වාග්නර්, විග්හෙල්ම් රිචර්ඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:58, 13 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වාග්නර්, විග්හෙල්ම් රිචර්ඩ් (Wagner Wilhelm, Richard) (1813.05.22-1883.02.13). ජර්මන් ජාතික නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හා න්‍යායවාදියෙකු වන ඔහුගේ නිර්මාණ බටහිර සංගිත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරිමෙහි ලා සමත් විය. මෙතුමා උපත ලද්දේ ලිපිසිග්හි (Leipzig) දී ය. බීතෝවන්ගේ සමයේ පටන් ඒ දක්වා උපයෝගි කරගනු ලැබූ ක්‍රම ආධාර කරගෙන සංගීතය තව දුරටත් දියුණු කළ නොහැකි බව ඔහුට පෙනී ගියේ ය. වාග්නර් ඉදිරිපත් කළ අදහස් පසුකාලිනව ගීත නාටක රචකයන් කෙරෙහි මහත් සේ බලපෑ අතර ඔහුගේ නිර්මාණ පසුකාලීනව 'සංගීත නාට්‍ය' (Music Dramas) ලෙස ප්‍රකට විය.

ඩ්‍රේසීචන් හා ලිපිස්ග්හි පාසල්වල මුලික අධ්‍යපනය ලැබු වාග්නර් අනතුරුව ලිප්සිග් විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ ය. ළමා කාලයේ පටන් ම ඔහු වැඩි උනන්දුවක් දැක්වූයේ නාට්‍ය කෙරෙහි ය. වාග්නර් සංගීතය කෙරෙහි උනන්දු වූයේ නාට්‍ය ඉදිරිපත් කිරිමේ මාධ්‍යක් වශයෙන් පමණි.

1825 හි දී පියානෝව වාදනය කිරීමට ඉගෙන ගැනීම ආරම්භ කළ ද ඔහු මුලින් සංගිතය පිළිබඳ ලැබූ පුහුණුව එතරම් සාර්ථක නොවී ය. 1827 දී ලිප්සිග් නගරයට පැමිණි වාග්නර්, බීතෝවන් ලියූ සංගීත කෘති අධ්‍යයනය කළේ ය. එහි දී ඔහු රචනා කළ වාදක සංගීත ඛණ්ඩ කිහිපය එතරම් ප්‍රසිද්ධියට පත් නොවූයේ ය.

1833 දී වුස්බර්ග්හි ගීත නාටකයක ගායක මණ්ඩලය මෙහෙයවන්නා හැටියට පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මුල් ම ගීත නාටකය රචනා කරනු ලැබුවේ එහි දී ය. එය Die Feen ('සුරඟනෝ') නම් විය. ඔහුගේ දෙවන ගීත නාටකය Das Liebesverbot ('ආදරය‍ට තහංචියක්') නම් විය. එය ඉතාලියානු සම්ප්‍රදාය පිළිබඳ ඔහු තුළ වූ දැනුම පිළිබිඹු කරන්නකි. 1839 දී ඔහු ලන්ඩනය හරහා පැරිසියට ගියේ ය. එහි දී ඔහු Rienzi ('රියෙන්සි') (1840) නම් ගීත නාටකය සම්පූර්ණ කළේ ය. මෙය වාග්නර්ගේ පළමු සාර්ථක ගීත නාටකය විය. 1842 දී ඩ්‍රෙස්මන්හි රඟ දැක්වූ එම ගීත නාටකය ඉතා ප්‍රසිද්ධියට පත් වූයෙන් එහි ප්‍රතිඵලයක් වශයෙන් නගරයේ ගීත නාටක මෙහෙයවන්නා ලෙස වාග්නර් පත් කරනු ලැබී ය.

1843 දී ඩ්‍රේස්ඩන්හි වේදිකාගත කරනු ලැබු Der Fliegende Holländer ('පියාසරනා ලන්දේසියා') නම් ගීත නාටකය ඔහුගේ සංගීත ශෛලියේ පරිණත බව හා ඔහුගේ සිත්ගත් නාට්‍ය තේමාව වන ආලය මගින් විමුක්තිය ලැබීම පැහැදිලිව ම විදහා දක්වයි.

1845 ඩ්‍රේස්ඩන්හි රඟ දක්වන ලද Tannhäuser ('ටැන්හෝසර්') නාට්‍ය ස්වරූපය පිළිබඳව ඔහුගේ අරමුණු සම්ප්‍රදායික මහා ගීත නාට්‍ය (Grand Opera) තුළින් ඉදිරිපත් කිරීමට ගත් අවසාන ප්‍රයත්නය ලෙස හැඳින්විය හැකි ය. මෙම නාට්‍යය ඊට පසු රඟ දැක් වු Der Fliegende Holländer, Rienzi තරම් සාර්ථක නොවීය. එහෙයින් සංගීත නාට්‍ය පිළිබඳ ඔහුගේ අදහස් සාර්ථක වීමට නම් නව මාර්ගයක ගමන් කළ යුතු බව වාග්නර්ට පැහැදිලි විය.

පැරණි ශෛලියේ සිට නව ශෛලියක් කරා වෙනස්විම පිළිබිඹු වුයේ 1846-48 අතර කාලයේ රචනා කරන ලද Lohengrin ('ලොහෙන්ග්‍රින්') නම් නාට්‍යයෙනි. සිය ප්‍රධානීන් සමඟ ඇති වූ ආරවුල් හා විප්ලවීය දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධකම් පැවැත්වීම යන කරුණු මත සිරකරනු ලැබීමට නියම වූයෙන් වාග්නර් ආරක්‍ෂාව පතා සුරිච් නගරයට පලා ගියේ ය. එහි දී හුදකලාව වසමින් සංගීතය හා නාට්‍ය කලාවේ කාර්යය හා අරමුණු පිළිබඳ සිය අදහස් ග්‍රන්ථ කිහිපයක් වශයෙන් පළ කළේ ය. 1851 දී රචිත Opera and Drama මේ අතරින් වැදගත් ම ග්‍රන්ථයයි.

ගීත නාටක අතරින් ඔහුගේ අදහස් හොඳින් ම විදහා දැක්වෙන්නේ Der Ring des Nibelungen නම් නාට්‍යයන්හි හා Der Rheingold, Die Walküre, Siegfried හා Götterdämmerung යන සංගීත නාටක හතරෙහිත් ය.

1857-59 අතර කාලයේ රචනා කරන ලද Tristan und Isolde වැග්නර්ගේ සංගීත නාට්‍ය අතුරින් අතිශයින් වූ සාර්ථක වූ නාට්‍ය විය. 1867 දී සම්පූර්ණ කරන ලද Die Meistersinger von Nürnberg 1868 දී මියුනිච්හි දී රඟ දක්වන ලදි. ශෝකාන්ත අතුරින් ඔහුගේ විශිෂ්ට නිර්මාණය Tristan වූ අතර විකට නාට්‍ය අතුරින් ඔහුගේ විශිෂ්ට නිර්මාණය වූයේ මෙම නාට්‍යයයි.

1872 දී ඔහු බයිහොයිත් (Bayreuth)හි පදිංචි වූ අතර වර්තමානයේ වාග්නර්ගේ ගීත නාට්‍ය හා අදහස් පිළිබඳ මධ්‍යස්ථානය වශයෙන් පවතින ප්‍රසිද්ධ නෘත්‍ය ශාලාව ලුඩ්විග් රජු විසින් ඉදි කරවන ලදි. ඔහුගේ අවසාන සංගීත නාටකය වු Parsi‍fal 1877 -82 අතර කාලයේ රචනා කරන ලද අතර ඊළඟ වසරේ දී බේරුහිත්හි දී එය රඟ දක්වන ලදි.

ඉතාලියෙහි වැනීසියෙහි Ca'Vendramin Calergi හි දී මියගිය වැග්නර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 1883 පෙබරවාරි 18 වන දින බේරුත්හි Wahnfried හි දී සිදු විය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)