ඩෙන් ෂිය‍ාඕ පිං

සිංහල විශ්වකෝෂය වෙතින්
11:04, 6 ඔක්තෝබර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Deng Xiaoping) (22.08.1904-19.02.1997). මහජන චීනයේ දේශපාලන, රාජ්‍ය සහ එ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Deng Xiaoping) (22.08.1904-19.02.1997). මහජන චීනයේ දේශපාලන, රාජ්‍ය සහ එහි පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකි. ආණ්ඩුවේ හෝ පක්ෂයේ උසස් ම තනතුරු නොදැරූ නමුත් 1970 දශකයේ අග සිට 1990 දශකාරම්භය දක්වා චීන මහජන සමූහාණ්ඩුවේ වඩාත් ම බලවත් කොමියුනිස්ට් නායකයා ය. 1980 දශකයේ චීනයේ ප‍්‍රධාන ප‍්‍රතිපත්ති සම්පාදක වශයෙන් පිළිගැනෙන, ආචීර්ණකල්පික කොමියුනිස්ට් ඉගැන්වීම් බැහැර ලා චීන ආර්ථිකයට නිදහස් ව්‍යාපාර ක‍්‍රමයේ මූලිකාංග ඇතුළත් කිරීමට උත්සාහගත් පුද්ගලයා වශයෙන් සැලකෙන තැනැත්තා ය. සිචුවාන් පළාතේ ගුවන්‍යාන් ප‍්‍රදේශයේ පයිෆාන්හිදී උපත ලද මොහුගේ පියා වූයේ ග‍්‍රාමීය බුද්ධිමතකු වූ ඩෙන් වෙන් මින් ය. අධ්‍යාපනයේ වටිනාකම දත් ඔහු සිය වැඩිමල් පුතු හොඳම පාසලකට ඇතුළු කෙළේ ය. මුල් නම ඩෙන් ෂියැන්ෂෙං වූ මොහු පාසල් අධ්‍යාපනය නිමා කළ පසු උසස් අධ්‍යාපනය ලැබීමේ පරමාර්ථයෙන් 1919 දී ප‍්‍රංසය බලා ගියේ ය. උසස් අධ්‍යාපනය ලබන කාලයේ දී (1921-1924) ඇති වූ අගහිඟකම් පියවාගනු පිණිස යකඩ ආකරවල ද 'රෙනෝ' (Renault) වාහන කම්හලේ ද ගිනි නිවන භටයකු ලෙසින් ද ආපන ශාලාවක වෙටරයකු ලෙසින් ද වැඩ කෙළේ ය. ඔහුගේ මව මියගියා එසමයේ දී ය.

ප‍්‍රංසයේ දී තම ජ්‍යෙෂ්ඨ සගයින්ගේ බලපෑමෙන් මාක්ස්වාදී අදහස් කෙරේ නැඹුරු විය. හෝ චි මින්, චෞ එන් ලායි, පොල් පොට් වැනි විප්ලවකාරී අදහස් තිබූ ශිෂ්‍යයෝ ඒ අතර වූහ. 1922 දී චීනයේ සමාජවාදී තරුණ සංගමයට බැඳුණු මොහු එහි යුරෝපා අංශයේ නායකයෙක් බවට පත්විය. 1924 සිට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ මොහු 1925 ජනවාරියේ දී කඩිමුඩියේ ප‍්‍රංසයෙන් පිට ව ගොස් 1925 සිට 1926 ජනවාරි දක්වා 'ජෝසෆ් ස්ටාලින් අනුස්මරණ පෙරදිග ශ‍්‍රමිකයින්ගේ විශ්වවිද්‍යාලයේ' අධ්‍යාපනය ලැබී ය. එකල සෝවියට් ආණ්ඩුව විසින් ක‍්‍රියාවට නංවන ලද 'නෙප්' යනුවෙන් ප‍්‍රකට 'නව ආර්ථික ප‍්‍රතිපත්තිය' පිළිබඳ විචාරාත්මක සාකච්ඡුා සහ නිකොලායි බුහාරින්ගේ (බ.) අදහස් කෙරේ එකල මොහු උනන්දුමත් වූ බව පළවේ. නැවත චීනයට පැමිණි මොහු 1928-29 දී සහ 1934-1935 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් මණ්ඩලයේ ප‍්‍රධානත්වය දැරී ය. 1929-34 දී ගුවන්සි (Guangxi) සහ ජියැන්සි (Jiangxi) පළාත්වල පක්ෂයේ සහ යුද්ධ හමුදාවේ වැඩකටයුතුවල නියැලී සිටියේ ය. 1934-36 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් මණ්ඩලයේ ප‍්‍රධානී ද ඉක්බිති ප‍්‍රචාරක අංශයේ ප‍්‍රධානී ද චීන රතු හමුදාවේ පළමු බලකායේ දේශපාලන අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී සහ ඉනික්බිති ප‍්‍රධානී ද වශයෙන් 'දීර්ඝ පාගමනේ' නව මූල කඳවුරකට ගමන් කිරීමේ වයඹදිග යුද මෙහෙයුමට සම්බන්ධ විය. 1937-45 දී ජපාන ආක‍්‍රමණිකයින්ට විරුද්ධ ව චීනයේ ජාතික-විමුක්ති සංග‍්‍රාමය ආරම්භ වූ පසු, චීන ජාතික පක්ෂය හෙවත් 'කොමින්ටෑන්ග්' (Kuomintang)හි ජාතික ආණ්ඩුවේ සන්නද්ධ හමුදාවට ඇතුළත් වූ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරන ලද 8 වන හමුදාවේ දේශපාලන මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී ව කටයුතු කෙළේ ය. 1938 ජනවාරි මාසයේ සිට 8 වන හමුදාවේ 129 වන සේනාවේ දේශපාලන කොමසාරිස්වරයා ලෙස ද 1943 ඔක්තෝබර් මාසයේ සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උතුරුදිග බියුරෝවේ ලේකම් ලෙස ද ෂන්සි-හෙබේයි-ෂන්දුන්-හෙනාන් නමැති දේශසීමා බද ප‍්‍රදේශයේ හමුදා පරිපාලන කටයුතුවලට නායකත්වය සැපයී ය. 1946-49 චීනයේ ජනතා-විමුක්ති සංග‍්‍රාමය පැවති කාලයේ දී මධ්‍යම නිම්න භූමියේ ක්ෂේත‍්‍ර හමුදාවේ (පසු කලෙක මෙය දෙවන ක්ෂේත‍්‍ර හමුදාව ලෙස නම් කෙරුණි* දේශපාලන කෙමසාරිස්වරයා ව කටයුතු කෙළේ ය. මේ අතර 1947 නොවැම්බර් මාසයේ දී 'කොමින්ටෑන්ග්හි' හමුදාවනට එරෙහි ව සිචුවාන්හි දී එල්ල කළ ප‍්‍රහාරය මෙහෙයවනු ලැබුවේ මොහු විසිනි. එය චැන් කායි-ශෙක් (Chiang Kai-shek) නතර වී සිටි ප‍්‍රදේශයයි. 1949 දී මධ්‍යම මහජන ආණ්ඩුකරණ සෝවියට් සභාවේ සාමාජික ව සිටියේ ය. 1949 ඔක්තෝබර් මාසයේ සිට 1954 සැප්තැම්බර් මාසය දක්වා මහජන විප්ලවකාරී යුද්ධ මණ්ඩලයේ සාමාජික, නිරිතදිග හමුදා ආඥාපති කොට්ඨාසයේ දේශපාලන කොමසාරිස්, නිරිතදිග චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළාත් බියුරෝවේ පළමු ලේකම්, චීන ජනරජයේ රාජ්‍ය සෝවියට් සභාවේ නියෝජ්‍ය අගමැති, මූල්‍ය-ආර්ථික කොමිටියේ නියෝජ්‍ය සභාපති යන තනතුරු දැරී ය. 1954 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තනතුරට පත් මොහු, 1955 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තෝරා පත් කර ගනු ලැබිණි. ඒ කාලයේ සිට විදේශ සම්බන්ධතා සහ ස්වදේශ කටයුතු යන ක්ෂේත‍්‍ර දෙකෙහි ම ප‍්‍රධාන ප‍්‍රතිපත්ති සම්පාදක වූයේ මොහු ය.

