ජාවක ආක්‍රමණ
දෙවන පරාක්‍රමබාහු රාජ සමයෙහි (කි‍්‍ර.ව. 1236-1270) මලය අර්ධද්වීපයේ ලිගෝර් හෙවත් තාම්රලිංග ප්‍රදේශයෙන් ලක්දිවට එල්ල වූ ආක්රමණයකි. ජාවක ආක්‍රමණය එල්ල කරනු ලැබූයේ චන්ද්‍රභානු නම් ජාවක රජකු විසින් බව මහාවංසයේ තෙවන කොටස හෙවත් චූලවංසයේ දෙවන කොටසෙන් පැහැදිලි වේ. දඹදෙණිය රාජධානියේ දෙවන පණ්ඩිත පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය පදප්‍රාප්ත වූයේ කි‍්‍ර.ව. 1236 දී ය. ඒ නිරිඳුන්ගේ රාජාභිෂේකයෙන් 11 වන රාජ්‍ය වර්ෂයේ (එනම්, කි‍්‍ර.ව. 1247) මෙම ජාවක ආක්‍රමණය ප්‍රථමවරට එල්ල වූ බව පැවැසේ.
චන්ද්‍රභානු නම් ජාවක රජු මෙරට දෙවරක් ආක්‍රමණය කර ඇති අතර ඉන් පළමු ආක්‍රමණය පිළිබඳ අපගේ ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංසයේ මෙසේ සඳහන් වේ. ‘ඉක්බිත්තෙන් ඒ නරේන්ද්‍රයන්ගේ (II වන පරාක්‍රමබාහු රජුගේ) 11 වන රාජ්‍ය වර්ෂයෙහි චන්ද්‍රභානු යැයි ප්‍රසිද්ධ වූ එකල ජාවක රට එක් රජෙක් තෙමේ අපි ද බෞද්ධයෝ වම්හ යි මායා බස් කියමින් කර්කශ ජාසෙන් සමග ලක්දිව් ගොඩ බැස්සේ ය. හැම තොටුපොළකට ම ගොඩබට ඒ දුෂ්ට වූ ජා යෝධයෝ (සෙබළු) දරුණු සර්පයන් වැනි විෂ පෙවූ හීයෙන් තමන් දුටු ජනයා නිරතුරු පෙළමින් මුළු ලක්දිව වැනසූහ. වරෙක ගිනි හෙන ගැසූ තැන නැවත දිය හෙන ගසන්නා සේ කාලිංග මාඝාදීන් විසින් පෙළන ලද ලංකාව ජාවෝ නැවත පෙළුහ (ම.ව. LXXXIII, 36-40).
මෙම ආක්‍රමණය පිළිබඳ පූජාවලිය (13 සියවස) කර්තෘ මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර මාහිමියන් ද උක්ත විස්තරයට සමාන විස්තරයක් දක්වා ඇත (පූජාවලිය, 117, සංස්. කිරිඇල්ලේ ඤාණවිමල හිමි). මෙම ජාවක ආක්‍රමණය කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. එනම් ලක්දිවට අතීතයේ පටන් බොහෝ ආක්‍රමණ එල්ලවූයේ දකුණු ඉන්දියාවේ බලවත් වූ චෝල, පාණ්ඩ්‍ය, කේරළාදි ප්‍රදේශීය රාජ්‍යයන්ගෙනි. එහෙත් මෙම ජාවක ආක්‍රමණය එල්ල වූයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි තාම්රලිංගයෙන් හෝ ශී‍්‍ර විජය රාජ්‍යයෙන් යැයි මතයක් පවතී. එලෙසින් එල්ල වූ ප්‍රථම හා එක ම ආක්‍රමණය මෙය වීම සුවිශේෂීත්වයකි.
තව ද මෙම චන්ද්‍රභානුගේ ආක්රමණයේ අරමුණ දෙස බැලීමේ දී මෙරටට එල්ල වූ සෙසු දකුණු ඉන්දීය ආක්රමණවලට වඩා වෙනස් අරමුණක් පැවැති බව පැහැදිලිව සනාථ වේ. දකුණු ඉන්දියානු ආක්රමණවල ප්‍රධාන අරමුණ වූයේ කි‍්‍ර.ව. 5 වන සියවස පමණ දක්වා මෙරට සිටි දුර්වල පාලකයන් සිහසුනින් නෙරපා රාජ්‍ය බලය අත්කර ගැනීමයි. එහි දී මෙරටට පැමිණි ආක්රමණිකයෝ මෙරට පැවැති නීතිරීති හා සම්ප්රදාය ගරු කරමින් පාලනයක නිරත වූහ. එයට හොඳ ම උදාහරණය වන්නේ මහාවංසයේ එළාර පවා විනිශ්චයේ දී සතුරාටත් මිතුරාටත් සමාන වූ ධාර්මික රජකු වශයෙන් සඳහන් කර තිබීම ය (ම.ව. XXI, 13 ගාථාව). එහෙත් පසුකාලීනව එල්ල වූ චෝල, කේරළ ආදීන්ගේ ද කාලිංග මාඝ වැන්නවුන්ගේ ද ආක්‍රමණ ඊට හාත්පසින් ම වෙනස් විය. එහි දී ඔවුහු මෙරට පැවති ධනධාන්‍ය, වස්තුව කොල්ලකෑහත වටිනා පොතපත, වෙහෙරවිහාර විනාශ කළහත අසංකීර්ණ චතුර්වර්ණය සංකීර්ණ කළහත සෑම අංශයක ම විලෝපනයක් කළහ.
එහෙත් මෙම චන්ද්‍රභානුගේ ආක්රමණයේ අරමුණ වූයේ උක්ත දැක්වූ අයුරින් දේශපාලන හෝ වස්තුව කොල්ල කෑම හෝ නොවේ. ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ ‘අපි ද බෞද්ධයෝ වම්හ’යි පවසමිනි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මෙරට පැවති බෞද්ධ පූජනීය වස්තූන් වූ ශී‍්‍ර දළදා වහන්සේ හා පාත්‍ර ධාතූන් වහන්සේ ලබා ගැනීම ය. ඒ බව මහාවංසයේ ‘බුදුන්ගේ දළදාව හා පාත්‍ර ධාතුවත් ඒ රාජ්‍යයත් මට දෙව ඉදින් නොදේ නම් යුද්ධ කරවයි කියා දූතයන් යැවී ය’ යනුවෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ (ම.ව. LXXXVIII, 66).
චන්ද්‍රභානු අග්නිදිග ආසියාවෙන් පැමිණි අතර ඒ වන විට අග්නිදිග ආසියාව කෙරෙහි ලංකාව බෙහෙවින් බලපා තිබුණි. ජිනාකාලමාලිය නම් සියම් වංසකතාව අනුව සියම් රට සුඛෝදය නගරයේ විසූ රෝචරාජ නම් රජු බු.ව. 1800 (කි‍්‍ර.ව. 1256) දී ලක්දිවට දූතයන් එවා මහානුභාව සම්පන්න වූ ‘සීහලපඨිමා’ නමැති බුදුපිළිමයක් සුඛෝදය නගරයට ගෙනගොස් තිබේ (ජිනකාලමාලිය, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි පොත් සංගමය, ලන්ඩන්, 86-91 පිටු). තව ද දොළොස්වන සියවස මැදභාගය වන විට මෙරටින් වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ‘සීහලසංඝ’ ලෙස සියමය, කාම්බෝජය, බුරුමය යන රටවල වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දී ඇත (රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ 32 කලාපය, 190-213). ජාවා දිවයිනේ මධ්‍ය කඳුකරයේ රතුබක සානුවෙන් ලද සෙල්ලිපියක් පරීක්ෂා කළ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආසියානු අපි‍්‍රකා හා පෙරදිග අධ්‍යයන අංශයේ මහාචාර්ය ජේ. ජී. ද කැස්පාරිස් පෙන්වා දෙන්නේ ලංකාවේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් එහි ද ‘අභයගිරිය’ නමින් නව විහාරයක් පිහිටුවූ බවයි. එසේ ම මහාචාර්ය කැස්පාරිස් තවදුරටත් සඳහන් කරන්නේ අග්නිදිග ආසියාව ඉන්දීයකරණය කිරීමේ දී ලංකාව ද වැදගත් කොටස්කරුවකු වූ බව සනාථ වන බවයි (J.G.DeCasparis, New Evidence on the Cultural Relations between Java and Ceylon in Ancient Times, Artibus Asiae, Vol. 24, pp 241 - 248). දඹදෙණියේ බලයට පත් දෙවන පරාක්‍රමබාහු මහරජතුමා (1236-1270* තම ශාස්ත්රෝන්නති-කාමීත්වය නිසා විදේශීය යතිවරුන් පවා මෙරටට වැඩම කරවා ශාස්තී‍්‍රය සේවයෙහි යෙදවී ය. එහි දී ලංකාවට වැඩම කළ ධම්මකිත්ති ස්ථවිරයන් වහන්සේ තම්බරට්ඨයෙන් පැමිණියේ බව දේශීය මූලාශ්රයවල සඳහන් වේ (ම.ව. LXXXIV, 11 ගාථාව/ පූජාවලිය, 118 පිට / දළදා සිරිත, 44 පිට). මේ අනුව සලකා බැලීමේ දී අග්නිදිග ආසියාවේ රටවල් අතර මේ කාලයේ දී ලාංකීය බෞද්ධ සංස්කෘතිය බෙහෙවින් ජනපි‍්‍රය ව පැවතිණ.
මෙකී සංස්කෘතික යශෝරාවය පදනම් කරගෙන චන්ද්‍රභානු නම් ජාවක රජු ලක්දිව ආක්‍රමණය කළ බව සිතීමට මූලාශ්රයවලින් ලැබෙන සාක්ෂ්‍ය බාධාවක් නොවේ. චන්ද්‍රභානු බෞද්ධයකු බව ජාවා රටේ සෙල්ලිපි මූලාශ්‍රයයන්ගෙන් ද තහවුරු වී ඇත (Coedes Les etats hinduoises Indonesie, pp 309-311). පූජ්‍ය වස්තු ඉල්ලා පැමිණි චන්ද්‍රභානු සිය දෙවන ආක්‍රමණ අවස්ථාවේ ලක්රජය ද නොදෙන්නේ නම් යුද්ධ කරන බැව් පවසා තිබේ. එහි දී ලංකාවේ රාජ්‍ය උරුමය සඳහා ඔහුට මනා පිටුබලයක් වූයේ ශී‍්‍ර දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව ලබා ගැනීමත් ඒවා සතු වූ තැනැත්තා ලක්දිව රජු ලෙස පිළිගන්නා සම්ප්රදායයක් මෙරට පැවතීමත් ය. ඔහු බෞද්ධයකු වීම ද ලක්දිව රාජ්‍යයට උරුමකම් කීමට සුදුසුකමක් විය. මීට පෙර පොළොන්නරුවේ රජ පැමිණි කීර්ති ශී‍්‍ර නිශ්ශංකමල්ල රජු (1187-1196) ද තමා බෞද්ධයකු නිසා තමාට මිස චෝල කේරළාදි අබෞද්ධයන්ට ලංකාවේ සිංහාසනය අත්පත් කර ගැනීමට අවසර නොදිය යුතු යැයි මෙරට ජනයාට දන්වා ඇත (EZ. Vol. 1, 9, p 132, L.24 - 15). මේ අනුව චන්ද්‍රභානුගේ ආක්රමණයේ ද පදනම වූයේ සංස්කෘතික කරුණු බව මෙයින් සනාථ වේ. දැනට පවත්නා ලාංකේය ඓතිහාසික වාර්තාගත තොරතුරු අනුව තත්ත්වය මෙසේ වුව ද පිහිටීම අතින් ලංකාව මුහුදු ගමනාගමන මංසන්දියක පිහිටීම හේතුවෙන් මෙම ආක්‍රමණයට ආර්ථික කරුණු ද හේතු වී තිබේ.
චන්ද්‍රභානු නම් ජාවක රජු නිශ්චිතව ම පැමිණියේ අග්නිදිග ආසියාවේ කුමන ප්‍රදේශයකින් ද යන්න විමසා බැලිය යුත්තකි. මලය අර්ධද්වීපයේ වත්-හ්වා-වියන් ප්‍රදේශයේ පිහිටි ජෛයා නම් ස්ථානයෙන් ලැබුණ සංස්කෘත භාෂාවෙන් ලියැවුණ සෙල්ලිපියක පද්මවංස හෙවත් කමල කුලයට අයත් පංචාණ්ඩ වංශාධිපති තාම්රලිංගේශ්වර වූ චන්ද්‍රභානු නම් පාලකයකු ගැන සඳහන් වේ (... තාම්රලිංගේශ්වරඃ ස....න් ඉව පද්මවංශජනනාථං වංශප්රදීපොද්වාවඃ සංරූ පෙනහි චන්ද්රභානුමදනඃ ශී‍්‍ර ධර්මරාජා ස යඃ ... , Recuil des Inscriptions du Siam, II. p 26)
මේ පිළිබඳ විග්රහයක යෙදුණ සේද් නම් පඬිවරයා ඉහත සෙල්ලිපිය හා තවත් මූලාශ්‍රය විග්රහ කරමින් 1927 දී පෙන්වා දී ඇත්තේ ශී‍්‍ර ධර්මරාජ නම් විරුදය භාවිත කළේ ශී‍්‍ර විජය අධිරාජ්‍යයෙහි රජවරුන් නොව ලිගෝර් ප්‍රදේශය පාලනය කළ කුමාරවරුන් බව ය. ඒ අනුව චන්ද්‍රභානු වනාහි සුමාත්‍රා ආධිපත්‍යයට අයත් වූ ශී‍්‍ර විජය අධිරාජ්‍යයේ සිටි පාලකයකු නොව මලය අර්ධද්වීපයේ ලිගෝර් හෙවත් තාම්රලිංග යනුවෙන් දේශීය මූලාශ්රයවල සඳහන් ප්‍රදේශයේ සිටි අයෙකි. මේ නිසා ජාවක ආක්‍රමණ එල්ල වූයේ තාම්රලිංගයෙන් ය යන මතය පිළිගැනීමට හැකි ය.
එවකට මෙරට පැවැති අභ්‍යන්තර දේශපාලන වාතාවරණය ද චන්ද්‍රභානුගේ ආක්‍රමණයට බලපා තිබේ. ඒ වන විට ජලාශි‍්‍රත ශිෂ්ටාචාරය වල්බිහි වී කාලිංග මාඝ වැනි දරුණු ආක්රමණිකයකු හමුවේ හව්හරණක් නොලද ජනතාව, වනදුර්ග ගිරිදුර්ගවලින් වට වූ රක්ෂාස්ථාන කරා ගොස් ප්‍රදේශීය නායකයන් හමුවේ දඹදෙණිය, ගෝවින්නහෙළ, යාපහුව වැනි මායා රටේ රක්ෂස්ථාන වෙත එක්රොක් වූහ. කාලිංග මාඝ කි‍්‍ර.ව. 1215 සිට 1255 දක්වා වසර 40ක් තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ රජරට පාලනය කළේ කොල්ලකාරී මෙන් ම විනාශකාරී ප්රතිපත්තියකිනි. දළදා වහන්සේ පවා බෙලිගල පොළොව යට සඟවා තැබීමට සිදුවූයේ මෙබඳු වාතාවරණයක් තුළ ය. එම තත්ත්වය පූජාවලි කතුවරයා මෙන් ම මහාවංස කතුවරයා ද පෙන්නුම් කර දී ඇත්තේ වරෙක ගිනිහෙන ගැසූ තැන නැවත දියහෙන ගසන්නාක් මෙන් කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පෙළනු ලැබූ මෙරටට චන්ද්‍රභානුගේ ආක්‍රමණය ද එල්ල වූ බවයි. රටෙහි ප්‍රබල පාලකයකු නොමැති බවත් ආක්රමණිකයකු රට පෙළමින් ඇති බවත් මෙරටින් පරතෙරට වැඩි බෞද්ධ භික්ෂූන්ගෙන් පවා දැන ගන්නට ඇත. මේ නිසා චන්ද්‍රභානු තම ආක්‍රමණය මෙහෙයවන්නට ඇත.
