අරාබී සංගමය
(Arab League). මිසරය, සිරියාව, ඉරාකය, ලෙබනනය, ජෝර්දානය, යේමනය, ලිබියාව, සවුදි අරාබිය, සුඩානය, ටියුනීසියාව සහ මොරොක්කෝව යන මැද පෙරදිග අරාබි රාජ්‍යයන් එකොළොසකින් සංයුක්ත වූ රාජ්‍ය සංගමය අරාබි සංගමය යනුවෙන් හැඳින්වේ. අරාබි සංගමය පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1945 මාර්තු මස 22 දායි.
තුන්කෝටි හැටලක්ෂයක් පමණ ජනයා වෙසෙන මෙකී මැදපෙරදිග ප්‍රදේශය ශතවර්ෂ සතරකට වැඩි කාලයක් ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවතිණි. අපරාධීන ජාතියක් වශයෙන් නැඟී සිටීමට ආශාකළ අරාබි ජනයා කෙරෙන් මතුවූ ජාතිවාත්සල්‍යය දහනවවන සියවසේ ඇතිවූ "අරාබි පුනරුත්ථානයට" පසුබිම වුයේය. ප්‍රථම ලෝක මහා සංග්රාම සමයේ දී අරාබි ජාතිකයන් තුර්කියට විරුද්ධව මහා කැරැල්ලක් පවත්වාගෙන ගියේ ද ස්වතන්ත්‍ර එක්සත් අරාබි රාජ්‍යයක් ගොඩනැංවීමේ අදහසින් බව පැහැදිලිය. ප්‍රථම ලෝක මහාසංග්‍රාමය අවසානවත් ම තුර්කි අධිරාජ්‍යය බිඳ වැටුණේය. එහෙත් පර්සියානු බොක්ක ආශ්රිත රාජ්යද සවුදි අරාබිය සහ යේමනය යන රාජ්‍යයන්ද හැර අනිකුත් අරාබි රාජ්‍යයන්ට පූර්ණ ස්වාධීන රාජ්‍යයන් වශයෙන් නැඟී සිටින්නට නොහැකි විය. සම්පූර්ණ වශයෙන් නිදහස නොලත් රාජ්‍යයන්ගෙන් යුත් ප්‍රදේශය වර්ෂ 1919 දී ඇතිවූ සාම ගිවිසුම් අනුව බ්‍රිතාන්‍යය සහ ප්රංසය යන මහාජාතීන් අතර භාරකාර හෙවත් ආදේශක රාජ්‍යයන් වශයෙන් බෙදී ගියේය. අරාබි ජාතිවාත්සල්‍යය අරාබි රාජ්‍යයන් එක්සත් කිරීමට තරම් ප්‍රමාණවත් වූ බලවේගයක් නොවූයේ. ඒ ඒ රාජ්‍යය කරවූ පාලකයන් අතර පැවතුණා වූ පෞද්ගලික ඊර්ෂ්‍යාවත් අමනාපයත් නිසා බව පෙනේ. 1930න් පසු මුසෝලීනි විසින් අනුගමනය කරන ලද විදේශ ආක්‍රමණ ප්‍රතිපත්තිය නිසා තැතිගත් අරාබි නායකයෝ හැම අරාබි රාජ්‍යයකට ම පොදු වූ, දෙශපාලනමය සංස්ථාක් ගොඩනගා ගැනීමේ වැදගත්කම වටහාගත්හ. 1939 දක්වා ඒ සම්බන්ධයෙන් සෑහෙන ප්‍රතිඵල ඇතිවන සේ යමක් කිරීමට අරාබි නායකයන් අපොහොසත් වුවද දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා තත්වය ඔවුන්ගේ වාසිය පිණිස හැරුණේය. වර්ෂ 1941 වනවිට බ්‍රිතාන්‍යය සහ ප්රංසය ඔවුන්ගේ ආදේශක පාලනය ඉවත්කර ගැනීම නිසා මැද පෙරදිග රාජ්යන්ගෙන් වැඩි සංඛ්‍යාව ස්වාධීන රාජ්‍යයන් බවට පත් විය.