1956 සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ නිත්‍ය කමිටුවේ සාමාජිකත්වය ද 1959 සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යුද්ධ මණ්ඩලයේ සාමාජිකත්වය ද දැරී ය. 'දැවැන්ත ඉදිරි පිම්ම' නමැති ප‍්‍රතිපත්තිය අසාර්ථක වීමෙන් පසු 1961-62 දී පවුල් ගිවිසුම් ක‍්‍රමය ද ඇතුළත්, උපයෝගී කර ගත හැකි සියලූ ම උපක‍්‍රම භාවිත කරමින් ජාතික ආර්ථිකය කඩිනමින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන් මහජන චීනයේ දෙවන සභාපති ව සිටි උපයෝගීතාවාදී නායකයකු වූ ල්‍යූ ෂාවෝ චි (Liu Shaoqi) සමඟ සමීප ව කටයුතු කෙළේ ය. චීනයේ ආර්ථික සමෘද්ධිය උදෙසා කුසලතාපූර්ණ තාක්ෂණික සහ කළමනාකරණ කේඩර බිහි කළ යුතු බවත් ඒ සඳහා මා ඕ විසින් දේශනා කළ විප්ලවකාරී උද්‍යෝගීමත්භාවය නොව පෞද්ගලික ආත්මාභිලාශා මුදුන් පමුණුවා ගත හැකි භෞතික අභිපේ‍්‍රරණ විධි උපයෝගී කර ගත යුතු විය. "බළලා කළු ද සුදු ද යන කාරණය වැදගත් නොවේ, මීයන් ඇල්ලිය හැකි නම් ඒ හොඳ බළලෙකි" යන 1961 දී ගුවන්ජෝහි පැවති සම්මේලනයේ දී කළ මොහුගේ සුප‍්‍රකට ප‍්‍රකාශය ඉදිරියේ දී ඇති වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ කියා පෑවේ ය. සංස්කෘතික විප්ලවයේ ආරම්භක අවධිය වූ 1966-76 දී විවේචනයට බඳුන් වූ මොහු සියලූ පක්ෂ සහ රාජ්‍ය තනතුරුවලින් ඉවත් කරනු ලැබිණ. ඒ සඳහා බුද්ධිමතුන්ට එරෙහිව ඔහු විසින් නායකත්වය දෙනු ලැබූ මර්දනකාරී වැඩපිළිවෙල ද හේතු වූයේ යැයි කියැවේ. 1969-73 දී සියැන්සි පළාතට පිටුවහල් කරනු ලැබ සිටියේ ය. චීන අගමැති චෞඑන්ලායිගේ මැදිහත් වීමෙන් 1973 මාර්තු මාසයේ දී චීන ජනරජයේ රාජ්‍ය සෝවියට් සභාවේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස පත් කරනු ලැබිණ. 1975 ජනවාරි මාසයේ සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝජ්‍ය සභාපති, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ නිත්‍ය කමිටුවේ සාමාජික, චීන ජනරජයේ රාජ්‍ය සෝවියට් සභාවේ පළමු නියෝජ්‍ය අගමැති, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යුද කටයුතු පිළිබඳ සෝවියට් සභාවේ නියෝජ්‍ය සභාපති, චීනයේ ජනතා විමුක්ති හමුදාවේ ප‍්‍රධාන අණදෙන මූලස්ථානයේ ප‍්‍රධානී යන තනතුර දැරී ය. 1976 අප්‍රේල් මාසයේ දී මා ඕ අනුගාමික සිව්දෙනාගේ කල්ලිය විසින් යළිත් විවේචනයට බඳුන් වූ මොහු සියලූ තනතුරුවලින් පහ කෙරිණ. ඊට හේතු වූයේ 1976 ජනවාරි මාසයේ සිදු වූ චෞඑන්ලායිගේ මරණයෙන් පසු තියෙන්ආන්මෙන් චතුරශ‍්‍රයේ ඇති වූ සිදුවීම් මොහු විසින් සංවිධානය කරන ලදැයි ඇතිවූ සැකය බව පැවසේ. 1977 ජූලි මාසයේ දී මොහු නැවත කලින් දැරූ තනතුරුවල පිහිටුවනු ලැබිණි. 