චන්ද්‍රභානු නම් ජාවක රජුගේ පළමු ආක්‍රමණයට (කි‍්‍ර.ව. 1247) මුහුණදීමට දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු යෙදවූයේ තම බෑනනුවන් වූ වීරබාහු කුමරු ය (ම.ව. LXXXIII, 42-43 ගාථා). ඔහු රාම රජු මෙන් ඉතා දක්ෂ ලෙස චන්ද්‍රභානුගේ හමුදා පරාජය කළ බවත් මහාවංසය තවදුරටත් සඳහන් කරයි. මේ ජාවක ආක්රමණයේ විශේෂත්වය වන්නේ එතෙක් ලංකාවේ භාවිත නොවූ විෂ පෙවූ ඊතල මෙම ආක්රමණයේ දී භාවිත වීමයි. ජාවක සෙබළුන් විසින් යන්ත්‍රයකින් විෂ පෙවූ ඊතල පිට පිට විදින ලද බව මහාවංසයේ සඳහන් වේ (ම.ව. LXXXIII, 44 ගාථාව). (විෂපෙවූ ඊතලවලින් විදීම අග්නිදිග ආසියාවේ වර්තමානයේ ද ප්‍රකට සටන් ක්‍රමයක් බව තහවුරු වන්නේ ඇ.එ.ජ. - වියට්නාම් යුද්ධයේ දී ද වියට්නාම් වැසියන් විසින් විෂ පෙවූ ඊතල භාවිත කළ බැවිනි).
ජාවක ආක්‍රමණය එල්ල වූයේ ලක්දිව කිනම් ප්‍රදේශයක් ඔස්සේ ද යන්න විමසා බැලිය යුතු ය. ඒ වන විට කාලිංග මාඝ රජරට ප්‍රදේශ අත් පත් කොට ගෙන තිබුණි. ඔහුගේ බලකොටු පුලස්තිපුර (පොළොන්නරුව), කොට්ටසාරගාම (කොටසර), ගංගාතලාක (කන්තලේ), කාකාලයගාම (කවුඩාවුළු), පදීරට්ඨ (පදී), කුරුන්දී (කුරුඳු), මානාමත්ත (මානාමතු), මහාතිත්ථ (මාවටු), මන්නාරපට්ටන (මන්නාරම), පුලච්චේරි තිත්ථ (පුලච්චේරිය), වාලිකගාම (වැලිගමුව), ගොණරට්ඨ (ගෝන), ගොණුසුරට්ඨ (ගොවුසු), මධුපාදතිත්ථි (මීපාතොට), සූකරතිත්ථ (ඌරාතොට/කයිට්ස්) වැනි උතුරු ලක්දිවට වැදගත් වූ ස්ථානවල පිහිටා තිබුණි (ම.ව. LXXXIII, 15-17 ගාථා). මේ අනුව පෙර කල මෙරටට ආක්‍රමණ එල්ල වූ මහාතිත්ථිය හෝ වෙනත් උතුරේ ප්‍රදේශයකින් ගොඩබැස දඹදෙණියට පැමිණීමට චන්ද්‍රභානුට දුෂ්කර ය. කුමක් නිසා ද යත් එම ප්‍රදේශවල කාලිංග මාඝගේ බලය පැවැති බැවිනි. එමෙන් ම අග්නිදිග ආසියාවෙන් පැමිණෙන විට මෙරට ගිනිකොන හෝ දකුණුදිගට පැමිණීම වඩාත් පහසු ය. එවිට සිංහල රජුගේ රාජ්‍යයට ඇතුළුවීමට බාධාවක් නොතිබුණි. උතුරින් පැමිණිය හොත් කාලිංග මාඝගේ උදහසට ද ලක් විය හැක. මේ නිසා චන්ද්‍රභානු ගොඩ බසින්නට ඇත්තේ ලක්දිව දකුණ හෝ නිරිතදිග ප්රදේශයවලිනි (මෙයට පසු කෝට්ටේ යුගයේ දී මෙරටට ආක්‍රමණයක් එල්ල කළ චීනයේ ‘චෙන් හ’ (Zheng He) හෙවත් චෙංහෝ (බ.) සෙන්පතියා ද ලංකාවට ගොඩබැස්සේ දකුණුලක දෙවිනුවරිනි). එසේ ම චන්ද්‍රභානුගේ පළමු ආක්‍රමණය ජයගත් වීරබාහු කුමරු කෙලින් ම ගියේ දඹදෙණියට නොව දෙවිනුවර උපුල්වන් දේවාලය වෙත ය. ඒ අනුව ද චන්ද්‍රභානුට වීරබාහු කුමරු මුහුණ දී ඇත්තේ ඊට ආසන්න තොටුපොළවල දී බව පෙනේ.
චන්ද්‍රභානු නම් ජාවක ආක්රමණිකයා වීරබාහු විසින් පරාජය කරන ලදුව සිය රට වෙත පෙරළා ගියේ ද නැතහොත් ලංකාවේ යම් ස්ථානයක සිට නැවත දෙවන ආක්‍රමණයක් එල්ල කළේ ද යන්න විමසා බැලිය යුතු ය. යාපන අර්ධද්වීපයේ ප්‍රදේශ දෙකක් හැඳින්වීමට චාවාන් කෝට්ටෙයි (ජාවක බළකොටුව) සහ චාවාකච්චේරි (ජාවක පෙදෙස) යන නම් වර්තමානයෙහි ද භාවිත වේ. ඒ අනුව පසුබැස ගිය චන්ද්‍රභානු උතුරේ ප්‍රදේශයක සිට නැවත දකුණු ඉන්දීය ආධාරක සේනා රැගෙන දෙවනවර දඹදෙණියට ආක්‍රමණයක් එල්ල කොට ඇත. ඒ බව මහාවංසයේ ‘පෙර දී මහා යුද්ධ කොට පළවා හරින ලද චන්ද්‍රභානු රජු පාණ්ඩ්‍ය, චෝල රටවලින් බොහෝ දමිළ යෝධයන් එක්රැස් කර බලසම්පන්න වූ ජාවක සේනාව ද ගෙන මාවතු තොටින් ගොඩබැස පදී, කුරුන්දී යන ප්‍රදේශවල විසූ සිංහලයන් ද සිය වසඟයට ගෙන සුභ පබ්බතයට (යාපහුවට) ගොස් කඳවුරු බැඳ ති්රසිංහලය ගනිමියි එය තොපට නොහරිමියි එහෙයින් බුදුන්ගේ දළදාවත් පාත්‍ර ධාතුවත් රජයටත් මට දෙව ඉදින් නොදෙයි නම් යුද්ධ කරවයි දූතයන් යැවීය’ (ම.ව. LXXXVIII, 62-66 ගාථා).
මෙහි දී චන්ද්‍රභානු චෝල, පාණ්ඩ්‍ය වැනි පිරිස් ද සහිත ව ජාවක සේනාව රැස්කිරීමේ දී යාපනයේ චාවන්කෝට්ටෙයි හා චාවකච්චේරි යන ප්‍රදේශ සිය ප්‍රයෝජනයට ගන්නට ඇත. කි‍්‍ර.ව. 1658 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගත් ලන්දේසීන් මෙරටට ජා ජාතිකයන් ගෙනා නමුත් ඊට පෙර කෝට්ටේ යුගයේ ඉහත දැක්වූ යාපන අර්ධද්වීපයේ ජවක කෝට්ටෙයි ගැන සඳහන් වන්නේ කෝට්ටේ යුගයේ දී රචිත කෝකිල සංදේශයේ ය.
‘සේවක සමග පැරැුකුම් නිරිඳුගෙ විපු ල
ඒවක පැමිණි සපුමල් කුමරිදු පබ ල නේවක ගුණැති කණ්ණඩි සෙන් බිඳි තුමු ල ජාවක කෝට්ටය දැක යන් මග අස ල’
(කෝකිල සංදේශය, 240 පද්‍යය)
මේ අනුව පළමු සටනින් කි‍්‍ර.ව. 1247 දී පැරද පළා ගිය චන්ද්‍රභානු ලංකාවේ උතුරු ප්ර්රදේශවල සිට දකුණු ඉන්දියානු ආධාරක හමුදා රැුගෙන යළි ලක්දිව් ගොඩබසින්නට ඇත. එසේ නම් දෙවන වර චන්ද්‍රභානුගේ ආක්‍රමණය එල්ල වූයේ කුමන කාල පරිච්ෙඡ්දයක දී ද යන්න විමසා බැලිය යුතු ය. පූජාවලිය මෙන් ම මහාවංසයේ ද සඳහන් වන්නේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ රාජාභිශේකයෙන් පසු එළඹි 22 වන රාජ්‍ය වර්ෂයෙහි රජු අසනීප වූ බැවින් පුත් විජයබාහු කුමරුට රජකම ලබා දුන් බවයි (ම.ව. LXXXVIII, 67-75 ගාථා/ පූජාවලිය 136 පිට). ඒ අනුව දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත් ෂඪ වන විජයබාහු කුමරු බලයට පත් වන්නේ කි‍්‍ර.ව. 1258 දී ය.
චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය එල්ල වී ඇත්තේ කි‍්‍ර.ව. 1258න් පසුව ය. කුමක් නිසා ද යත් චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය අවස්ථාවේ දී විජයබාහු රජු වීරබාහු කුමරු කැඳවා සාකච්ඡුා කර යුද හමුදා මෙහෙයවා ඇති බැවිනි (ම.ව. LXXXVIII, 67-68 ගාථා).
මෙහි දී මතුවන තවත් කරුණක් වන්නේ දෙවනවර ආක්රමණයේ දී ඇතැම් සිංහලයන්ගේ ප්‍රසාදය හා සහාය චන්ද්‍රභානුට ලැබී තිබීමයි. තව ද හත්ථවනගල්ලවිහාරවංසයේ සඳහන් වන්නේ ජාවක ආක්‍රමණ දෙකක් ගැන නොව එකක් ගැන ය. එහි දක්වා ඇත්තේ ජාවක ආක්රමණික චන්ද්‍රභානු සටනින් මිය ගිය බවයි (හත්ථවනගල්ලවිහාරවංසය, 32පිට). චන්ද්‍රභානුට මරු කැඳවූ දෙවන ආක්‍රමණය ගැන පමණක් හත්ථවනගල්ලවිහාරවංස කතුවරයා සඳහන් කරන්නට ඇත.
චන්ද්‍රභානු මියගියේ සිංහල සේනා අතින් ද නැතහොත් පාණ්ඩ්‍ය දේශයේ වීර පාණ්ඩ්‍යගේ හමුදා එල්ල කළ ප්රහාරකින් ද යන්න මීළඟට විමසා බැලිය යුතු ය. වීරපාණ්ඩ්යගේ 10 වන රාජ්‍ය වර්ෂයේ (කි‍්‍ර.ව. 1263) නිකුත් කළ සෙල්ලිපියක මේ පිළිබඳ කරුණු දැක්වේ. ඊට අනුව ‘ශාවකන්ගේ කිරුළ පලන් හිසත් ලබාගත්’ බව දැක්වේ (Annual Report on South Indian Epigrapy, Culcutta, No.588 of 1916). එහි තවදුරටත් සඳහන් වන්නේ ශාවකන්ගේ පුත්‍රයාට පියා පාලනය කළ ප්‍රදේශ භාර දුන් බවයි. සැබැවින් ම මෙම වීරපාණ්ඩ්යගේ කුඩුම්බිමලෙයි ප්රශස්තියේ එන තොරතුරු පිළිබඳව ගැටලූ සහගත තත්ත්වයක් පවතී. එයට හේතුව ශාවකන් මරා දමා ඔහුගේ පුතාට එම ප්‍රදේශයේ පාලනය භාර දුන්නේ ඇයි ද යන්නයි.
දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු තම සතුරන් මර්දනය පිණිස පාණ්ඩ්‍ය රටින් ආධාර පතා ඇති බව ඉහත දැක්වූ කුඩුම්බිමලෙයි ප්රශස්තියේ සඳහන් වේ. එසේ නම් දෙවන පරාක්‍රමබාහු රජුගේ ඉල්ලීම පරිදි පැමිණි වීර පාණ්ඩ්‍යගේ හමුදා අතින් හෝ සිංහල හමුදා අතින් හෝ චන්ද්‍රභානු ඝාතනය සිදු වී තමතමන් කළ බව ඔවුනොවුන් තමන්ගේ කීර්තිය සඳහා වෙන වෙන ම ලියා තබන්නට ඇත. එමෙන් ම දෙවන පරාක්‍රමබාහු රජුගේ ආධාරයට පැමිණි වීර පාණ්ඩ්‍යගේ හමුදා චන්ද්‍රභානුගේ පුත්‍රයාට ඔහු පාලනය කළ ප්‍රදේශ පැවරීමෙන් ලංකාව ස්ථාවර වීමට නොදී ලංකාවේ පාලකයන් දෙදෙනා ම තමන්ට හිතවත්ව තබා ගැනීමට පාණ්ඩ්‍යයන් කටයුතු කර ඇති බව මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙයි (ලංකා විශ්වවිද්‍යාලය, ලංකා ඉතිහාසය, 1 කාණ්ඩය, 2 කොටස 628 පිට).
මේ අනුව බලන විට ලංකීය ඉතිහාසයේ නවතම අරමුණකින් එල්ල වී ඇති ජාවක ආක්‍රමණය ඉතා බලසම්පන්න එහෙත් මර්දනය කළ හැකි වූ ආක්‍රමණයක් වූ බව පැහැදිලි ය. සංස්කෘතික පසුබිමක් තුළ මෙන් ම අග්නිදිග ආසියාවෙන් එල්ල වූ එක ම ආක්‍රමණය මෙය නිසා එකී ආක්‍රමණය වැදගත් වේ. ශාවකන්ගේ පුත්‍රයා ලංකාවේ සිය පියාගේ පාලන ප්‍රදේශ භාර ගත් බව ඉහත දැක්වූ කුඩුම්බිමලෙයි ප්රශස්තියේ සඳහන් වෙතත් දේශීය කිසිදු මූලාශ්‍රයක එවැන්නක් ගැන සඳහන් නොවේ. මේ නිසා චන්ද්‍රභානුගේ මරණින් මතු මෙම ජාවක ආක්‍රමණය නිමා වන්නට ඇත. ඒ වර්ෂ කි‍්‍ර.ව. 1258න් පසුව ය. එකී කාලපරිච්ඡේදය නිශ්චිතව හඳුනාගෙන නැත.
සමන් සංජීව පතිරණ