1944 දී ඇලෙක්සන්ඩ්රියා නුවර දී පවත්වන ලද අරාබි රාජ්‍යයන්ගේ නියෝජිත සම්මේලනයේ අරාබි සංගමය පිහිටුවීමට සම්මත විය. මිසරය, ඉරාකය, සිරියාව, ලෙබනනය, ජෝර්දානය, සවුදි අරාබිය, යේමනය යන රාජ්‍යයන් හතේ නියෝජිතයෝද පලස්තීනයේ අරාබි ජනතාව වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයෙක් ද මෙම සම්මේලනයට සහභාගි වූහ. ඒකීය රාජ්‍යයක් හෝ ඒකාබද්ධ රාජ්‍යයක් හෝ පිහිටුවිය නොහැකි බව වටහාගත් මෙම සම්මේලනය පොදුකටයුතුවලදී සෑම අරාබි රාජ්‍යයකට ම පොදු වූ කරුණුවල දී එක් ව වැඩ කිරීමට හැකිවන සේ පොදු ආයතනයක් පිහිටුවීමට තීරණය කළේය. අරාබි සංගමය (1945) මෙකී තීරණයේ ප්රතිඵලයයි. වර්ෂ 1953 දී ලිබියාව ද ඉක්බිති 1956 දී සුඩානය ද 1958 දී ටියුනීසියාව සහ මොරොක්කෝව ද මෙම සංගමයට ඇතුළත්විය.
පරමාර්ථය: අරාබි රාජ්‍යයන්ගේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සාමාජික කටයුතුවලදී අන්‍යෝන්‍ය ආධාරකරුවන් වශයෙන් ක්‍රියාකිරීම ද විදේශීය බලය සහ බලපෑම සහමුලින් ම පිටු දැකීම ද අරාබි සංගමයේ පරමාර්ථය වේ.
අරාබි සංගමය එහි ආරම්භයේ සිට ම අරාබි වර්ගයාගේ යහපත සඳහා ක්රියාකරන්නාවූත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නාවූත් ප්‍රධාන නියෝජිත ආයතනය වූයේය.සිරියාව, ලෙබනනය, ඇලජිරියාව‚ ටියුනීසියාව, මොරොක්කෝව හා ලිබියාව යන රටවල් නිදහස සඳහා කරගෙන ගිය සටන්වලට අරාබි සංගමයේ සම්පූර්ණ සහයෝගය සහ උදව්ව ලැබුණේය. බ්‍රිතාන්‍ය හමුදා සූවස් ඇළ ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් නෙරපා දැමීම සඳහා වර්ෂ 1951 සැප්තැම්බර් මාසයේ සිට මිසරයට ද අරාබි සංගමය උදව් කළේය. ඊශ්‍රායෙල්වරුන් පලස්තීනයට ඇඟිලි ගැසීම ගැන ද අරාබි සංගමය ස්වකීය විරුද්ධත්වය ප්‍රකාශ කෙළේය. එමෙන්ම ඊශ්‍රායෙල්වරුන්
සංවිධානය: අරාබි සංගමයේ කාර්ය සංවිධානය මන්ත්‍රණ සභාවකින්ද විශේෂ කාරක සභා කිහිපයකින් හා ප්‍රධාන ලේකම් කෙනෙකු යටතේ කයිරෝ නගරයෙහි පිහිටුවනු ලැබූ ස්ථිර ලේකම් කාර්යාලයකින් ද සමන්විත වෙයි. තවද අරාබි රටවල විදේශ ඇමතිවරුන්ගෙන් සමන්විත දේශපාලන කාරක සභාවක් ද වෙයි. මන්ත්‍රණ සභාව සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙවරක් රැස්වන්නීය. අවස්ථාවක් ඇති වුවහොත් සාමාජික රටවල් දෙකක ඉල්ලීම අනුව විශේෂ සභාවාරයක් පැවැත්වීමට පුළුවන. ඕනෑ ම අරාබි අගනුවරක රැස්වීම පැවැත්වීමට ද ඉඩ තිබේ. එක් සාමාජික රාජ්‍යයකට ඇත්තේ එක් ඡන්දයක් පමණි. සාමාජික රාජ්‍යයන් දෙකක් අතර හෝ සාමාජික රාජ්‍යයකුත් වෙනත් රාජ්‍යයකුත් අතර හෝ ඇතිවන වාදභේද අසමගිකම් ආදිය සාකච්ඡා කිරීමෙන් සමථයකට පත් කිරීමට උත්සාහ දැරීම අරාබි සංගමයෙන් ඉටුවුණු වැදගත් සේවයකි.
ක්‍රි.ව. 1958 පෙබරවාරි 2 දා බිහිවූ එක්සත් අරාබි සමූහාණ්ඩුව සහ 1958 පෙබරවාරි 14 දා ඇරඹුණු බටහිර බලවතුන්ට හිතවත් අරාබි සංයුක්ත රාජ්‍යය (බ.) ද නිසා අරාබි වර්ගයා එක්සත් කිරීමේ ප්‍රධාන බලවේගය වශයෙන් අරාබි සංගමය එතෙක් දරූ තැන එයට අහිමි විය.