අරුන්ඩේල්, රුක්මිණී දේවී
(1904-)'. භාරත දේශයේ ශාස්ත්‍රීය නර්තනයෙහි විශිෂ්ටතම ප්‍රදර්ශිකාවන් අතුරෙහි ලා ගැණෙන මෝතොමෝ භාරත නාට්‍ය ශාඛාවට අයත් දාසි ආත්තම් නැටුම් ශෛලියෙහි අත්‍යන්තයෙන් ප්‍රවීණ නිළිය වන්නීය.
දකුණු ඉන්දියාවේ මදුර නගරයෙහි උසස් බ්‍රාහ්මණ පවුලක උපන් රුක්මිණි දේවී බාලවියෙහි පටන් ම නාට්‍ය කලාව කෙරෙහි මහත් අභිරුචියක් ඇතිව සිටියාය. නව යෞවනයෙහි දීම පරම විඥානාර්ථවාදී මතයන්ගේ ආභාසය ලැබූ රුක්මිණි සිය ජීවිතය කලාවටම කැප කරන්නට ඉටා ගත්තාය. ඇගේ සහජ දස්කම්, නොපටු බුද්ධිය සහ උසස් අභිමතාර්ථයන් දුටු ඇනී බැසන්ට් මහත්මිය ඇගේ අදහස් මුදුන් පමුණුවා ගැනීමට උපකාර කළාය.
රුක්මිණී කුඩා අවදියේ ම ඇනා පව්ලෝ වෙත නැටුම් පුහුණුව ලැබුවාය. එහෙත් ඉන්දියානු නැටුම් ඉගෙන ගත්තේ, භාරත නාට්‍ය සම්ප්‍රදායයෙහි එවක ශ්‍රෙෂ්ඨතම ආචාර්යවරයා වූ පණ්ඩනල් ලුර් මීනාක්ෂි සුන්දරම්පිල්ලේ යටතේය.
ඕ තොමෝ සිය නෑසියන්ගේ සහ බ්‍රාහ්මණ වංශිකයන්ගේ ද බලවත් විරෝධය ගැන කිසිත් නොතකා විජාතිකයකු සමඟ විවාහ වන්නට තරම් එඩිතර වූවාය. ඇගේ ස්වාමිපුරුෂයා ජී.ඇස්. අරුන්ඩේල්ය. ඕ පෙරදිග කලාවිභූතියත් සංස්කෘතියත් අපරදිග ලෝකයාට හඳුන්වා දෙමින් සිය හිමියාත් සමඟ දීර්ඝ සංචාරයක යෙදුණාය. රුක්මිණී දේවී සහ අරුන්ඩේල් නොබෝ කලෙකින් ම ඉන්දියානු සංස්කෘතියේ දූත යුවළක් මෙන් බටහිර ලෝකයෙහි පිළිගැනුණාහ.
රුක්මිණී දේවිය විසින් භාරතීය කලා සංවර්ධනය පතා මදුරාසියේ අධ්යාර්හි කලාක්ෂේත්‍ර නමින් කලා මධ්‍යස්ථානයක් පිහිටුවන ලදි.
තරුණ පරම විඥානාර්ථවාදීන්ගේ ලෝක සම්මේලනයේ සභාපති පදවියත් අඩියාර්හි බැසන්ට් පරම විඥානාර්ථ පාඨශාලාවේ අධ්‍යක්ෂ පදවියත් කලා ක්ෂේත්‍රයෙහි සභාපති පදවියත් ලත් රුක්මිණී දේවී ඉන්දියානු ආණ්ඩුවේ සංගීත මධ්‍ය මණ්ඩලයේ ද එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ හා සංයෝජිත ඉන්දියානු ජාතික කොමිසමේ විධායක මණ්ඩලයේ ද මදුරාසියේ සංගීතායතනයේ විශේෂඥයන්ගේ කාරක මණ්ඩලයේ ද අන්නමලෙයි විශ්ව විද්‍යාලයේ සෙනෙට් සභාවේ ද සාමාජික ධුර දරන්නීය.
රුක්මිණී දේවී අරුන්ඩේල්ගේ කලා නෛපුණ්‍යයට ගෞරව කිරීමක් වශයෙන්, 1952 දී ඈ ඉන්දියාවේ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරියක් ලෙස ආණ්ඩුව මගින් පත් කරනු ලැබුවාය. "ශිෂ්ටාචාරයට සෞන්දර්යයේ පණිවුඩය" (The Message of Beauty to Civilization) ග්‍රන්ථය ඇය විසින් ලියා පළකරන ලද්දකි.
(සංස්කරණය: 1965)