අමුණ

සිංහල විශ්වකෝෂය වෙතින්
10:22, 25 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න
E-7.jpg
ගංගා ඇළ දොළ ආදි දියපාරක සාමාන්‍ය ජල මට්ටම ඔසවනු සඳහා එය හරහා බඳිනු ලබන බැම්ම අමුණ නම් වෙයි. මෙය තාප්පයක් වැනි නිර්මාණයකි. අමුණ නිසා එය ඉදිකරනු ලැබු ස්ථානයෙහි දිය පාර සාමාන්‍ය මට්ටමට වඩා උස් වූ මට්ටමකින් නොහොත් අමුණ මතින් ගැලීමට පටන් ගනියි. අමුණු බැඳීම පහත සඳහන් කරුණු උදෙසා කරනු ලැබේ.

1. ගඟෙහි ජල මට්ටම උස් කොට, බැම්මෙන් ඉහත්තාවේ ඇති පහත් බිම බෝග වගාකිරීමට හැකිවන පරදි එම ප්‍රදේශයෙහි ජලය ගලායන්නට සැලසීම. මේ ක්‍රමය පිටාර ජලසම්පාදනය නමින් හැඳින්වෙයි. ලංකාවේ තෙත් කලාපයේ පහත් බිම්වල පිහිටි කුඹුරු මේ ක්‍රමය අනුව වගා කරනු ලැබෙයි.

2. ගඟෙහි පෝෂක ප්‍රදේශයේ හෝ තදාසන්න පෝෂක ප්‍රදේශයේ හෝ පිහිටි ජලාශයන් පිරවීම සඳහා ගඟේ ජල මට්ටම ඔසවා. කෘත්‍රිම ඇළක් ඔස්සේ ඒ ජලය ඉහතකී ජලාශයට යැවීම. ජලාශය කරා ජලය ගෙන යන ඇළ ප්‍රවේශ ඇළ (inlet channel) යනුවෙන් හඳුන්වනු ලැබේ. ඇළටත් ජලාශයටත් ගලාබසින ජලය ප්‍රධාන සොරොව්වක් මගින් පාලනය වෙයි. ප්‍රවේශ ඇළට ජලය නුවුවමනා විට මේ ප්‍රධාන සොරොව්ව වසාදැමිය හැකිය. අඹන්ගඟ හරහා ඇති ඇළහැර අමුණ නිසා ඇළහැර ඇළ ඔස්සේ මින්නේරි සහ ගිරිතලා වැව්වලට ජලය ගෙන යෑම නිදසුනක් වශයෙක් දැක්විය හැකිය.

ප්‍රවේශ ඇළකින් අවට ප්‍රදේශයට ජලය සැපයීමත් සාමාන්‍යයෙන් නොකෙරෙයි. අමුණ බැඳ ඇති ගඟ නිත්‍යවාහි එකක් නොවේ නම් එබන්දක් විශේෂයෙන්ම අපේක්ෂා නොකෙරේ. එහෙත් ඇළහැර ඇළින් අවට ප්‍රදේශයට ද ජලය සම්පාදනය කරනු ලැබේ.

E-8.jpg

3. ගඟේ ජල මට්ටම ඔසොවා එහි ජලය වාරි මාර්ගයක් ඔස්සේ කෙළින් ම කුඹුරු වලට යැවීම. මේ වූකලි ජලාශක දිය රඳවා මෙහෙයවන ජලසම්පාදන ක්‍රමයට වෙනස් වූ සෘජු ජලසම්පාදන ක්‍රමයකි. සෘජු ජලසම්පාදනය සඳහා අමුණු බඳිනු ලබන ගංඟාව නිත්‍යවාහී එකක් විය යුතුයි. එසේ නැතහොත් යටත් පිරිසෙයින් බෝග වගාකරන කල්හි දි වත් කෙත්වලට සැපයීම සඳහා එහි සෑහෙන තරම් ජලය ගලා බැසිය යුතුයි. තෙත් කලාපයේ පවතින බොහෝ අමුණු මේ ගණයට අයත් වෙයි.

