අමිතාභ
සුඛාවති ව්‍යුහ, අමිතායුර්ධ්‍යාන සූත්‍ර, අපිරිමිතා යුෂ සූත්‍ර සහ සද්ධර්මපුණ්ඩරීක යන ග්‍රන්ථයන්හි අමිතාභ බුදුන් සහ සුඛාවතී දෙව්ලොව පිළිබඳ විස්තර දැක්වේ. ඒ අනුව අමිතාභ නමින් බුදු වූයේ ධර්මාකර නම් භික්ෂු නමකි. ලෝක සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ඔවුන්ගේ විමුක්තිය සඳහා උන්වහන්සේ සුඛාවතී දෙව්ලොව නිර්මාණය කළසේක. එය සැම දා මල් පිපි වෘක්ෂලතාවන්ගෙන් අලංකාරය; මේ ගස්වැල් අතර පක්ෂීහු පියා හඹති; මුළු දෙව්ලොව පුරා නිබඳ සංගීතයෙක් පැතිරී යයි. දස කල්පයකට පෙර බුද්ධතිවයට පැමිණි අමිතාභ බුදුහු අපරිමිත ප්‍රභාවෙන් (අමිත + අභ) දසදිග්හි පිහිටි බුද්ධක්ෂේත්‍රයන් එකාලෝක කරමින් අපිරිමිත ශ්‍රාවක ගණයා විසින් පිරිවන ලදුව එහි වැඩ වෙසෙති. සදාකාලික බුද්ධත්වයෙහි වැජඹෙන "අවර්වත්‍යයන්" වහන්සේලා ද අනතුරු භවයෙහි බුද්ධත්වය ලබන "එකජාතී ප්‍රතිබුදුවරුන්" වහන්සේලා ද ඒ ශ්‍රාවක ගණයා අතර වෙති. ලෝක සත්වයන්ගේ යහපත අරභයා අමිතාභ බුදුන් කළ ප්‍රණිධාන 48 අතුරෙන් 18 වැනි ප්‍රණිධානයෙන් පැවසෙන්නේ තමන්වහන්සේගේ නම මහත් භක්තියෙන් සිහිකරන්නන් පිළිගනු ලබන බවයි. මේ උදාර කාර්යය සඳහා ම අමිතාභ බුදුන්වහන්සේ සිය දකුණු ඇසින් නික්මවූ රතු ආලෝක ධාරාවෙකින් අවලෝකිතේශ්වර හෙවත් පද්මපාණි බෝසත්තුමා මවා, එතුමා කෙරෙහි සිය මහා කරුණා ව ආරෝපණය කරවා මනුෂ්‍ය ලෝකයට එවූසේක. එම නිසා මනුෂ්‍යයන් බුදුන් කෙරෙහි අචල භක්තියෙන් පිරි උන්වහන්සේගේ නම නිබඳව සිහි කළ යුතුය; ජල්පානය කළ යුතුය; පින් රැස් කිරීම අවශ්‍ය නොවේ. සුඛාවතියෙහි ස්ත්‍රීන් නූපදින බව ද, ස්ත්‍රීන්ට පුණ්‍යක්‍රියා හේතුකොටගෙන අනතුරු අත්බවෙක දී පුරුෂභාවය දිනා එහි උපත ලැබිය හැකි බව ද සද්ධර්මපුණ්ඩරීකයෙහි කියැවේ. එහි උපදින්නන්ගේ ලිංගික වෙනසක් නොවන බව ඇතැම් ග්‍රන්ථ පවසයි. රහතුන් 1250ක් ද බෝධිසත්වයන් හා දෙවියන් ද මධ්‍යයෙහි ශාක්‍ය මුනීන්ද්‍රයන් සුඛාවතී ව්‍යූහ සූත්‍රය දේශනා කළ බවත්, එය ශ්‍රවණය කරන්නන් අනුත්තර සම්‍යයක් සම්බෝධියට පත්වන බවත් දැක්වේ. අමිතාභ නමින් බුදු වූයේ භික්ෂුවක් නොව ස්වකීය රාජශ්‍රීය හැර ගොස් බුදු කෙනෙකුගෙන් දහම් අසා චිත්තපාරිශුද්ධිය අත් කොටගත් රජ කෙනෙකුන් ය යනු ද එක් මතයකි.
සුඛාවති දෙව්ලොව පිළිබඳ විස්තරයෙහි එන වෘකෂලතාදියෙන් සර්වඥතාඥානයෙන් පිවිතුරු වූ සිත් ද, මල්වලින් සත්‍යාවබෝධය සහ බුද්ධිය ද, පක්ෂීන්ගෙන් නිබඳ වෙනස්වීම සහ අලුත්වීම ද, සංගීතයෙන් චෛතසික ඒකීභාවය ද සංකේත ස්වරූපයෙන් දැක්වෙන බව කියති.
ක්‍රි.ව.147 දී පමණ අමිතාභ වන්දනාව නේපාලයෙන් හෝ කාශ්මීරයෙන් හෝ චීනයට පිවිසියේ ය. එකල ෂී-කාවෝ සහ ලෝකක්ෂේම විසින් ගෙන එන ලද මහා සුඛාවතී ව්‍යූහය පළමු අමිතාභ ධර්ම ග්‍රන්ථය වේ. එයින් දෙසිය වසරකට පමණ පසුව හුයියුවන් විසින් සුඛාවතී (ටිසිං - ටු) නිකාය ආරම්භ කරන ලදි. හත්වැනි සියවසේ දී පහළ වුණු ක්වංමිං ද මේ නිකාය තවත් දුරට ව්‍යාප්ත කළේ ය. මේ කාලයේ දී චීනයේ කොන්ෆියුෂියානු භක්තියෙන් සහ අමිද භක්තියෙන් අතර ආගමික විවාද ද පැන නැගිණි. අමිද ධර්මය ජපානයෙහි පැතිරී ගියේ ක්‍රි.ව.950න් පසුවයි. අමිතායුර්ධ්‍යාන සූත්‍රය පදනම් කොට ගෙන ජෝඩෝ නමැති නිකාය ආරම්භ කළ හෝනෙන් ෂොනින් (1133-98) භක්තියෙන් පමණක් විමුක්තිය ලැබිය හැකි බව ප්‍රකාශ කළේ ය. ඔහුගේ ශිෂ්‍යයා වන ෂින්රන් ෂොනින් (1173-1262) මේ භක්තිවාදය තවත් අන්තයට ගෙන ගියේ ය.
ෂින් නිකායිකයන් අමිතාභ සියලු ලෝක සත්වයන්ගේ පියා බව ද ඔවුනට විමුක්තිය ගෙන දෙනු සඳහා නොයෙක් ස්වරූපයෙන් උන් වහන්සේ ලොව පහළ වූ බව ද උන්වහන්සේ හෝසෝ (ධර්මාකර) ස්වරූපයෙන් පහළව ප්‍රණිධාන කළ බව ද විශ්වාස කරන අතර ම ඔව්හු එක ම සදාකාලික බුදුන් (ඉච් බුත්සු) උන්වහන්සේ ලෙස ද අන් හැම බුදුවරුන් උන්වහන්සේගේ අල්පකාලික ව්‍යක්තීන් ලෙස ද ගනිති. අමිතාභ බුදුන්ගෙන් පහළ වුණු මානුෂික බුදුහු ගෞතම නාමයෙන් හඳුන්වනු ලබත්. බෝධිසත්ව ව්‍යක්තිය අවලෝකිතේශ්වර හෙවත් පද්මපාණිය. උන්වහන්සේගේ මුද්‍රාව ධ්‍යාන මුද්‍රාවය; පැහැය රතය; මූලධාතුව ජලයය; ස්ත්‍රී ශක්තිය පාණ්ඩරා නොහොත් සීතාය; උන්වහන්සේ හා ආශ්‍රිත ක්‍රෝධ රාක්ෂයෝ නම් භයශ්‍රීව, ක්‍රෝධ අවලෝකිත, පීත භ්‍රැකුටි සහ කුරුකුරුල්ලාය. අමිතාභ ප්‍රතිරූපවලින් උන්වහන්සේ පර්යංකයෙන් වැඩ සිටින සේ දැක්වෙති. එහි ධ්‍යාන මුද්‍රාව පිහිටි දෑත් මත පාත්‍රයෙකි. උෂ්ණීෂය සහ ඌර්ණරෝම ධාතුව ද වෙයි. කන් දිගය. ස්ත්‍රී ශක්තිය දැක්වෙන ඇතැම් අවස්ථාවල දී උන්වහන්සේගේ හිසෙහි ඔටුන්නක් වෙයි. දෑත් අසාමාන්‍ය සේ දික් වූ උන්වහන්සේගේ හිටි පිළිම ද චීනයේ ඇතැම් පළාත්වල පිහිටුවා තිබේ. ඒවා චීනයෙන්-යින් ෆෝ හෙවත් දෙව්ලොවට මඟ පෙන්වන බුදුහු යනුවෙන් හැඳින්වේ. ජපන් ප්‍රතිමාවල අත් ඇතැම් විට ධර්මචක්‍ර මුද්‍රාවෙන් තිබෙන සේ දැක්වෙයි. ධ්‍යානි මුද්‍රාව දැක්වෙන අවස්ථාවල දබරැඟිලි තුඩු මහපට ඇඟිලි මතට නැමී තිබෙන සේ දැක්වෙයි.
දීර්ඝ ආයුෂ පිළිබඳ වු අමිතාභ බුදුන්ගේ ස්වරූපය අමිතායුෂ් හෙවත් අපරිමිතායුෂ් නම් වේ. චිනයෙහි සහ ජපානයෙහි මේ ස්වරූපයත් අපරිමිත ප්‍රභාව දක්වන ස්වරූපයත් අතර වෙනසක් නොදැක්වෙතත් තිබ්බතයේ නම් ඒ දෙක වෙන් වෙන්ව ම සලකනු ලබයි. අපරිමිතායුෂ් බුද්ධ ස්වරූපය ආශ්‍රයෙන් ඇති වූ දිර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ ප්‍රජා ක්‍රමයක් ද ලාමාවරුන් අතර පවතී. ගෙලමාලවල ද, පුජා ධජවල ද මාර්ගාසන්න පූජාසනවල ද බෙහෙවින් ම දක්නට ලැබෙන්නේ අමිතායුෂ් ප්‍රතිරූපයි. එහි ආභරණ දහතුනෙකි. හිසකෙස් උරය මතට වැටේ. ධ්‍යාන මුද්‍රාවෙන් දැක්වෙන අත්හි ඇටමාල හතරකින් සරසන ලද අමෘත කලසකි; ඉන් කුඩා අශෝක පැළයක් නැඟේ. බොහෝ අවස්ථාවල දී මඤ්ජු ශ්‍රී සහ වජ්‍රපාණි යන බෝධිසත්වයෝ පිරිවරා සිටිති.
(සංස්කරණය:1963)