තාෂි-ජෝද්සොං

සිංහල විශ්වකෝෂය වෙතින්
12:11, 11 ඔක්තෝබර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tashi Chho Dzong). පැරණි බ්‍රිතාන්‍ය ලියකියවිලිවල ටැසිස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tashi Chho Dzong). පැරණි බ්‍රිතාන්‍ය ලියකියවිලිවල ටැසිසුඩෝන් (Tassisudon) යනු විසින් ද හැඳින්වුණු භූතානයේ තිම්පු (බ.) නගරයේ උතුරු කෙළවරේ බ‍්‍රහ්මපුත‍්‍ර නදියේ අතු ගංගාවක් වන වැන්ග් චූ (Wang Chu) හෙවත් තිම්පු නදියේ බටහිර ඉවුරේ පිහිටි මාලිගාව නොහොත් බලකොටුව ලෙස හැඳින්වෙන බෞද්ධ සංඝාරාමයයි. 'අභිමානවත් ආගමේ බලකොටුව' යනු නාමාර්ථයි. සාම්ප‍්‍රදායික පිළිගැනීමට අනුව 17-19 සියවස්හි දී භූතානයේ ක‍්‍රියාත්මක වූ ආගමික සහ අනාගමික වශයෙන් බෙදුණු ද්විත්ව පාලන ක‍්‍රමය යටතේ ලෝකායත (secular) පාලනය ක‍්‍රියාත්මක කළ ද්‍රැක් දේසි (බ.) (ද්‍රැක් (Druk) යනු භූතානයේ සංකේතය වන ගිනි මකරා ද දේසි (Desi) යනු ප‍්‍රතිරාජ ද හඳුන්වන නම් වෙයි.) නමින් හැඳින්වුණු දේවරාජ වැඩ සිටින ස්ථානයයි. 1907 දී රාජාණ්ඩුවක් ස්ථාපිත කර ගැනීමෙන් පසු රජුගේ කාර්යාලයක් ද ග‍්‍රීෂ්ම සමයේ භූතානයේ අගනුවර ද ලෙස පිළිගැනෙන ස්ථානයයි. සාධුතර දහම් බළකොටුව යන අරුතැති ලො-ද්‍රැක්පා (Lho-drukpa) නිකාය පිහිටුවා ලූ පළමු ධර්මරාජ හිමිපාණන්ගේ කෘතියක් ලෙස පිළිගැනේ.

කග්‍යු හෙවත් වාච්‍ය සම්ප‍්‍රදායයට අයත් අට වැදැරුම් නිකායයන්ගෙන් එකක් වන ද්‍රිකුන් කග්‍යු නිකායේ ලාපා (Lhapa) අනුනිකාය පිහිටුවා වදාල ග්‍යාල්වා ලනාපා (Gyalwa Lhanapa) ලාමා වහන්සේ (1164-1224) විසින් 1216 දී තිම්පු නුවර පළමු සංඝාරාමය වූ නීලමාණික්‍යාරාමය (Do-Ngön Dzong) ඉදිකරවන ලදි. එය පිහිටියේ තාෂි-ජෝද්සොං ආරාමයට ඔබ්බෙන් කඳු ගැටයක ය. රැවුලූධර ලාමා යැයි ප‍්‍රකට වූ, භූතානය ජාතික රාජ්‍යයක් ලෙස එක්සත් කළ, සංඝරාජ යන අරුතැති ශබ්ද්‍රැංග් (Zhabdrung) නාමයෙන් උපලක්ෂිත නවාංග් නම්ගියාල් (Ngawang Namgyal) ලාමාතුමා විසින් 1641 දී එම ආරාමය ලාපා අනුනිකායෙන් ඉවත් කරවා තමන් වහන්සේ වෙත අත්පත් කරගැනීමෙන් ඉක්බිති මෙම ආරාමයට වත්මනෙහිත් භාවිත නාමය ලැබිණ. එතැන් සිට දකුණුදිග ද්‍රැක්පා කග්‍යු නිකායේ මූල මහා විහාරය ද සංඝරාජ හිමියන්ගේ අනුගාමික භික්ෂූන්ගේ ගිම්හාන මන්දිරය ද ලෙස සැලකෙයි. 1772 දී මෙම සංඝාරාමයේ බොහෝ කොටස් ගින්නෙන් විනාශපත් වූයෙන් 16 වන දේසි හෙවත් ලෝකායත පාලන බලය හිමි ව තිබූ ලාමාතුමා වූ සොනාම් ලූද්‍රැප් (Sonam Lhudrup) විසින් වත්මනෙහි එය පිහිටුවා තිබෙන ස්ථානයෙහි නව ආරාමයක් ලෙස ස්ථාපිත කරන ලදි. ඉන් පසුව තෙවතාවක දී මෙය ගින්නෙන් ද වරක් භූ කම්පනයකින් ද හානියට පත් වූ බවත් සඳහන් වේ. 1962 දී අගනුවර පුනඛාවෙන් (Punakha) තිම්පු නුවරට රැගෙන එනු ලැබූ අවස්ථාවේ දී ආණ්ඩු මන්දිරයට ගැලපෙන ලෙස නව සැලැස්මකට අනුව ජිග්මේ ජෝර්ජි වැංග්චුක් (Jigme Dorji Wangchuck) භූතානයේ තුන් වන රජතුමා විසින් විශාලකොට ඉදිකරවන ලදි. පැරණි ආරාමයේ තිබූ 'නව ආරාමය' (Lhakhang Sarp) යැයි නාමිත මධ්‍යම කුලූන ද 'ආරක්ෂක' (Gönkhang) යැයි හැඳින්වෙන ආරාමය ද යන ගොඩනැඟිලි ද්විත්වය වෙනස්කම් සිදු නොකොට නව සැලැස්මට ඇතුළත් කෙරිණ. 1968 සිට මෙම ආරාමය භූතාන ආණ්ඩු මන්දිරයයි. රාජාසන ශාලාවත් රජුගේ කාර්යාලත් කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයත් ස්වදේශ කටයුතු සහ මුදල් අමාත්‍යාංශත් පිහිටියේ මෙම ආරාමයේ ය. මෙම ආරාමයට දකුණුදිගට වන්නට පිහිටි ගොඩනැඟිලිවලත් තිම්පු නුවර අලූතින් ඉදිකළ ගොඩනැඟිලිවලත් සෙසු රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පිහිටුවා තිබේ. මෙම ආරාමයට බටහිර දිගින් පිහිටි ස්ථම්භාකාර ගොඩනැඟිල්ලක ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේගේ සහ ආරක්ෂක දෙවිවරුන්ගේ පිළිරූ තැන්පත් කළ මන්දිරයකි. මෙම ආරාමයට කිමී. 4ක් උතුරට වන්නට අභිනවයෙන් ඉදිකළ ඩීශෙන්චෝලින් (Dechencholing) මාලිගය 1953 සිට රජපවුලේ නිල වාසස්ථානයයි.

වත්මනෙහි මෙය සුදු පිරියම් කළ දෙමහල් ප‍්‍රාසාදයකින් ද සිව් කොණේ පිහිටි ත‍්‍රිත්ව ස්ථරික රන්මුවා පියැස්සෙන් සැදි තෙමහල් ස්තම්භයන්ගෙන් ද මධ්‍යයෙහි පිහිටි දැවැන්ත කුලූනින් ද සැදුණේ වෙයි. මෙම මධ්‍ය කුලූනෙහි කලකට ඉහත දී භූතානයේ ජාතික පුස්තකාලය පිහිටුවා තිබුණහයි සඳහන් වේ. භූතානයේ පරම පූජනීය ජාතික ස්මාරකය ලෙස සැලකෙන මෙය, එරටේ ජාතික සංකේතයක් ලෙස පිළිගැනේ. රාජාණ්ඩුවේත් රජතුමාගේ සහ ඔහුගේ පවුලේත් ගෞරවයේ සංකේතයකි.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=තාෂි-ජෝද්සොං&oldid=3790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි