අරිෂ්ට හා ආසව
ආයුර්වේද චිකිත්සාවට අයත් ඖෂධ යෝග විශේෂ දෙකකි. විවිධ රෝගයන් ව්‍යපශමනය සඳහා යොදනු ලබන අමෘත, අභය, කූටජ, මුස්තක, අශෝක, අශ්වගන්ධ, ද්‍රාක්ෂා ආදි නම්වලින් හැඳින්වෙන අරිෂ්ට බොහෝ ගණනක් සාදා ගැනීම පිණිස ගත යුතු ඖෂධ වර්ග හා ඒවා සකස් කර ගන්නා ක්‍රම ගැන ද ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි සඳහන් වේ. නියමිත ප්‍රමාණයක් ජලය හා සුනු කළ ඖෂධ වර්ග භාජනයක දමා උදුනෙහි තබා සිඳුවා ගත් ක්වාථයට උක්සකුරු, මීපැණි, සුනු කළ ඖෂධ ආදිය බහා බඳුනේ කට වසා මැටි බැඳ වීරැසක් මැද හෝ පොළොවේ සාරාගත් වළක හෝ එක්තරා කාල සීමාවක් නිශ්චලව තබා පෙරාගත් ද්‍රව විශේෂය අරිෂ්ට නම් වේ.
ආසව නමින් හැඳින්වෙන ඖෂධ සංයෝගය ද බෙහෙවින් ම අරිෂ්ටවලට සමාන වුව ද ඒවා පිළියෙල කිරීමේ දී උදුනෙහි තබා කෂාය සිඳුවීමක් අනවශ්‍යය. ඒ වෙනුවට සුනු කළ ඖෂධ වර්ග, මී පැණි හා උක් සකුරු ජලයෙහි බහා පැසවා ගනිති. මේ දෙවර්ගය ම විවිධ රෝගයන්ට ප්‍රතිකාර වශයෙන් යොදති.
උණ, සෙංගමාල, උදරරුජා, ගුල්ම, ප්ලීහ, අර්ශස්, කාමලා, කුෂ්ඨ, ඉදිමුම්, ආහාර අරුචිය, අෂ්ඨිලා, අතිසාර, ප්‍රමේහ, අජීර්ණ, කොලරා, විසූචිකා, මලමුත්‍රබද්ධ, පාණ්ඩු, වාතරක්ක, විද්‍රධි ඌරුස්තම්භ, අශ්මරි, ප්‍රමේහ, පිඩකා, භගන්දරා, කෘමි, අපස්මාර, උන්මාද, රක්තප්‍රදර, ශ්වේත ප්‍රදර ආදි රෝගවලට ප්‍රතිකාර වශයෙන් අරිෂ්ට යොදනු ලැබේ. සියලුම අරිෂ්ට හා ආසව වර්ග, කෑමට පළමු දවසකට දෙවරක් හෝ තෙවරක්ද උදේ සවස අන්‍ය බෙහෙත් ගන්නා කල දවසකට දෙවරක් ද එසේ නැතිවිට තෙවරක් ද යෙදීමට නියමිතය.