තාවකාලික අමුණු, ස්ථිර මුදුනකින් යුත් ස්ථාවර අමුණු සහ වෙනස් වනසුලු මුදුනකින් යුත් ස්ථාවර අමුණු යයි සාමාන්‍යයෙන් තුන් වර්ගයක අමුණු දක්නා ලැබේ.

තාවකාලික අමුණ දියපාරක් හරහා බඳින ඉතා දළ විධියේ නිර්මාණයකි. සාමාන්‍යයෙන් මෙය ගංගාවක හෝ ඇළක පත්ලේ කෙළින් සිටුවන ලද්දාවූ කණු හෝ ලී දඬුවලින් ද ඒ හරහා සවි කරන ලද ලී කෝටුවලින් නොහොත් ලෑලිවලින් ද සාදන ලද දඬුවේල්ලකි (stick dam), නැත හොත් වැලිවේල්ලකි. (sand dam). කෑපු අතු, පිදුරු හා මැටි ආදියෙන් විවර අසුරා දඬුවේල්ලෙහි දිය කාන්දුවීම වළක්වනු ලැබේ. දිය පාර හරහා වැලිගෝණි තැන්පත්කොට පිදුරුවලින් සහ මැටි වලින් අතුරුසිදුරු වැසීමෙන් ද දඬුවේලි බැඳ ගනු ලැබේ. මේ අමුණු වර්ගය සාමාන්‍යයෙන් තනනු ලබන්න් ගංවතුරින් හානියක් ඇති නොවිය හැක්කා වූ ද ගඟේ දිය වේගය අඩුවී පවතින්නා වූ ද වැසි කාලයේ අවසාන හරියේ දීය. අවුරුදු පතා ම කළ යුතු වූ මේ තාවකාලික අමුණු බැඳීම හා ඒවා නඩත්තු කොට ගැනීම ගොවියන් ගේ සාමුහික ප්‍රයත්නය මත රඳා පවතී. මේ වෙනුවට දැන් දැන් ගල් බැමි බැඳීම කරනු ලැබේ.

ස්ථාවර අමුණු වූකලි දිය පාරක් හරහා ඉදිකරන ගල්බැමිය. ඒ මතින් දිය ගලා හැළෙන ලෙස ද ගංවතුරෙන් ඒවා ඇද හැළී ගසා ගෙන නොයාහැකි ලෙස ද ශක්තිමත් කොට බඳිනු ලැබේ. ගංගාවක් හෝ ඇළක් හරහා මෙබඳු අමුණක් බැඳීමෙන් ගංපත්ලේ ස්වභාවික මට්ටම උස්සා සාමාන්‍ය දිය පාර අවහිර කිරීම නිසා. එය ඉදි කිරීමෙන් පසු ඉහත්තාවේ මහ ගංවතුර මට්ටම ද නැඟීයයි. මේ නිසා අමුණට ඉහත්තාවේ වටිනා ඉඩ කඩම් තිබේ නම් ගඟ දෙපස වේලි බැඳ ඒවා ගංවතුරෙන් ආරක්ෂා කළයුතු වෙයි.

E-9.jpg

අමුණු බැම්ම ඉවුර තුළට කාවැදෙන දෙකොනෙහි මහ ගංවතුරු මට්ටමට ඉහළින් පවත්නා අයුරු පැති බැමි (abutments) ගලින් බඳිනු ලැබේ. මේ පැති බැමි මහ ගංවතුරු මට්ටමට වඩා පහත් වුවහොත් ඒ ගංගාව හෝ ඇළ ඉවුරු සෝදාගෙන, අමුණ පසෙක තිබිය දී අලුත් මඟක් ඔස්සේ ගලා ගෙන යා හැකිය. අමුණේ දිග වැඩි කිරීමෙන් හො යටි සොරොව් සැපයීමෙන් හෝ අමුණට තාවකාලික මුදුනක් දැමීමෙන් හෝ බලාපොරොත්තු විය හැකි මහ ගංවතුරු මට්ටම අඩුකරගත හැකි ය. ගංවතුරක් ඇතිවූ විටක වතුර බැස්වීම සඳහා ඇරපිය හැකි පරිදි අමුණෙහි ම යටින් තනා තිබෙන විවර යටිසොරොව් නම්. මේ යටිසොරොව් ගංවතුරු මට්ටම අඩුකරලීමට ද ප්‍රයෝජනවත් වේ. අඟල් 6ක් පමණ පළල අඟල් තුනේ ලෑලි හෝ තහඩුවලින් මේ යටිසොරොව් සාමාන්‍යයෙන් වසා තිබේ.

ඉහත්තාවෙන් ගලා එන දිය පාර වඩාත් වේගවත් වූ අවස්ථාවල දී ඊට ඉඩ සලසන පිණිස යටි සොරොව්වටලට ඉහළින් ද අමුණේ බඳෙහි ලෑලි බස්වා වසා තිබෙන විවර (planked openings) ඇත. දියපාරේ වේගයෙන් අමුණට හානියක් වන්නට පෙර මෙම ලෑලි ඉවත්කර දියපාරට ඉඩ සලසනු ලැබේ. සාමාන්‍යයෙන් අඩි පහකට නොවැඩි පරතරයකින් යුත් කණු දෙකක ඇතුළු පැත්තේ වූ කට්ටාවලට බස්වන ලෑලිවලින් වැසෙන මේ විවරයක පළල අඩි 4 1/2 කට (අඟල් 6ක් පළල ලෑලි 9කට) වැඩි නොවිය යුතුය. මීට එක ම හේතුව හදිසි අවස්ථාවක දී ලෑලි වැඩි ගණනක් ඉවත් කිරීම දුෂ්කර විය හැකි වීමයි. ගංවතුර අධික කාලවල දී ලෑලි සියල්ල ම ඉවත් කර දියපාරට හැකි තරම් ඉඩ සැලසිය යුතුය.

ගංවතුරක් ඇති වූ විටෙක දී විවෘත කළ හැකි දොරටු අමුණ මුදුනේ සවිකිරීමෙන් ද ගංවතුර මට්ටම අඩු කර ගත හැකි ය. මේවා ප්‍රතිතෝලික සෘජු කෝණාස්‍රාකාර දොරටු (balanced rectangular ) හෝ කරකැවෙන දොරටු (radial gates) විය හැකිය. නාලන්දාවේ එබ්බාවෙල අමුණු නියන්ත්‍රකය (regulator) ප්‍රතිතෝලික සෘජු කෝණාකාර දොරටු දමා නිමකර ඇති අතර,කන්තලේ යොද ඇළෙහිත්, ගල්ඔයේ සහ අලුත් ඔයෙහිත් කරකැවෙන දොරටු දමා ඇත. මෙවැනි දොරටු ක්‍රියාකරවීම සඳහා එසවුම් ආම්පන්න යෙදවිය යුතු හෙයින් ඒ සඳහා අමුණට උඩින් පාලමක් දැමීමට සිදුවීම මේ ක්‍රමයෙහි ඇති අවාසියයි. මෙය මඟහරවාගැනීමට, කලින් නියමිත වූ මට්ටමකට ගංවතුර නැග පසු ඉබේ ම ඇළගැසෙන අන්දමේ දොරවල් සකස් කොට තිබේ. එහෙත් ප්‍රායෝගික දුෂ්කරතා නිසා මේවා ද එතරම් සුදුසු නොවන බව වැටහී තිබේ.