1977 අගෝස්තු මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 11 වන සම්මේලනයේ දී එහි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු ලෙස තෝරා පත් කර ගැනුණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 11 වන සභාවාරයේ පළමු පූර්ණ සැසියේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝජ්‍ය සභාපති ලෙස පත්විය. 1978 මාර්තු මාසයේ දී චීනයේ මහජන දේශපාලන උපදේශක සෝවියට් සභාවේ සමස්ත චීන කමිටුවේ සභාපතිවරයා බවට පත්විය. 1978 දෙසැම්බරයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 11 වන සභාවාරයේ තෙවන පූර්ණ සැසියේ දී, පසුකාලීන ව ක‍්‍රියාත්මක වූ 'ප‍්‍රතිසංස්කරණ සහ විවෘතභාවය' නමැති ප‍්‍රතිපත්තියේ දේශපාලනමය, දෘෂ්ටිමය සහ පිරිස් කලමනාකරණ පදනම් සකස් කරගන්නා ලද්දේ වැඩි වශයෙන් මොහුගේ උනන්දුව හා උත්සාහය මත ය. මොහු සතුව තිබූ විශිෂ්ට දේශපාලන දක්ෂතා සහ ඔහු ලද පුළුල් ජනතා සහයෝගය මත තම දේශපාලන ප‍්‍රතිවාදීන් අභිභවා පක්ෂයේත් ආණ්ඩුවේත් බලය තහවුරු කර ගැනීමට මොහු සමත් විය. ඒ අනුව, මොහු විසින් බටහිර රටවල් සමඟ වෙළෙඳ සහ සංස්කෘතික සම්බන්ධතා තහවුරු කරගන්නා ලද අතර පෞද්ගලිකව ම එම රටවල සංචාරයෙහි නිරත විය. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ස්ථාපිත කරගැනීම, ජපාන-චීන සම්බන්ධතා යහපත් අතට හැරීම, මහා බි‍්‍රතාන්‍යය සමඟ මිත‍්‍ර සම්බන්ධතා තහවුරු කර ගැනීම සහ එම රට සමඟ 1984 දෙසැම්බර් 19 දා අත්සන් කරන ලද ගිවිසුම මඟින් 1997 දී හොංකොන් ප‍්‍රදේශය ආපසු චීනයට ඒකාබද්ධ කර ගැනීම සහ පෘතුගාලය සමඟ ඇති කර ගත් එවැනිම ගිවිසුමක් මඟින් මකාවෝ ප‍්‍රදේශය චීන මහජන සමූහාණ්ඩුවට ඒකාබද්ධ කර ගැනීමේ මේ කාලයේ දැකිය හැකි වූ වැදගත් සිදුවීම් විය. ඒ 'එක චීනයක් ක‍්‍රම දෙකක්' නමැති මොහු විසින් ඉදිරිපත් කරන ලද මූලධර්මය පදනම් කර ගනිමිනි. එහෙත් දුර්වල ව පැවති සෝවියට් දේශය සමඟ පැවැත්වූ සම්බන්ධතා යහපත් අතට හරවා ගැනීමට මොහු කිසිත් නොකෙළේ ය.

විදේශ රටවල් සමඟ සම්බන්ධතා තහවුරු කර ගැනීම කෙරේ අවධානය යොමු කරනු ලැබුව ද මොහු අවධානය යෙදවූ මුඛ්‍ය කටයුත්ත වූයේ චීනයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමයි. චීනයේ සමාජ, දේශපාලන හා ආර්ථික ව්‍යූහයන් මොහු යටතේ බැරෑරුම් වෙනස්වීම්වලට භාජනය විය. 'සිව් නවීකරණ' මූලධර්මය ප‍්‍රකාශයට පත් කළ මොහු එය සියලූ ප‍්‍රතිසංස්කරණයන්හි පදනම බවට පත් කෙළේ ය. මුලින් ම චෞඑන්ලායි විසින් ඉදිරිපත් කරන ලදැයි සැලකෙන එකී මූලධර්මයට අනුව, සමස්ත ආර්ථිකය ප‍්‍රධාන අංශ හතරකට බෙදනු ලැබිණ. එනම්, ආරක්ෂක ක්ෂේත‍්‍රයේ කර්මාන්ත, කෘෂි කර්මාන්තය, විද්‍යා හා පර්යේෂණ, කාර්මික නිෂ්පාදන යනු වශයෙනි. 'සමාජවාදී වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය' නමැති මූලෝපායයික වැඩපිළිවෙල මුඛ්‍ය කාර්භාරය සේ ගැණින. චීනය පසුකරමින් සිටිනුයේ සමාජවාදී සංවර්ධනයේ පළමු අදියර බව ප‍්‍රකාශයට පත් කළ මොහු චීන කොමියුනිස්ට් පක්ෂයේ වගකීම වන්නේ 'චීන සුවිශේෂතාවන්ගෙන් යුතු සමාජවාදී' ක‍්‍රමයක් සංවර්ධනය කිරීම බව 1982 සැප්තැම්බරයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 12 වන සම්මේලනයේ දී ප‍්‍රකාශයට පත් කර ඒ සඳහා ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙළේ ය. එනයින් ඔහු ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය න්‍යායාත්මක පදනම සහ දේශපාලන දිරිගැන්වීම සැපයී ය. මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමේ දී මොහු ඉදිරිපත් කළ තවත් අදහසක් වූයේ මධ්‍යම මට්ටමේ සංතෘප්ත ආර්ථිකයක් ඇති සමාජයක් බිහි කිරීමයි. එයින් අදහස් වූයේ ජනගහනයේ ආහාර හා ඇඳුම් අවශ්‍යතාව පිළිබඳ ගැටලූ නිරාකරණය කර ගැනීමෙන් පසු අවධියට එළඹුණු සමාජයකි. මෙකී ප‍්‍රතිසංස්කරණ චීනයේ සමහර පළාත්වල ක‍්‍රියාත්මක කිරීමෙන් පසු සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත් ඒවා වූ අතර සමහර කාරණාවන්හි දී ආසියාවේ ආර්ථික කොටි සිවුදෙනාගෙන් (Four Asian Tigers) එනම් දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව හා හොංකොන් රටවලින් ලද අද්දැකීම්ද බලපෑවේ ය. 1983 ජූනි මාසයේ දී මහජන චීන සමූහාණුඩවේ මධ්‍යම යුද සෝවියට් සභාවේ ප‍්‍රධානී ව කටයුතු කළ මොහු චීන මහජන සමූහාණ්ඩවේ භූමි ප‍්‍රදේශය ඇතුළත 'විශේෂ ආර්ථික කලාප' පිහිටුවීමේත් නිදහස් වෙළෙඳාම උදෙසා මුහුදු සීමාශ‍්‍රිත ව නගර 14ක් පිහිටුවීම පිළිබඳ අදහසට ක‍්‍රියාන්විත අන්දමින් සහාය දැක්වී ය. කාර්මික ව්‍යවසායයන් රාශියක් මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කිරීමෙන් සහ අධීක්ෂණය කිරීමෙන් නිදහස් කරන ලද අතර ඒවායේ කළමනාකරුවන්ට සහ පාලනාධිකාරියට නිෂ්පාදන මට්ටම් නිර්ණය කිරීම සහ ලාභ ඉපැද්දීම පිළිබඳ තීරණ ගැනීමට අවකාශ සපයන ලදි. තවද, විදේශ ආයෝජන සඳහා චීන ව්‍යවසායයන් විවෘත කරනු ලැබිණ.

කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ මහජන කොමියුන බහුතරය විසුරුවා හරන ලද අතර පවුල් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට කෘෂිකර්මාන්තයෙහි නිරත වීම කැපීපෙනෙන අන්දමින් වැඩිවිය. මොහු විසින් ආර්ථික කළමනාකරණය විමධ්‍යගතකිරීම, කාර්යක්ෂම සහ පාලනය කළ හැකි ආර්ථික ප‍්‍රගමනයක් ඇති කර ගනු පිණිස තාර්කික හා නම්‍යශීලී දිගු කාලීන සැලසුම් සකස් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලැබ තිබිණි. එම`ගින් චීන ගොවියන්ට තම නිෂ්පාදන සහ ලාභ පිළිබඳ පෞද්ගලික වශයෙන් වගවීමේ සහ පාලනය කිරීමේ අවස්ථාව ලබා දෙනු ලැබිණි. 1981 දී ඇති කරන ලද එම ප‍්‍රතිසංස්කරණයෙන් වසර කිහිපයක් ඇතුළත කෘෂිකාර්මික නිෂ්පාදනයේ අතිවිශාල වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. 1984-92 කාලයේ සැලසුම් ක‍්‍රමය අහෝසි කර වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයට එළඹෙනු ලැබිණි. 1981 ජූනි මාසයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 11 වන සභාවාරයේ හයවන පූර්ණ සැසියේ දී මොහුගේ ප‍්‍රධානත්වයෙන් කෙටුම්පත් කරන ලද 'චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවන ලද කාලයේ සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසයේ සමහර ප‍්‍රශ්න පිළිබඳ තීරණ' නමැති ලියැවිල්ල සම්මත කර ගනු ලැබිණි. 'දැවැන්ත ඉදිරි පිම්ම' සහ විශේෂයෙන් ම 'සංස්කෘතික විප්ලවය' නමැති ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන ලද කාලයේ මා ඕ සේතුං අතින් සිදුවූ වැරදි එම ලියැවිල්ල මඟින් පිළිගනු ලැබිණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යුද්ධ කටයුතු පිළිබඳ සෝවියට් සභාවේ සභාපතිවරයා වශයෙන් මොහු එම පූර්ණ සැසිවාරයේ දී තෝරා පත්කර ගනු ලැබිණ. ආර්ථික ලිබරල්වාදය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ක‍්‍රියාත්මක කෙරෙනු ලැබෙන දැඩි දේශපාලන බලය සමඟ සම්මිශ‍්‍රනය කිරීම එයින් අදහස් විය. එහෙත් දේශපාලන ලිබරල්වාදයට මේ යටතේ තැනක් නොතිබූ බව පෙනී යන්නේ 1989 දී තියෙන්ආන්මෙන් චතුරශ‍්‍රයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණ හමුදාව යොදා ගනිමින් මර්දනය කිරීමට චීන නායකත්වය පියවර ගැනීමෙනි. මෙහි දී 400 සිට 2600 දක්වා ප‍්‍රමාණයක් ඝාතනය වූ බවටත් 7,000-10,000 දක්වා ප‍්‍රමාණයක් තුවාල ලද බවටත් තොරතුරු පළ වන අතර ඒ සම්බන්ධයෙන් වඩාත් ම විවේචනයට ලක් වූ චීන නායකයා වූයේ මොහු ය. ෂියා ඕ පිං යනු චීන බසින් කුඩා බෝතලය වන අතර උද්ඝෝෂණයේ දී ශිෂ්‍යයින් විසින් එවැනි බෝතල් බිඳ දැමීමෙන් මොහුට ඔවුන් දැක්වූ විරුද්ධත්වය ප‍්‍රකට වේ. පසුව සමහර ශිෂ්‍ය නායකයින් අධිකරණය මඟින් චෝදනාවට ලක්කර මරණීය දණ්ඩනය නියම කිරීමත් ශිෂ්‍ය උද්ඝෝෂණයට සහාය දැක්වූවන් හඹා යෑමත් නිසා බටහිර රටවල චීනය පිළිබඳ එතෙක් දැරූ ආකල්පය නැවත සලකා බැලීමට තුඩුදුන්නේ ය.

තෙවරක් විවාහ වී සිටි මොහු දරුවන් පස් දෙනකුගේ පියෙකි. දූ කෙළි පත් උපයෝගී කරගෙන කරනු ලබන බ්‍රිජ් සහ පාපන්දු ක‍්‍රීඩාවලට මහත් සේ ඇලූම් කෙළේ ය.

මොහු පක්ෂයේ හා ආණ්ඩුවේ ඉහළ පෙළේ තනතුරු කිසිවක් භාර නොගත්තේ ය. නමුත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 12 වන සභාවාරයේ පළමු පූර්ණ සැසියේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ නිත්‍ය කමිටුවේ සාමාජිකයකු ලෙස මොහු යළිත් වරක් තේරී පත්වූ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම උපදේශක සභාවේ සභාපති ධුරය ද මොහුට පිරිනමනු ලැබිණ. 1987 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ස්වාභිමතය පරිදි ඉවත් වූ මොහු 1989 දී තමන් දැරූ පක්ෂයේ හෝ ආණ්ඩුවේ අවසාන තනතුර වූ මහජන චීන සමූහාණ්ඩුවේ යුද කටයුතු පිළිබඳ මධ්‍යම සෝවියට් සභාවේ සභාපති ධුරයෙන් ද විශ‍්‍රාම ගියේ ය. එහෙත් සිය ජීවිතාවසානය දක්වා ම මොහු චීනයේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් තවදුරටත් පිළිගැනීමට ලක්විය. චීන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්හි සහ සමාජවාදී නවීකරණයන්හි ප‍්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස මොහු පිළිගැනෙයි.

පීකිං නුවරදී මියගිය මොහුගේ දේහය, අන්තිම කැමැත්තට අනුව, ආදාහනය කර භෂ්මාවශේෂ මුහුදේ විසුරුවා හරින ලදි. 2004 දී මහජන චීනය විසින් මොහුගේ සියවැනි ජන්ම දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීමෙන් මොහු විසින් නව චීනයේ ප‍්‍රතිසංස්කරණ කෙරේ දක්වා ඇති දායකත්වය අවධාරණය කෙරිණ.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩෙන්_ෂිය‍ාඕ_පිං&oldid=3727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි