ඩොනන්, ෆෙඩෙරික් ජෝර්ජ්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:02, 13 ඔක්තෝබර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Donnan, Frederick George) (06.09.1870-16.12.1956). කලීල රසායන විද්‍යාව සංවර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Donnan, Frederick George) (06.09.1870-16.12.1956). කලීල රසායන විද්‍යාව සංවර්ධනය කිරීමට දායකත්වය සැපයූ බ්‍රිතාන්‍ය අයිරිෂ් ජාතික භෞත රසායන විද්‍යාඥයෙකි. පටල සන්තුලිතතාව පිළිබඳ පර්යේෂණ හේතුවෙන් ප‍්‍රසිද්ධියට පත් විය. සෛලවල අයන පරිවහනය විග‍්‍රහ කරන්නාවූ ඩොනන් සන්තුලිතතාව හෙවත් ගිබ්ස්-ඩොනන් ආචරණය නමින් ප‍්‍රකට, අර්ධ පාරගම්‍ය පටල අසල ඇති ආරෝපිත අංශුවල හැසිරීම් රටාව විග‍්‍රහ කරන්නාවූ විද්‍යා සංකල්පය ප‍්‍රායෝගික ව සාධනය කළ තැනැත්තා ය.

ලංකාවේ කොළඹ දී උපත ලද මොහු, බෙල්ෆස්ට්හි වෙළෙන්දෙකු ව සිටි විලියම් ඩොනන්ගේ පුතා ය. උතුරු අයර්ලන්තයේ බෙල්ෆස්ට්හි කුවීන්ස් විශ්වවිද්‍යාලයේ ද ලේප්සිග්, බර්ලින් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයයන්හි ද උසස් අධ්‍යාපනය ලැබී ය. 1904 සිට 1913 දක්වා කාලයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමෙහි නිරත ව සිට විශ‍්‍රාම ගිය මොහු 1937 දක්වා ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ රසායන විද්‍යා මහාචාර්යවරයා ව සේවය කෙළේ ය.

ද්‍රාවක සහ සියල්ල ම නොවුණත් සමහර විසිරි අයන ගමන් කළ හැකි අර්ධපාරගම්‍ය පටලයක දෙපැත්තේ ඇති විද්‍යුත් විච්ඡේදක ද්‍රාවන දෙකක් අතර සන්තුලිතතාව ස්ථාපිත වීමේ කොන්දේසි පිළිබඳව ඇමෙරිකානු භෞතික විද්‍යාඥ ජෝසියා විලාඞ් ගිබ්ස් (Josiah Willard Gibbs) විසින් 1878 දී ඉදිරිපත් කරන ලද උපකල්පනය 1911 දී ඩොනන් විසින් ප‍්‍රායෝගික පර්යේෂණ ඔස්සේ අධ්‍යයනය කරන ලදි. මෙවැනි අර්ධපාරගම්‍ය පටලයක් නොමැති විට දී ද්‍රාවන දෙකෙහිම සංයුතිය එකක් වන සේ, ද්‍රාවකය සහ සියලූ විසිරි අයන ප‍්‍රභේද එක් ද්‍රාවනයකින් අනෙක් ද්‍රාවනයට නිදහසේ විසරණය වෙයි. අර්ධපාරගම්‍ය පටලය, යටත් පිරිසෙයින්, එක් අයන විශේෂයක් හෝ තමන් හරහා ගමන් කිරීම වලකාලයි. අයනයන්හි ප‍්‍රතිවිරුද්ධ ආරෝපනයක් ඇති පාර්ශ්වයේ අයනයන්හි විසරණය, විද්‍යුත් උදාසීනභාවය ආරක්ෂා කිරීමෙන් සීමා කෙරේ. කෙසේ වෙතත් ජංගම අයනවල සමහර චලිත සිදුවේ, ද්‍රාවනයන්හි සංයුතිය වෙනස් වේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අයන විශේෂයන්හි අවසාන ව්‍යාප්තිය අසමතුලිත වේ. අර්ධපාරගම්‍ය පටලයේ දෙපැත්තේ ම ඇති ද්‍රාවනයන්හි විද්‍යුත් විභවයෙහි ගණනය කළ හැකි වෙනසක් තිබේ. මෙකී සන්තුලිතතාව සහ විද්‍යුත් විභවයේ පැවත්ම යන දෙකම පිළිබඳ සොයා ගැනීම් ඩොනන්ගේ නාමය සමඟ බැඳී පවතී.

ෆැරඬේ සමාජයේ ආරම්භක සාමාජිකයකු ද එහි සභාපති ව (1924-26) ද සිටි මොහු රසායන විද්‍යා සමාජයේ අධිසාමාජිකත්වය ද එහි සභාපති ධුරය (1937-39) ද දැරී ය. බි‍්‍රතාන්‍ය රසායන විද්‍යාඥ සංගමයේ සභාපති ව (1940-41) ද සිටියේ ය.

1911 දී 'සොබාදහම පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම පිළිබඳ වන ලන්ඩන් රාජකීය සමිතියේ' අධිසාමාජිකත්වය පිරිනමන ලද මොහු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය සම්මානය, රසායන විද්‍යා සමාජයේ දීර්ඝසේවා පදක්කම, ඩේවි පදක්කම, එඩින්බරෝ රාජකීය සමිතියේ අධිසාමාජිකත්වය මෙන් ම සම්මාන උපාධි එකොළොසෙකින් ද පිදුම් ලබා තිබේ.

එංගලන්තයේ කෙන්ට්හි කැන්ටබරියේ දී මිය ගියේ ය.

කර්තෘවරු: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ සහ පී.එන්.විජේසිරි

(සංස්කරණය නොකරන ලද-2022)