E-10.jpg

අමුණක් බඳින ස්ථානය තෝරා ගැනීම කරුණු දෙකක් මත රඳා පවති. මින් පළමු වැන්න නම් අමුණා ඉදිකරන ස්ථානයේ බිමෙහි යෝග්‍යතාවයි. දෙවැන්න නම් දිය ගෙන යායුතු ස්ථානය හා සසඳා බලන කල ග‍ඟේ දිය මට්ටම පවත්නා අමුණට පහළින් ඇති විය හැකි විනාශදායක සෝදාපාළු වළක්වා ගැනීම සඳහා අධික වියදම් දැරිය යුතු ආරක්ෂක බැමි ආදිය බැඳීම අනවශය වේ. පදනම් සේ ගත හැකි ගල් තට්ටු මෙරට කඳුකර ප්‍රදේශයෙන් ඇතත්, දියළු පසින් යුත් වෙරළබඩ පළාතෙහි සවිබල ඇති අමුණක් ඉදිකිරීමට නොයෙක් උපක්‍රම යෙදිය යුතු වේ. දියාකන්දුවීම වැළැක්වීම සඳහා පොළොවේ ඉතා ගැඹුරු මට්ටමක සිට ගොඩනගන බැමි හා රොන්බොර එකතුවීම සඳහා යොදන "දිය කුලිච්චවම්" (water cushions) ආදිය වෙමැනි උපක්‍රමයෝයි.

ජලය ගොන යායුත භූමියේ මට්ටම හා සසඳන කල අමුණ ඉදි කරනු ලබන ගංගා පත්ලේ මට්ටම් ඉතා පහත් නම් එහි ජල මට්ටම සෑහෙන තරම් උසකට නැංවීම සඳහා උස් ගල්බැම්මක් බැඳීම අවශ්‍ය වේ.

වැව්අමුණුඇළ දොළවලින් සමන්විත වන්නාවූ ඉතා පැරණි වාරිමාර්ග ක්‍රම ගැන ලංකාද්විපය ප්‍රසිද්ධියක් උසුලයි. විශාල ගංගා හරහා උස් වේලි බැඳිමට අවශය පහසුකම් එකල නොපැවිත බැවින් , පැරැණියෝ ඉතා පහසුවෙන් ජලාශයක් බැඳිය හැකි වූ ආසන්න ගම්මානයක් වෙත අමුණුවල ආධාරයෙන් ගංගාවන්ගේ දිය හරවා යැවූහ. මෙයින් ඇතැම් අමුණු ප්‍රතිසංස්කරණය කරනු ලැබ දැන් ප්‍රයෝජනයට ගනු ලැබේ. ප්‍රතිසංස්කරණය නොකරනු ලැබු අමුණු රාශියක් ද තව ම ඇත. අඹන්ගඟ හරහා ඇළහැරෙහි සහ අඟමැඩිල්ලෙහි බඳින ලද අමුණු දෙක ද, අරුවිආරු (මල්වතු ඔය) හරහා බඳින ලද "තෙක්කම" ද ප්‍රතිසංස්කරණය කරන ලද අමුණු අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ සියලු අමුණු ගල් සහිත ගං පතුල මත විවරවලට සවිකොට අවුළුවන ලද ලොකු ගල් කුට්ටිවලින් සහ හුනු බදාමයෙන් බඳින ලද්දේ වෙයි. නිරර්ථක වී ගිය අමුණු එසේ වී ඇත්තේ ගංවතුර ගලා පස් සෝදා යෑමෙන් වුණු උපද්‍රව නිසා බව පෙනී යයි. වර්තමාන විද්‍යාඥානය සහ කාර්මික උපක්‍රම හේතු කොට ගෙන අමුණු බැඳීම සඳහා ගල් තට්ටුවලින් සෑදුණු ගංපත්ලක් ම තෝරා ගැනීම අවශ්‍ය නොවෙ. එහෙත් එබන්දට යන වියදම නම් සාමාන්‍යයෙන් අඩු බව කිවමානයි. ඩෙල්ලා ප්‍රදේශයන්හි වැලි සහිත ගංපතුල්වලට පවා අමුණු ඉදි කොට තිබේ.

කර්තෘ:ඩබ්ලිව්.ටී.අයි. අලගරත්නම්

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමුණ&oldid=3479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි