණ ජීවීන් වඳ වී යන අතර, එසේ හැඩගැසුණ ජීවීහු බේරී සාර්ථක ලෙස ජීවත් වෙති. පරිසරයට ගැළපෙන පරිදි හැඩ ගැසීමට ඇති පුළුවන්කම ප්‍රාක්ප්ලාස්මයේ මූලික ලක්ෂණයකි. මෙය අජීව ද්‍රව්‍ය සහ සජීව ද්‍රව්‍ය අතර ඇති මූලික වෙනසක් ද වෙයි.
ජලයෙහි සාර්ථකව ජිවත්වීම පිණිස මත්ස්‍ය ශරීරය අනුවර්තනය වී තිබේ. පක්ෂීහු පියෑඹීමට අනුවර්තනය වී සිටිති. සමහර සත්තු දිවීමට ද සමහරු පැනීමට ද සමහරු පියෑඹීමට ද සමහරු ගස් නැඟීමට ද සමහරු මස් කෑමට ද සමහරු කොළ ආදිය කෑමට ද සමහරු ධ්‍රැවාසන්නයේ විසීමට ද සමහරු කාන්තාරවල විසීමට දැයි මේ ආදි වශයෙන් නානාවිධ ලෙස අනුවර්තනය වී සිටිති. ධාන්‍ය වර්ග, කෘමීන්, කුඩා ක්ෂීරපායීන් හා ජලජ සතුන් ආදී වූ වෙනස් වෙනස් ආහාර ගන්නා පක්ෂීන්ගේ හොටවල් ඒ ඒ ආහාර වඩා හොඳින් ගැනීම සඳහා අනුවර්තනය වී තිබේ.
රිකිලි අල්ලා ගැනීමට ද ගොදුරු ඩැහැගැනීමට ද පීනීමට ද පාවෙන ජලශාක කොළ උඩින් යෑමට ද යනාදි වශයෙන් පක්ෂීන්ගේ පාද අනුවර්තනය වී ඇති අයුරු පෙනේ.
අශ්ව, ගෝණ, මුව ආදි සත්තු පැන පැන දිවීමට අනුවර්තනය වී සිටිත්. අතු කඩා කටට ගැනීමට අලියාගේ නාසය අපූරුවට අනුවර්තනය වී තිබේ. මැලේරියා පරපෝෂිතයා සහ අක්මා පැතැල්ලා (liver fluke) ආදි පරපෝෂිතයෝ අනුවර්තනයට අගනා නිදර්ශන වෙති.
එක ම පරිසරයේ ජීවත්වන විවිධ සත්තු සමාන කාර්ය සඳහා සමාන අනුවර්තන ඇති කොට ගනිති. වඳ වී ගිය ජලජ උරගයකු වන ඉක්තියෝ සවුරුස් සහ තල්මහ අතර නෑකමක් නැති නමුත්, ශරීර හැඩය අතින් ඔවුන් සාමාන්‍ය මත්ස්‍යයන් වැනි වීම මෙසේ තේරුම් ගත හැකිය. වඳ වූ පියාඹන උරගයකු වන ටෙරොසවුරුස් ද පක්ෂීන් හා වවුලන් ද පියැඹීම සඳහා සමානව අනුවර්තනය වී ඇති බැව් පෙනේ. ළඟ නෑකම් නැති සතුන් කෙරෙහි පෙනෙන මෙබඳු සමාන අනුවර්තන අභිසාරි පරිණාමය (convergent evolution) නමින් හඳුන්වති.
ළඟ නෑකම් ඇත්තාවූ සතුන් විවිධ පරිසරවලට මූණ පෑමේ දී නොයෙක් අන්දමින් වෙනස් වී යන බවක් පෙනේ. සමහර විට සුපරීක්ෂ්‍යකාරීව නොබැලුවහොත් නෑකම නොපෙනෙන පමණට ද අනුවර්තනය විය හැකිය. ඕස්ට්රේලියාවට සීමා වූ සත්ව වර්ගයක් වන සේපාටික ක්ෂීරපායීහු (marsupial mammals) දුවන, පනින, ගස් නගින, බිම හාරා රිංගන, ගුවනේ යන සතුන් බවට අනුවර්තනය වී සිටිති. මෙසේ භින්න වී ව්‍යාප්ත වී යෑමට අනුවර්තක ප්‍රසරණය (adaptive radiation) යැයි කියති.
ආරම්භයේ දී මුහුදෙහි පහළ වූ ජීවීන් යථාකාලයේ දී ගොඩබිම වාසයට අනුවර්තනය වූ බවත්, මොවුන් යළි යළිත් අනුවර්තනය වීමෙන් අන්තිමේ දී මිනිසා ඇතුළු සියලු ම සතුන් පරිණාමය වූ බවත් බොහෝ විද්‍යාඥයන්ගේ මතයයි.
ජන්මාණු සෛලවල (gametocytes) සිදු වන විකෘතිය (mutation) නිසා හෝ අමුතු ක්‍රමවලට ප්‍රවේණ්‍යණු (genes) සම්බන්ධවීම නිසා හෝ ඇති වන ප්‍රභේදන පරම්පරාවෙන් පරම්පරාවට යයි. ඒ අතර අනුවර්තිතාව රැක ගත්තාවූ ජීවීන් ද ඕනෑවට වැඩියෙන් අනුවර්තනය නොවන්නාවූ ජීවීන් ද නොනැසී රැකෙනු ඇත.
(සංස්කරණය:1963)