සමුද්දේශ සම්මතය

සිංහල විශ්වකෝෂය වෙතින්
21:56, 13 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Reference Standard). ලොව බොහෝ දෙනාගේ සම්මතයෙන් පිළිගනු ලබ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Reference Standard). ලොව බොහෝ දෙනාගේ සම්මතයෙන් පිළිගනු ලබන කිරුම්, මිනුම් ආදී ඒකක සඳහා භාවිත කෙරෙන එහි ප්‍රමාණය නිශ්චිතව මූර්තිමත් කෙරෙන වස්තුවකි. මීටර් කෝදුව, තරාදිය, පඩි හෝ වෙනත් මිනුම් උපකරණ සාදා පාවිච්චිය සඳහා ‌බෙදා හැරීමට පෙර ඒවා සමුද්දේශ සම්මතයන් හා සසඳා අනුමත කිරීම අවශ්‍ය ය. බොහෝ රටවල සමුද්දේශ සම්මත ගබඩා කර නියම අන්දමින් පවත්වා ගැනීම සඳහා විශේෂ ආයතන ඇත. එංගලන්තයේ මෙය භාරව ඇත්තේ ජාතික භෞතික විද්‍යාගාරයටයි (National Physical Laboratory). ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සම්මත කාර්යාංශය (National Bureau) මෙම වගකීම දරයි.

හැකි සෑම අවස්ථාවක දී ම මිණුමක මූලික ඒකකය සඳහා ජාතික සමුද්දේශ සම්මතයන්, ඒකකයෙහි අර්ථ දැක්වීමට අනුකූල වන අයුරින් ම නිර්මාණය කිරීමට කාර්මික රටවල් වගබලා ගනී. මෙවැනි අවස්ථාවල දී ඒකකයේ වටිනාකම කෙරෙහි බලපාන සාධක සියල්ල ම විද්‍යාත්මක විශ්ලේශන මගින් පූර්ණ ව ගණනය කළ හැකි වන පරිදි උපකරණ සැලසුම් කළ යුතුයි. උදාහරණයක් ලෙස කාලය මැනීමේ ඒකකය වන තත්පරය අර්ථ දැක්වෙන්නේ නොකැළඹුණ අවස්ථාවේ පවතින සීසියම් පරමාණුව තුළ වූ එක්තරා ස්වාභාවික චුම්බක කම්පනයන් පිළිගත් සංඛ්‍යාවක කම්පන කාලයකට ය. පෘථිවියේ ගුරුත්වාකර්ශන ක්ෂේත්‍රය හේතු කොට ගෙන උපකරණයේ පාඨාංකය එහි පිහිටීම අනුව සුළු වශයෙන් වෙනස් විය හැකි ය. ඉහළ ම මට්ටමේ නිරවද්‍යතාවයක් ලබා ගැනීම සදහා මේ බලපෑම් ද සැළකිල්ලට ගත යුතු ය. අද වන විට ස්වාභාවික භෞතික සංසිද්ධි හෝ ද්‍රව්‍යවල ගුණ උපයෝගී කර ගනිමින් අර්ථ දක්වා නොමැති එක ම නවීන මූලික ඒකකය කිලෝග්‍රෑමයයි. ප්‍රංශයේ පැරිස් නුවර ආරක‍්ෂිත ව තබා ඇති අන්තර්ජාතික ව පිළිගන්නා ලද ස්කන්ධයක් අනුසාරයෙන් කිලෝග්‍රෑමය අර්ථ දක්වා ඇත.

ජාතික සමුද්දේශ සම්මතයන් රටපුරා ඒකාකාර මිනුම් පවත්වා ගැනීමට මෙන් ම එම සම්මතයන් වෙනත් රටක අනුරූප සම්මතයන්ට තුල්‍ය බව සැකහැර දැන ගැනීමට උපයෝගී කර ගැනේ. මෙම ආයතනවල ඇති සම්මත නිතර පාවිච්චි කළ විට ගෙවී යන නිසා ම එම සම්මත යොදා ද්විතීයික සම්මත සාදා ගනු ලැබේ. මීටර් කෝදුව, රසායනික තුලා වැනි මිනුම් උපකරණ නිපදවන කර්මාන්තශාලාවල එවැනි කමාන්තශාලීය සම්මතයන් (Factory Standard) තබා ගනු ලැ‌බේ. නිෂ්පාදිත මිනුම් උපකරණ වෙළෙඳපොළට යැවීමට පෙර කර්මාන්තශාලීය සම්මත හා සසඳා මිනුම් උපකරණයේ නිරවද්‍යතාව පිළිබඳ සෑහීමකට පත්විය යුතු ය.

මිනුම් ඒකකයන් සඳහා වූ ජාතික සමුද්දේශ සම්මතයන් මූලාදර්ශ වන බැවින් සාමාන්‍යයෙන් ඒ පරමාදර්ශී තත්ත්ව හා තියුණු පාලනයන් යටතේ පවත්වා ගෙන යනු ලැබේ. මෙම සම්මත නිතර භාවිත නොකරන අතර එදිනෙදා කටයුතු සඳහා යොදා ගනු නොලැබේ. ඒවායේ නිරවද්‍යතාව වඩා වැදගත් බැවිනි. අනෙක් අතට කම්හල් හා වෙනත් ක්ෂේත්‍රයන්හි භාවිත වන අතරමැදි සමුද්දේශ සම්මත තුළ පාව්ච්චියට ගැනීමට සුදුසු ලක‍්ෂණ පැවැතිය යුතු ය. කෙසේ වුව ද එවැනි සම්මත ද වරින්වර අංක ශෝධනාගාරවලට යවා අංක ශෝධනයට බදුන් කෙරේ.

(කර්තෘ: සුනේත්‍රා වීරකෝන්)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සමුද්දේශ_සම්මතය&oldid=4174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි